×

“I love you, too” – හිටපු ඇමරිකානු ජනපතිගේ අවසන් වදන්

ඊයේ (01) අභාවප්‍රාප්ත වූ හිටපු ඇමරිකානු ජනපති ජෝජ්ර් එච්.ඩබ්. බුෂ් සිය වැඩිමල් පුත්‍රයා වන හිටපු ජනපති ජෝර්ජ් බුෂ් සමග විනාඩි 40කට ආසන්න කාලයක් සිය අවසන් දුරකථන ඇමතුමේ රැඳී සිටි බව වාර්තා වේ.


පාකින්සන් සහ රුධිරගත රෝග තත්ව හේතුවෙන් දින කිහිපයක් තිස්සේ සයනයෙන් බිමට බැසීමට පවා නොහැකිව රෝගාතුර වී සිටි ජ්‍යේෂ්ඨ බුෂ්, මේ එළඹී තිබෙන්නේ තමන්ගේ අවසන් හෝරාව බව දැන සිටියේය.

ඔහු අවසන් කාලය මුළුමනින්ම පාහේ ගත කර තිබෙන්නේ තමන්ව පිරිවරාගෙන සිටි පවුලේ සාමාජිකයන් සමග සුහද ලෙස කතා බස් කරන්නට සහ, ඔවුන් විසින් ලබාදෙන දුරකථන ඇමතුම්වලට පිළිතුරු දෙන්නට ය.

මම ඔබට ආදරෙයි – “I love you” යැයි ජ්‍යේෂ්ඨ බුෂ්ගේ ලොකු පුතා වන කණ්ෂ්ඨ බුෂ් පැවසූ විට ඔහු කියා තිබෙන්නේ ‘‘මමත් ඔබට ආදරෙයි – “I love you, too,” යනුවෙනි.

ජ්‍යේෂ්ඨ බුෂ්ට වසර 40 ක් තිස්සේ හිතෛෂීවන්තයෙකු ලෙස සිටි ඔහුගේ හොඳම මිතුරෙකු වන ජේම්ස් ඒ බේකර් ද එම අවසන් මොහොතේදී බුෂ් අසල සිට ඇත. තමන් වෙනුවෙන් ‘නිහඬ රාත්‍රිය‘ Silent Night නත්තල් කැරොල් ගීය ගායනා කරන්නැයි ඔහු බේකර්ගෙන් ඉල්ලා තිබේ. බුෂ් ද එහි වදන් මිමුණූ බව බේකර් පවසයි.

අවසන් මොහොතේ ජ්‍යේෂ්ඨ බුෂ්ගේ සයනය අසල සිටියේ ඔහුගේ සෙසු පුතුන් වන නීල්, පියර්ස්, නීල්ගේ බිරිඳ මරියා, මිණිබිරියක වන මාර්ෂල් යනාදීන් ය.

ජ්‍යෙෂ්ඨ බුෂ්ට මහත් සේ ආදරය කළ ඔහුගේ බිරිඳ බාබරා, 2018 වසර මුල දිවියෙන් සමුගත්තාය. ජ්‍යෙෂ්ඨ බුෂ් එම වියෝවෙන් පසු සිටියේ ඕනෑම අවස්ථාවක ඇය සිටින තැනට යන්නට සූදානමින් බව ද පවුලේ සමීපතමයෝ පවසති.

නායකයෙකු වශයෙන් ඔහු කළ කී දෑ ගැන විවේචන තිබිය හැකි වුවත්, ඇමරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා, පුද්ගලයෙකු වශයෙන් සුවබර හා සාමකාමී ලෙස අවසන් ගමන් ගියේ එසේ ය.

පූජනීය මේ නිහඬ රැයේ
සියල්ල සන්සුන් – සියල්ල බැබළෙයි..
දිව්‍යමය සාමයේ සැතපෙන්න.. සැතපෙන්න

[embedyt] https://www.youtube.com/watch?v=nEH7_2c644Q[/embedyt]

පෙර ලිපිය –

ඇමරිකාවේ ‘පැරෂුට් ජනපති ජෝර්ජ් එච්.ඩබ්. බුෂ් දිවියෙන් සමුගනියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි