මේ සියල්ලෙන්ම පසු අද වන විට ඉන්දියාව කෙබඳු ද? ඉන්දියාව කාන්තාවන් හට කොතරම් දුරකට ආරක්ෂිත දේශයක්ද?
ලෝකයේ කාන්තාවන්ට අනාරක්ෂිතම රට බවට අංක 1 ට තවමත් පත්ව තිබෙන්නේ ඉන්දියාවයි.
ඇමරිකාව පසුවන්නේ 10 වන තැන ය.
ඉන්දියාවේ අහඹු ලෙස තෝරාගත් දැරියන් හෝ යුවතියන්ගෙන් ඔවුන් සිය ජීවිතයේ කෙදිනක හෝ මුහුණ පා ඇති ලිංගික අඩන්තේට්ටම් හෝ බලහත්කාරකම් ගැන ඇසුවහොත් ඔවුන් කුමන ආකාරයේ පිළිතුරු ලබාදේවිද?
‘‘මම ඔය කියන බොහෝ අඩන්තේට්ම්වලට මුහුණපාල තිබෙනවා. බලපෑම් කරමින් පසුපස ඒමේ පටන්, අනවශ්‍ය ලෙස ශරීරය ස්පර්ශ කිරීම, නොදන්නා දුරකථන ඇමතුම් හරහා එන අනිසි බලපෑම් යන මේ හැම දෙයක්ම මම අත්විඳලා තිබෙනවා“ එසේ පවසන්නේ තවම සිය ජීවිතයේ 18 වැනි අවුරුද්දට පා තබා නැති ඉන්දියානු යුවතියකි.
‘‘මා පසුපස ආ තරුණයෙක් මා සමගම බසයට නැංගා.. බස් රියේ සෙනඟ පිරිලා.. ඒක තමන්ගේ වාසියට ගත් මේ පුද්ගලයා මගේ ශරීරයේ අනවශ්‍ය ආකාරයෙන් ඇතිල්ලෙන්නට පටන් ගත්තා.. මම විරෝධය පෑවාම ඔහු කළේ මුළු බස් රියටම ඇහෙන්නට කෑ ගසා බැනීමයි..“ යැයි තවත් ඉන්දීය යුවතියක් පවසයි.
‘මේ වගේ දේවල් මට ගණන් කරන්න බැරි තරම් වාර ගණනක් සිද්ධ වෙලා තියෙනවා..“
‘‘පස්සෙන් එනවා.. බලෙන් ශරීරය ස්පර්ශ කරනවා.. ශරීරයේ ඇතැම් ස්ථාන අනවශ්‍ය ලෙස මිරිකන්නට උත්සාහ කරනවා… ඉදිරියට පැමිණ කලිසමේ සිප් එක ගළවනවා..“ එසේ කියන්නේ 40 හැවිරිදි ඉන්දීය කාන්තාවකි.
කාන්තාවන්ට ආරක්ෂාව සැලසීම ඉන්දියාවේ ජාතික න්‍යායපත්‍රයේ අංක එකට පැමිණිය යුතු යැයි පවසන්නෝ බොහොමයකි. නිර්භයාගේ සිදුවීමෙන් පසුවත්, එනම් 2007 සහ 2016 අතර කාලයේ ද ඉන්දියාව තුළ ස්ත්‍රීන්ට එරෙහිව සිදුවන අපරාධ 83% කින් ඉහළ ගොස් තිබේ.
ඉන්දියාවේ සෑම පැයකදීම ස්ත්‍රී දූෂණ සිද්ධි 4 ක් වාර්තා වේ. මේ තත්වය පවතින්නේ, වාර්තා ගත නොවූ අපරාධ රාශියක් අතරවාරයේ බව ද අමතක නොකළ යුතුය.
ඉන්දියාවේ ‘සෙක්සිසම්‘ යනු එදිනෙදා ජීවිතයේ ඉපදුණු දා පටන් ගැහැණු ළමයා මුහුණ දෙන සාමාන්‍ය සංසිද්ධියක් බවට පත්වෙමින් තිබේ. එයට විරෝධය පාන්නන්ට වඩා එය එදිනදො ජීවිතයේ කොටසක් ලෙස භාරගන්නා අය දිනෙන් දින වැඩි වේ. පුරුෂ මූලික කුලදෙටු සමාජය තුළ ඉන්දියානු කාන්තාව තවමත් සැලකෙන්නේ දෙවැනි පන්තියේ පුරවැසියා ලෙස ය. ඉන්දීය පුරුෂයන් තුළ ගැහැණුන් සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක් ඇතිකිරීම අසීරු කටයුත්තක් වී තිබෙන්නේ ද මේ නිසා ය.
කලෙක ස්ත්‍රීන් දේවත්වයට පත්කර වැඳුම් පිඳුම් කළ රටක්, දේවතාවියන්ට පහන් පත්තු කළ රටක්, ස්ත්‍රීන් වනාහි දුටු විට කෙළසා දැමිය යුතු සත්වයෙක්ය යන මානසිකත්වයට පත් වූයේ කෙසේද යන්න සොයා බැලිය යුතු සමාජ විද්‍යාත්මක කාරණාවකි. නිර්භයාලා තව සිය ගණනක් බිහි වී, දූෂකයන් හමුවේ කෙළෙසී, යුක්තිය ඉල්ලමින් මියැදුණද ඉන්දියාව තවමත් වෙනස් වන ලකුණක් හෝ නැත.