×

ජැකී චෑන්ගේ ලිංගික ජවනිකාවක් නිසා ඉරාන රූපවාහිනී ලොක්කෙක් ගෙදර!

සුපිරි සටන් නළු ජැකී චෑන්, චිත්‍රපටයකදී වෛශ්‍යාවක සමග ලිංගිකව හැසිරෙන දර්ශනයක් රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට ඉඩ හැරියේ යැයි චෝදනා නගා, ඉරානයේ රූපවාහිනී සේවයක ප්‍රධානියෙකු සේවයෙන් පහ කර තිබේ.


මෙම සිදුවීමට මුහුණ දී තිබෙන්නේ ඉරානයේ කිෂ් අයිලන්ඩ් හි Kish IRIB රූපවාහිනියේ ප්‍රධානියා වන විධායක අධ්‍යක්ෂවරයා හට ය.

මෙම ලිංගික ජවනිකාව, ඉරානයේ රූපවාහිනී සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන දැඩි වාරණ සීමාවන් තරයේ උල්ලංඝනය කළ එකක් බව බලධාරීහු පවසති.

ඉරාන රූපවාහිනියෙන් ලිංගික දර්ශනය තබා, ස්ත්‍රීන් හා පුරුෂයන් එකිනෙකාට අතට අත දීමේ දර්ශනයක්වත් විකාශය කිරීම තහනම් ය.

ඉරානය ස්ත්‍රී පුරුෂ සදාචාරය පිළිබඳ දැඩි ඉස්ලාම් නීතිවලින් පාලනය වන රටකි.

නමුත් මෙම රූපරාමුව විකාශනය වන රූපවාහිනියක්, කිසිවෙකු විසින් වීඩියෝගත කර සමාජ ජාලවලට මුදා හැර තිබේ.

හොංකොං නළු ජැකී චෑන්, සුපිරි සටන් කලාව සහ හාස්‍ය මුසු රංගනය සඳහා ලෝ පතල අයෙකි. ලෝකයේ එදා මෙදාතුර බිහිවූ දක්ෂතම හා ජනප්‍රියම නළුවෙකු වන ඔහු 1960 දශකයේ පටන් මේ දක්වා චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවක රඟපා ඇත. “Rumble in the Bronx,” “Kung Fu Panda” සහ “Rush Hour” චිත්‍රපට මාලාව මේ අතර වේ.

නවතම වාර්තාවලට අනුව, ජැකී චෑන්ගේ තත්පර කිහිපයක ලිංගික දර්ශනය සහිත චිත්‍රපටය විකාශය වූ Kish IRIB හි විධායක අධ්‍යක්ෂවරයාට අමතරව, එම චිත්‍රපටය විකාශය කිරීමට සම්බන්ධ වූ නිෂ්පාදන මණ්ඩලයේ තවත් කිහිප දෙනෙකුගේ ද සේවය අහිමි කිරීමේ සූදානමක් තිබේ.

මේ පිළිබඳ මධ්‍යස්ථ ඉරාන ජාතිකයන් දක්වන අදහස් ද සමාජ ජාලවල දැකිය හැකිය. එහිදී ඔවුන් මතුකරන එක් කරුණක් වන්නේ, පසුගිය සතියේ ටෙහෙරාන් නුවර ශිෂ්‍යයන් 10 දෙනෙකුගේ දිවි අහිමි කරමින් සිදුවූ මාරක බස් රථ අනතුර සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙකුගේ සේවය අහිමි කර නැති බවයි. ‘‘තත්පර කිහිපයක් ජැකී චෑන් සෙක්ස් කරන දර්ශනයක් නිසා ඒ අංශයේ හැම කෙනෙක්ම ගෙදර යන්න ඕනෙද?“ යැයි එක් ට්විටර් පරිශීලකයෙක් ප්‍රශ්න කර තිබේ. ‘‘බස් පෙරළෙනවා, ගුවන් යානා කඩා වැටෙනවා, නැව් ගිලෙනවා.. වගකිව යුතු කවුරුවත් ගෙදර යන්නෙ නෑ..“ යැයි ද එහි සඳහන් වේ.

මේ අතර, Kish IRIB රූපවාහිනියේ රේසා රැෂිඩ්පූර් නමැති ප්‍රහසන ශිල්පියා, සිය වැඩසටහනේදී සේවකයන් ගෙදර යැවීමේ මෙම සිදුවීම හාස්‍යයට ලක් කළේ ‘ජැකී චෑන් එම චිත්‍රපටයේ ලිංගික දර්ශනයේ යෙදෙන නිළිය සමග විවාහ වූ බවට‘ වාක්‍යයක් දැමිය යුතුව තිබූ බවයි. එසේ වූවානම් රූපවාහිනී සේවකයන් ගෙදර නොයවනු ඇති බවයි!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි