×

ඉන්දියාවට වැරදුනේ කොතැනද?

ඉන්දියානුවන් ස්වයං පාපොච්ඡාරණයක් සිදු කළ යුතුයි...


ඉන්දියානු පුරවැසි සංශෝධන පනත (Citizenship Amendment Bill) සම්මත වීමත් සමඟ ප්‍රචණ්ඩත්වය, විරෝධය හා උද්ඝෝෂණ හිනිපෙත්තට නැඟී ඇතිබවක් මේ වන විට පෙනේ. ඒ, එකී පනතේ පවතින මුස්ලිම් විරෝධී න්‍යාය පත්‍රය නිසාය.

දැන් ඉන්දියානු පුරවැසියන් තමා සිදු කළ වරද පිළිබඳ පසුවිපරමක් සිදුකළ යුතු බවට එරට දේශපාලන හා මානව හිමිකම් පිළිබඳ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. දැනට මාස හතකට පමණ පෙර ඉන්දියාව විසින් තෝරා පත් කරගනු ලැබුවේ අද මෙවැනි පනත් සම්මත කරන මෝදි ප්‍රමුඛ රජයක් බව වටහා ගත යුතුව ඇති බව ඔවුහු අවධාරණය කරති.

ඇමරිකාවේ ට්‍රම්ප්ලා ට බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන්ලා ට දෙවෙනි නොවන උග්‍ර දක්ෂිණාංශික නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය පසුගිය ඉන්දියානු මැතිවරණය තුළ දෙවන වරටත් විශිෂ්ට ජයක් ලබා ගෙන තිබිණි. එය ඓතිහාසික ජයග්‍රහණයක් බවට වාර්තා විය.

එවැනි මැතිවරණ ජයග්‍රහණයක් 1970 දශකයේ සිට ඉන්දියාවේ වාර්තා වී නොතිබිණි. ආසන 545 කින් යුත් පාර්ලිමේන්තුවෙන් ආසන 303 ක් සහිතව මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ දේශපාලන භූමිය තුළ ආධිපත්‍යය දරනු ලබයි. එබැවින්, මෙම රජය ඉන්දියාවේ දේශපාලන ස්ථාවරත්වයට, ආර්ථික ප්‍රගතිය හා මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රගතියක් සහතික කළ යුතුව ඇත.

එහෙත්.. මේ වන විට මාස 7ක් පමණ ගතවී ඇත. ඉන්දියාවේ ආර්ථිකය අවුලෙන් අවුලට පත්ව ඇත. එහි ජාත්‍යන්තර කිර්තිය අඩපණ වෙමින් පවතී. අධ්‍යාපනය හදාරන සිසුන් සන්නද්ධ වන තත්ත්වයකට පත්ව ඇති අතර, ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත වල කැලඹිලි සහගත සිදුවීම් වාර්තා වේ.

නව පුරවැසි සංශෝධන පනත පිළිබඳ විරෝධතා ඉන්දියාවේ උතුරු නැගෙනහිර, නවදිල්ලි අගනුවර, උත්තර් ප්‍රදේශ්, බටහිර බෙංගාලය සහ මහාරාෂ්ට්‍ර යන ප්‍රාන්ත හය දක්වා බරපතල අන්දමින් ව්‍යාප්ත වී තිබේ.

පසුගිය සඳුදින ඉන්දියාව පුරා විශ්ව විද්‍යාල 33 ක සිසුන් මහමඟට බැස විරෝධතාවයේ නිරත වන අයුරු දක්නට ලැබිණි. ජාතික නීති විද්‍යාල විසින් ඒකාබද්ධව නිකුත් කර තිබූ නිවේදනයක ඉන්දීය අගවිනිසුරුවරයා විවේචනය කොට තිබිණි. එකී නිවේදනය හරහා ඔවුන් පෙන්වා දී තිබුණේ මූලික අයිතිවාසිකාම් ඉන්දියාවේ ව්‍යවස්ථාමය රාමුවට නතු කළ නොහැකි බවයි. ඒ, පොලිස් මර්දනයට එරෙහි ගොනුකළ පෙත්සම් විභාග කිරීම එරට අගවිනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබූ බැවිණි.

පසුගිය දිනයේ සම්මත වූ පුරවැසි සංශෝධන පනත තුළ උග්‍ර මුස්ලිම් විරෝධයක් පිළිඹිමු වී තිබිණි. එම පනත මඟින් පාකිස්තානය, බංගලිදේශය හා ඇෆ්ගනිස්ථානය ආදී රට වල මුස්ලිම් සරණාගත පුද්ගලයන් හට පුරවැසිභාවය ලබා දීම තහනම් කර ඇත. මේ අනුව බොහෝ විශ්ලේෂකයින් ගේ තර්කය වන්නේ දක්ෂිණාංශික මතධාරී භාරතීය ජනතා පක්ෂයේ අභිලාෂය හින්දු බහුතර ජාතියක් ඉන්දියාව තුළ පිහිටුවීම බවයි.

එහෙත්… ඉන්දියානුවන් 2014 වර්ෂයේදී මෙන්ම 2019 වර්ෂයේදී ද ඉහලින් ජයග්‍රහණය කරවූයේ මෙවන් රජයක් නොවේද? එවකට ඉන්දියාවේ සුළුතර ජන කොට්ඨාශ සිටියේ නිදිබරිතව ද? ඉන්දියානුවන් තමාට වැරදුණේ කොතැනද යන්න පසුවිපරමක් සිදු කළ යුතුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි