×

සියවසකට එහා කඳුළු කතාවක සමාප්තිය ලියවී වසරක් සපිරීම අභියස සොඳුරු යුග දිවියට පිවිසි බියන්කා හා සයිමා

ආදරයට සීමාවන් අවශ්‍ය නැත. ජාතිභේද අවශ්‍ය නැත. ලිංගභේද, ස්ත්‍රී-පුරුෂ සමාජභාවයන් අවශ්‍ය නැත.


ඈ බියන්කා මයේලි නම් විය, ඈ සයිමා අහ්මඩ් නම් විය.. ඉන්දියාව තුළ අධිරාජ්‍යවාදී පාලන සමයේ පටන් සාපරාධීකරණය වී තිබූ සමරිසිභාවය ඓතිහාසික ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය 2018 සැප්තැම්බර් 06 වන දින නිර්සාපරාධීකරණය වී වසරක් සපිරීමට නියමිත මේ මොහොතේ මෙම සමරිසි යුවල සොඳුරු යුග දිවියට පිවිසෙයි.

කොලොම්බියානු-ඉන්දියානු සම්භවයක් ඇති බියන්කා කිතුණු කාත්තාවකි. සයිමා පකිස්තානු මුස්ලිම් කාන්තාවකි. ඈ දෙපළ යුග දිවියට පිවිසි දිනයේ ඡායාරූප මේ දින වල සමාජ මාධ්‍ය ජාල වල බෙහෙවින් කතා බහට ලක්වෙයි.

ආදරයෙන් පිරි සිනහවකින් මුව සරසා ගෙන සිටින එම දෙපළ නැවත නැවතත් අප හට මතක් කර දෙන්නේ ආදරයට සීමාවන්, ලිංග භේදයන්, හෝ සමාජභාවයන් නොමැති බවයි!

ඔවුන්ගේ විවාහෝත්සවය දිනයේ බියන්කා ඉන්දියානු සාරියෙන් ද සයිමා ෂර්වානි ඇඳුමෙන් ද සැරසී සිටියාය.

බියන්කා ට සයිමා මුණ ගැසෙන්නේ ඇමරිකාවේදී ය.

ආදරයෙන් වෙළුණු එම දෙපළ කලක් ගත වත්ම ඉන්දියානු සම්ප්‍රදානුකූලව අතිනත ගැනීමට තීරණය කරන්නේ කැලිෆෝර්නියාවේදී ය.

මෙම දෙපළේ මංගලෝත්සවය සඳහා ඇඳුම් නිමවා තිබෙන්නේ දකුණු ආසියාතික විලාසිතා නිර්මාණකරුවකු වන බිලාල් හුසේන් කසිමොව් විසිනි. බියන්කා සැරසී සිටි අතිමනරම් ඉන්දියානු සාරිය ද, ඈගේ ශීර්ෂාභරණය වන මාන්ග්ටිකාව හා රත්‍රන් හා මුතු වළළු නිර්මාණය කර තිබෙන්නේද, සයිමා සැරසී සිටි විචිත්‍රවත් සිත්තරූ එම්බ්‍රොයිඩර් කර ඇති කළු පැහැති ෂර්වානි නම් සම්ප්‍රදායික දකුණු ඉන්දියානු මනමාල ඇඳුම නිර්මාණය කර තිබෙන්නේ ද කසිමොව් විසිනි.

පූර්ව-විවාහෝත්සව චාරිත්‍රයක් වන මෙහෙන්දි ඇඳීමද ඔවුන් විසින් සිදුකරන ලදී.

ඔවුන්ගේ විවාහෝත්සවයේදී බරත් පෙරහැර ද පැවැත්විණි – එමඟින් දෙපාර්ශවයේ පවුලේ සාමාජිකයින් මුණගැසී, ගීත ගායනා කරමින් හා නර්ථනයේ යෙදෙමින් එම සොඳුරු මොහොත සැමරීම සිදුවිණි.

සුභ මොහොතින් මුදු මාරුකරගත් බියන්කා හා සයිමා බිරිඳ සහ බිරිඳ වශයෙන් ප්‍රකාශයට පත්කෙරිණි.

මෙහෙන්දි උත්සවයේදී එක හා සමානව අලංකරණයෙන් දිස්වූ එම දෙපළේ බියන්කා රෝස පැහැති ලෙහෙන්ගා නම් ඇඳුමින් ද, සයිමා රෝස පැහැති බ්‍රොකේඩ් ජැකට්ටුවක් සමඟ කුර්තා පිජාමා ඇඳුමින්ද සරසවන ලදී.

බෙදුණු ජාතීන් දෙකක් එක් කරවීම නිමිතිකොට ගෙන මෙන්ම සියවසකට අධික කාලයක් මුළුල්ලේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයේ දෝංකාරයන් ලෙස පීඩාවට පත්කළ සුළුතර ප්‍රජාවකට යුක්තිය ඉටුවීම ද නිමිති කොට ගෙන බියන්කා – සයිමා ගේ යුගදිවියට පිවිසීමේ පුවත ලොව පුරා පුළුල් ප්‍රශංසාවට ලක් විය.

කාශ්මීරයේ අර්බුදකාරී වාතාවරණය ලෝහිත දියර දවමින් ඉන්දියානු දේශපාලනය කෙරේ ද්වේශයෙන් බැලීමට නෙත් සුසර කරවන මෙවන් මොහොතක, බියන්කා හා සයිමා යුග දිවියට පිවිසීම ඉන්දු – පකිස්තානු සබඳතා ශක්තිමත් කරවන සංකේතාත්මක විවාහෝත්සවයක් බවට ඇතැමුන් අර්තකථනය කර තිබිණි.

ඇතමෙක් ලොව වසන LGBTIQ ප්‍රජාවේ සමානාත්මතාවය කරා දිවෙන සටනේ තවත් එක් සන්ධිස්ථානයක් බවට එය අර්තකථනය කර තිබිණ.

ආදරයට සීමාවන් අවශ්‍ය නැත. ජාතිභේද අවශ්‍ය නැත. ලිංගභේද, ස්ත්‍රී-පුරුෂ සමාජභාවයන් අවශ්‍ය නැත. මිනිසුන් අතර වැඩකඩුළු සීමාවන් බඳිමින්, බලලෝභයෙන් අවි අතට ගනිමින් රුධිරය සෙලවීමට වඩා ආදරයෙන් එකිනෙකා හා බැඳෙමින් සාමයෙන් හා සමාදානයෙන් ජීවත් වන ලොවක් බිහිවන්නේ නම් මිහිතලය විශ්වයේ සොඳුරුතම නවාතැන වනු ඇති බවට නොඅනුමානය. බියන්කා හා සයිමා ලොවට කියා දුන්නේ එම පණිවුඩයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි