×

ඉම්රාන් ඛාන්ගේ අලුත්ම තුරුම්පුව

විවාහෝත්සවය අවසන් වන තුරුම තමන් විවාපත්වන ගැහැනියගේ මුහුණ තමන්ට දැකගන්නට ඉඩක් නොලැබුණු බව පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් පවසයි.


ඔහු මේ බව පවසා තිබුණේ බ්‍රිතාන්‍යයේ පළ වන ඩේලි මේල් පුවත්පතේ මාධ්‍යවේදී ඩේවිඩ් රෝස් සමඟ පසුගිය දා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ය. කසාද තුනක් කරගත් තමන්ට මනාලියගේ මුහුණවත් නොබලා විවාහ වන්නට වුණේ තෙවන විවාහයේදී බව ඉම්රාන් ඛාන් වැඩිදුරටත් පවසයි.

හෙතෙම තෙවන වර විවාහ වූයේ පසුගිය පෙබරවාරි මාසයේදී බැව් දැක්වේ.

හැටපස් හැවිරිදි ඉම්රාන් ඛාන් එවර අත ගත්තේ වයස අවුරුදු හතළිස් ගණන් මුල භාගයේ පසුවුණු බුෂ්රා මනේකා නැමැත්තියක සමඟයි. බුෂ්රා ඉස්ලාමික ධර්මයේ සුෆි ශාඛාවේ අධ්‍යාත්මික උපදේශිකාවක ලෙස කටයුතු කරන්නියක යැයි ඉම්රාන් ඛාන් පවසා තිබිණ.

 

Bushra Maneka | wiki bio

Bushra Maneka

ඉම්රාන් ඛාන් සිය තෙවන විවාහය සම්බන්ධයෙන් දක්වා තිබුණු මේ අදහස්වලට ජාත්‍යන්තර මාධ්‍ය සේවාවන් ඉතා ඉහළ ප්‍රචාරයක් දී තිබුණේය. ඒ අනෙකක් නිසා නොව එළඹෙන 25වැනිදා එනම් හෙට පැවැත්වෙන පාකිස්තාන මහා මැතිවරණය, ඉම්රාන්ගේ දේශපාලනය දිවිය තුළ ද තීරණාත්මක එකක් වන බැවිනි.

“… විවාහ උත්සවය අවසන් තුරු මට මගේ බිරියගේ මුහුණ යන්තමටවත් දැක බලාගන්න බැරි වුණා. මම ඇයට විවාහ යෝජනාවක් ගෙනාවේ ඇයගේ මුහුණවත් දැකලා නෙවෙයි. ඇය සිය වේලය ඉවත් කර මා හමු නොවීම එයට එකම හේතුව. … ඕ කෙබඳු පෙනුමක් ඇති කෙනෙකුද කියලා මා කිසියම් අදහසක්වත් ඇති කරගත්තේ ඇගේ නිවසේ තිබුණු ඇගේ පැරණි ඡායාරූපයක රුව අනුවයි. … කියා ඉම්රාන් ඛාන් පවසයි.

ඉස්ලාමික ධර්මයේ සුෆි ශාඛාවට සම්බන්ධව දැඩි ආගමික භක්තියකින් කටයුතු කරන්නියකට සිය මුහුණු ආවරණය ඉවත් කරන්නට ඉඩ ලැබෙන්නේ සිය සැමියා ඉදිරියේදී පමණි. එවැනි තැනැත්තියකට නිවෙසින් පිටතදී මුහුණු ආවරණය ඉවත් කිරීමට ද ඉඩක් නොලැබේ. බුෂ්රා මේ ආගමික සම්ප්‍රදාය අකුරටම පිළිපදිමින් ජීවිතය ගත කළ කන්තාවක යැයි ඉම්රාන් පවසයි. කාන්තාවකගේ බාහිර පෙනුමට වඩා ඇගේ චරිතය, මනස සහ බුද්ධිය වැදගත් බව ඉම්රාන් එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබිණ.

“… ඒ ගැන තමයි මගේ ලැදියාව තිබෙන්නේ. මගේ බිරිඳගේ බුද්ධිය සහ චරිතය සම්බන්ධයෙන් මා තුළ තිබෙන්නේ දැඩි ගෞරවයක්. ….” යැයි ඔහු කියයි.

මෙයට වසර තුනකට ඉහතදී බුෂ්රා සහ ඉම්රාන් ඛාන් පළමුව හමුවන විට බුෂ්රා ජ්‍යෙෂ්ඨ රේගු නිළධාරියකු හා විවාපත්ව දරුවන් පස් දෙනෙකු ලබා සිටි බව වාර්තාවන්හි දැක් වේ. ඔහු විවාහ පත්ව සිට ඇත්තේ ඛවාර් ෆරීඩ් මනේකා නමැති රේගු නිළධාරියා සමඟයි. මේ අතර තුර දී ඈ සහ ඉම්රාන් අතර දැන හැඳුනුම්කමක් ඇති වන්නේ ද බුෂ්රාගේ අධ්‍යාත්මික උපදේශන කාර්යයන් මුල් කරගෙන ය. ඒ තුළ මතුවුණු කවර හේතුවක් නිසා හෝ බුෂ්රා – ඛවාර් අතර පැවැති තිස් අවුරුද්දකට ආසන්න විවාහය බිඳ වැටේ.

බුෂ්රා හමුවන විට ඉම්රාන් ඛාන් සිය දෙවන විවාහයෙන් දික්කසාදය ලබාගෙන වසර දෙකකට ආසන්න කාලයක් ගෙවා දමා තිබිණ. හෙතෙම දෙවන වර විවාහ වී සිටියේ රෙහාමා ඛාන් නමැති කාන්තාවක සමඟයි. රෙහාමා වඩාත් ප්‍රකට වූයේ බී.බී.සී. සේවයේ මාධ්‍යවේදිනියක හැටියට ය. ඔවුන් අතර විවාහය දස මාසකට වඩා වැඩි කලක් පැවතුණේ ද නැත. රෙහාමා සමඟ විවාහවීමට ගත් තීරණය, තමන් තම ජීවිතය තුළ ගත් බරපතල වැරදි තීරණයක් බැව් හෙතෙම දැන් පවසයි.

“… සාමාන්‍යයෙන් මම රෙහාමා ගැන කිසිවක් කියන්නේ නැහැ. නමුත් මම කියන්න ඕනෑ; මම මගේ ජීවිතය තුළ සමහර අවස්ථාවලදී වැරදි තීරණ ගත් බව. මගේ දෙවන විවාහය ඒ වගේ විශාල වරදක්. …”

කොහොම වුණත් යුදෙව් සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික ජෙමීමා ගෝල්ඩ්ස්මිත් සමඟ විවාහ වීමට තමන් ගත් තීරණය වරදක් යැයි ඛාන් කෙසේවත් නොකියයි. ජෙමීමා සහ තමන් අතර අදටත් ඉතා හොඳ මිත්‍රත්වයක් පවතින බැව් හෙතෙම සිය සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබිණ.

Imran Khan with his bride Reham Khan

Imran Khan with his bride Reham Khan

ජෙමීමා සමඟ ඇති කරගතේ විවාහය බිඳ වැටෙන්නට ප්‍රධාන වශයෙන් බලපෑවේ ඉම්රාන්ගේ දේශපාලන ගමන යැයි සඳහන් වේ.

ජෙමීමා ඛාන් සමග | AFP/Getty Images

ජෙමීමා ඛාන් සමග | AFP/Getty Images

බටහිර සංස්කෘතිය තුළ හැදුනු වැඩුණු ජෙමීමාට පාකිස්තානයේ සාම්ප්‍රදායික සංස්කෘතිකට අනුගත වන්නට නොහැකි වූ බව සමහරු පවසති. ඔවුන්ට අනුව, එය වඩාත් උච්චම තැනකට ළඟාවූයේ ඉම්රාන් ඛාන්, දේශපාලනඥයකුගේ භූමිකාවට ඇතුළුවීමත් සමඟයි. ජෙමීමා – ඉම්රාන් විවාහය දෙදරා ගියද ඔවුන් දෙදෙනාගෙන් කිසිවකු මාධ්‍ය ඉදිරියේ එකිනෙකෙකුට අවලාද කියා ගන්නට ගියේ නැත. එහෙත් රෙහාමා – ඉම්රාන් විවාහය බිඳ වැටීමත් සමඟ ඒ විවාහය තුළ ඔවුන් ලද පිළිකුල මාධ්‍ය හරහා පාඨකයාට අවාසනාවකට මෙන් අත්විඳින්නට ඉඩ ලැබුණේ ය.

ඩයනා කුමරිය පාකිස්ථානයේදී ජෙමීමා ඛාන් හමු වී

The Princess of Wales (L) and her friends Jemima and Imran Khan (R) walk past the Shaukat Khanum Memorial Cancer Hospital in Lahore, February 22.

රෙහාමා පවසන අන්දමට ඉම්රාන් ඛාන් යනු ගැහැනුන් සහ පිරිමින් යන දෙපක්ෂය සමඟම ලිංගිකව සබඳතා පවත්වන, ප්‍රබල මත්ද්‍රව්‍යය භාවිත කරන නොසන්ඩාලයෙකි. ඒ මදිවාට ලෝකයේ අතැන මෙතැන සිටින ගැහැනුන් කිහිප දෙනෙකුම ඔහුට දාව දරුවන් වදා ඇත. රෙහාමා මාධ්‍යට හැලූ මේ කාරණා ගැන වැඩිමත් ම කරදර වූයේ ඉම්රාන්ගෙන් දික්කසාදය ලබාගත් ජෙමීමා ය. රෙහාමා කියන්නේ මුසාවකැයි ජෙමීමා එහිදී එකහෙලාම දැඩිව කියා සිටියා ය.

ඉම්රාන්-ජෙමීමාගේ පුත් සුලෙයිමාන් ඛාන් Photo: Getty Images

ඉම්රාන්-ජෙමීමාගේ පුත් සුලෙයිමාන් ඛාන් Photo: Getty Images

ජගත් ක්‍රිකට් පිටිය තුළ සිය ජවය සහ ක්‍රීඩා කෞශල්‍ය මුදාහරිමින් තරුණියන්ගේ හදවත් දිනා ගන්නට ඉම්රාන් ඛාන් එක්දහස් නවසිය අසූ ගණන්වලදී සමත්ව සිටියේය. එතැනින් නොනැවතුණු ඔහු රාත්‍රී සමාජ ශාලාවලට ගොඩ වැදී එකල බෙහෙවින්ම විනෝදාකාමි සහ සෙල්ලකාර ජීවිතය ගත කළ හැටි දන්නෝ දනිති. මුහුණවත් දැක බලාගන්නට ඉඩක් නොලැබුණු ගැහැනියක සමඟ විවාහ වීම ඒ කාලයේ තමන් විග්‍රහ කළේ “මහා ම මහා පිස්සුවක්” හැටියට බැව් ඔහු අද ප්‍රසිද්ධියේම පවසන්නේ ඒ පසුබිමද මෙනෙහි කරමිනි.

එහෙව් ඉම්රාන් විවාහ තුනකට පසුව කියන මේ කතා දේශපාලනඥයකු මැතිවරණ සමයකදී කියන රස කතා විය නොහැකිදැයි කියා සිහි බුද්ධිය ඇති කෙනෙකුට සිතෙන්නටත් බැරි නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි