×

ඉන්දියාවේ ගොවි අරගලය ජය ගනියි – නීති හකුළා ගැනීමට මෝදිට සිදු වේ!

වසරක් තිස්සේ ඉන්දියානු ගොවීන් දස දහස් ගණනක් පාරට බැස්සවූ මතභේදාත්මක කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ නීතිය හකුළා ගන්නට ඉන්දියාව තීරණය කර තිබේ.


අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සජීවී ව රූපවාහිනිය ඉදිරියේ පෙනී සිටිමින් පැවසුවේ මෙම මතභේදාත්මක කෘෂිකාර්මික නීති 3 නීති පොත්වලින් ඉවත් කිරීමට අදාළ පාර්ලිමේන්තු ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවයි.

ඔහු මේ බව පැවසුවේ ඉන්දියාවේ පළමු ෂික් ගුරුන් දස දෙනාගෙන් අයෙකු වන ‘ගුරු නායක් දෙව් ජී‘ගේ ජන්ම සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

සැප්තැම්බරයේ සිට මේ දක්වා ඉන්දියාවේ ගොවි අරගලය

(Photo by Anindito Mukherjee/Getty Images)

මෙම මතභේදාත්මක නීති 3 සම්මත කරනු ලැබුවේ 2020 සැප්තැම්බර් මාසයේ ය.

ඉන්දියානු ආණ්ඩුව පැවසුවේ කෘෂිකර්ම අංශය නූතනකරණය සඳහා මෙම නීති අත්‍යාවශ්‍ය බයයි.

මෙමගින් අස්වනු මිල පාලනය ඉවත් කිරීම සිදුවන බව දුටු ඉන්දියානු ගොවීහු, එය සිය ජීවනෝපාය සඳහා දැඩි බලපෑමක් සිදු කරන බව පෙන්වා දෙමින් මහා පරිමාණ උද්ඝෝෂණ ආරම්භ කළහ.

පහත දැක්වෙන්නේ මෝදිට හකුළා ගන්නට සිදුවූ නව නීති 3 හි සාරාංශයයි.

Farmers’ Produce Trade and Commerce (Promotion and Facilitation) Act

මෙම පනත මගින් ,
කෘෂිකර්ම නිෂ්පාදන වෙළඳපොළ කමිටු (APMC) වලින් බැහැරව කෙළින්ම සිය අස්වනු පිටතට විකිණීමට ඉඩ කඩ සැලසිණි. එමගින් වෙළඳුන්ට එකඟ වූ මිලකට ගොවීන්ගෙන් කෘෂි නිෂ්පාදන ලබාගත හැකි විය.

Farmers (Empowerment and Protection) Agreement of Price Assurance and Farm Services Act

මෙම පනත මගින් ගොවීන්ට ‘කොන්ත්‍රාත් කෘෂිකර්මය‘ හෙවත් ‘කන්ට්‍රැක්ට් ෆාමිං ‘ සිදුකර සිය නිෂ්පාදන නිදහසේ වෙළඳපොළට අලෙවි කළ හැකි බව පැවසිණි.

Essential Commodities (Amendment) Act

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ පනත නමැති මෙම නීතිය මගින් අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ ලැයිස්තුවෙන් ධාන්‍ය, කෑමට ගත හැකි තෙල් වර්ග සහ ලූණු ඉවත් කෙරිණ. එහිදී අසාමාන්‍ය තත්වයන් මත මිස ඔවුන්ට සීමාකරණයන්ගෙන් තොරව ඒවා අලෙවි කළ හැකි විය.

ඉන්දියානු ගොවීන් මෝදිගේ මෙම නීති හඳුන්වා දුන්නේ කෘෂිකර්මය මහා පරිමාණ සමාගම් යටතේ පෞද්ගලීකරණය කිරීමක් ලෙසයි. එහිදී තමන්ට සමාගම්වල කුලීකරුවන් බවට පත්වීමට සිදුවන බව ද ඔවුහු පෙන්වා දුන්හ.

ඉන්දියාව සිවිල් ජනතාව මහා පරිමාණයෙන් උද්ඝෝෂණවල යෙදීම මගින් සිය අයිතිවාසිකම් දිනා ගැනීම ගැන ඉතිහාසයක් ඇති රටකි. මෙවර ද ඔවුන් වීදි උද්ඝෝෂණ මගින් සිය ඉල්ලීම් ජයග්‍රහණය කරගෙන තිබේ.

ඉන්දියාවේ ද, ලංකාවේ මෙන්ම බහුතරයක් සිටින්නේ කුඩා පරිමාණයෙන් කෘෂිකර්මයේ යෙදෙන දුප්පත් ගොවීන් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි