×

තාත්තයි පුතයි එකම පාසලේ – එකම පන්තියේ

අතල් බිහාරි වජ්පායි ගැන නෑසූ කතා


පසුගියදා අභාවප්‍රාප්ත වූ හිටපු ඉන්දීය අගමැති අතල් බිහාරි වජ්පායි (Athal Bihari Vajpai ) මහතාගේ දේශපාලන ජීවිතය විවෘත කළ පොතක් බඳු යැයි විචාරකයෝ කියති. එහි සෑම පිටුවක්ම පාහේ හැම කෙනෙකුටම කියවිය හැක. ඒ නිසා ඒ විත්ති හැම කෙනෙක්ම දනිති. නමුත් අතල් බිහාරි වජ්පායිගේ පුද්ගලික ජීවිතය සහ ඒ හා බැඳුණු රස කතා පිළිබඳව දන්නෝ අල්පයකි. අවුට්බවුන්ඩ් ටුඩේ පාඨකයන් වෙත මේ උදා වන්නේ එවැනි රස කතා කිහිපයක් දැන ගැනීමේ දුලබ අවස්ථාවයි.

අතල් බිහාරි වජ්පායි සහ ඔහුගේ තාත්තා, එකම පාසලේ එකම පන්තියේ එකට සිටියා පමණක් නොව, ඔවුන් දෙදෙනාට නේවාසිකාගාරයේ ද සිටීමට සිදුවුණේ එකට ය.

කෙසේ නමුත් එය සිදුවුණේ වජ්පායි හයේ හතේ පන්තියේ සිටින ළමා කාලයේ නොව, වැඩුණු වියේදී ය. එනම් ඔහුට සිය පියා වන ක්‍රිෂ්ණා බිහාරි වජ්පායි සමග එකටම ගැවසීමට සිදුවුණේ පළමු උපාධිය ලැබීමෙන් පසු නීති උපාධිය ලැබීම සඳහා DAV විද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුව ය. එම පන්තියේ ඔහුගේ පියා වන එවකට විශ්‍රාමලත් ගුරුවරයෙකු වූ ක්‍රිෂ්ණා බිහාරි වජ්පායි ද සිටියේය.

ඕනෑම තරුණයෙකු මෙන්ම අතල් බිහාරි වජ්පායි ද මේ සිදුවීම නිසා පන්තියේ සිටියේ අපහසුතාවයෙනි. නමුත් කුමක් කරන්නද? අවසානයේ අතල් සඳුදා දේශනවලට යාමට වඩාත් ප්‍රිය කළේ ඔහුගේ පියා අඟහරුවාදා දිනයන් හි දේශනවලට සහභාගි වන්නට ප්‍රිය කළ නිසා ය.

එකල එම පාසලේ විදුහල්පතිවරයා වශයෙන් සිටි ආචාර්ය අමිත් කුමාර් ෂිවස්තාවා ඒ මතකය මෙසේ අවදි කරයි. ‘‘වජ්පායි ජී 1945 අවුරුද්දේ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිය හැදෑරීමෙන් පසු LLB සඳහා අපේ පාසලට ආවා. වසරකට පසුව ඔහු එම පාඨමාලාව හැර ගියා. තාත්තා සමග එකම පන්තියේ ඉගෙන නොගත්තා නම් ඒක වෙනස් වන්නටත් ඉඩ තිබුණා….!“

එම පාසලේ වජ්පායිගේ සමයේදීම ඉගෙන ගත් අයෙක් එම සිදුවීම මෙසේ සිහිපත් කරයි. ‘‘DAV හොස්ටල් එකේ තාත්තයි පුතයි දෙදෙනාම නතර වෙලා හිටියෙ 104 කාමරයේ. අතල් ජී ට පියා සමග එකම පන්තියේ ඉගෙන ගැනීම ලෙහෙසි දෙයක් වුණේ නැහැ. ශිෂ්‍යයන්ගේ පවා උසුළු විසුළුවලට ඔවුන් ලක් වුණා“


පළමු BMW අගමැති

අතල් බිහාරි වජ්පායි අගමැති ධුරය දරන තෙක්, ඉන්දියාවේ සියලුම මැති ඇමතිවරුන් සහ අගමැතිවරුන්ගේ නිල මෝටර් රථය වී තිබුණේ සුප්‍රසිද්ධ ඇම්බසිඩර් කාරයයි. නමුත් වජ්පායි ඒ වෙනුවට තෝරාගත්තේ BMW සෙඩාන් කාරයයි.

රාහුල් ගාන්ධිව බේරාගත් හැටි

1996 වසරේ අතල් බිහාරි වජ්පායි ඉන්දියාවේ කොංග්‍රසය නොවන වෙනත් පක්ෂයකින් තේරී පත් වූ ප්‍රථම අග්‍රමාත්‍යවරයා බවට පත්විය. නමුත් බහුතරය පෙන්වීමට අසමත් වීම නිසා ඔහුට දින 13 කින් ඉල්ලා අස්වීමට සිදුවිය. පසුව 1998 දී වජ්පායි භාරතීය ජනතා පක්ෂය, ඉන්දියාවේ මහජන මතය දිනාගත් ප්‍රථම කොංග්‍රස් නොවන පක්ෂය බවට පත් වෙමින් ආණ්ඩුවක් පිහිටුවීය. මේ අතර 2001 වසරේදී රජීව් ගාන්ධිට මහත් අකරතැබ්බරයක් සිදුවිය. ඇමරිකාව බලා ගමන් ගනිමින් සිටි රාහුල් ගාන්ධි, බොස්ටන් ගුවන් තොටුපොළේදී නතර කෙරුණේ ඇමරිකානු ඩොලර් 160,000 ක අත්පිට මුදලක් ගෙන යාම නිසා ය. එසේම ඔහු ළඟ හෙරොයින් කුඩු බවට සැක කෙරුණු සුදු පාට කුඩු සහිත බෑගයක් ද තිබිණි. ෆෙඩරල් රහස් ඔත්තු සේවය ඔහු ව විමර්ශන සඳහා රඳවා තබාගත් අතර, සෝනියා ගාන්ධි අතල් බිහාරි වජ්පායි වෙත ගියේ සිය පුතු බේරාදෙන්නැයි ඇවිටිලි කරමිනි. ඇමරිකානු නීතිය අනුව එකවරකට ගුවන් මගියෙකුට ඇමරිකානු ඩොලර් 10000කට වඩා ගෙන යා නොහැක. නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කළා නම් රාහුල් ගාන්ධි ට වසර 168 ක සිර දඬුවමක් නියම වේ. අවසානයේ එවකට රාජ්‍ය ලේකම්වරිය වූ කොන්ඩොලීසා රයිස් වෙත දුරකථන ඇමතුමක් ලබාදුන් වජ්පායි, දේශපාලන පසමිතුරෙකු වුවද රාහුල් ගාන්ධි ව නිදහස් කර ගැනීමට මැදිහත් විය.

එවකට ඉන්දු – ඇමරිකානු සබඳතා ශක්තිමත් ව තිබූ බැවින් ඇමරිකානු ජනපති ජෝර්ජ් බුෂ් ගේ පරිපාලනයට අතල් බිහාරි වජ්පායිගේ ඉල්ලීම අහක දැමිය නොහැකි විය. පැය 8 ක ප්‍රශ්න කිරීමකින් අනතුරුව රාහුල් ව නිදහස් කෙරිණි. අද වන විට රාහුල් කොංග්‍රස් පක්ෂයේ නායකයා ය. භාරතීය ජනතා පක්ෂයේ අතල් බිහාරි වජ්පායි නොසිටින්නට කොංග්‍රසය අද යන එන මං නැති පක්ෂයක් බවට පත්විය හැකිව තිබිණි.

පෙර ලිපි-

ඉන්දියාව න්‍යෂ්ටික යුගය වෙත ගෙන ගිය අතල් බිහාරි වජ්පායි සමුගනියි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි