×

අයිසිස් මනාලිය – ෂාමිමා බෙගම්ට මව් රටත් අහිමි වෙයි.

අයිසිස් සංවිධානයට බැඳීම සඳහා 2015 වසරේදී ඇය සිය මිතුරියන් දෙදෙනෙක් ද සමග එංගලන්තයෙන් සිරියාව බලා ගියාය. ඇයට දැන් නැවතත් සිය රට බලා පැමිණීමට උවමනා කර තිබේ.


නමුත් එක්සත් රාජධානිය තීරණය කර තිබෙන්නේ ඇගේ පුරවැසිභාවය අහෝසි කරන්නට ය.

‘අයිසිස් මනාලිය‘ යනුවෙන් පසුගිය සතිවල ශීර්ෂපාඨ මැවූ මේ යුවතියගේ පවුලේ නීතීඥවරු, දැන් මේ සඳහා අභියෝග කරන්නට සූදානමින් සිටිති.

එදා වයස 15 දී ඇය එංගලන්තයේ ගැට්වික් ගුවන් තොටුපොළෙන් සිරියාව බලා ගියේ පන්තියේ මිතුරියන් දෙදෙනෙක් ද සමග ය. ඔවුන් තිදෙනාම නැගෙනහිර ලන්ඩනයේ බෙත්නාල් ග්‍රීන් ඇකඩමියේ ශිෂ්‍යාවෝ වූහ. ඔවුන්ගේ පන්තියේ තවත් සිසුවියක් එයට මාස කිහිපයකට පෙර සිරියාව බලා ගොස් තිබිණි. එනිසා ඔවුන්ගේ සැලසුම වූයේ එම මිතුරිය සමග සිරියාවේ අයිසිස් සංවිධානය තුළදී එක්වීම ය.

මිතුරියන් දෙදෙනා සමග ගැට්වික් ගුවන් තොටුපොළෙන් පිටව ගිය අවස්ථාව

අවසානයේ මෙයට සති කිහිපයකට පෙර ඇය ගැන අලුත්ම තොරතුර ලැබුණේ සිරියාවේ අල්-හවාල් හි සරණාගත කඳවුරකිනි. ඒ වන විට ඇය නව මස් ගැබිනියකි. ඇයට අවශ්‍ය වී තිබුණේ සිය දරුවාට උපත ලබාදෙන්නට මව් රට බලා ඒමට ය. සිරියාවේදී තමන් තවත් දරුවන් දෙදෙනෙකු බිහි කළ නමුත් ඔවුන් මන්දපෝෂණයෙන් සහ වෙනත් රෝග තත්වයන්ට ගොදුරු වීම හේතුවෙන් බිළිඳු වියේදීම මිය ගිය බව ද ඇය පැවසුවාය.

The Times
ඇය අවසානයේ ජීවත් වී තිබුණේ මෙම සරණාගත කඳවුරේ ය. | The Times

සිරියාවේ අල්-හවාල් සරණාගත කඳවුරේ ඇය වැනිම තවත් 39,000 ක් අවතැන්ව සිටින බව කියැවේ.

අයිසිස් රණකාමිනියක් වන්නට සිරියාව බලා ගිය ඇය එහිදී අපා දුක් විඳි බවට සැක නැත. රණකාමිනියක් වන්නට සිහින මැවූවද අවසානයේ ඇයට සිදුව තිබුණේ අයිසිස් ත්‍රස්තයෙකු සමග යහන්ගත වෙමින් දරුවන් බිහි කරන්නට ය. තමන් අයිසිස් භටයෙකු සමග විවාපත් වූ බවත්, ගෘහණියක ලෙස කල් ගත කළ බවත් ඇය කියා තිබේ.

15 හැවිරිදි, සැප පහසු ජීවිතයක් ගත කළ මේ යුවතිය අයිසිස් සංවිධානයේ සැබෑ මුහුණුවර නොදැන සිටියාද? දරුවා බිහිකිරීමෙන් පැය කිහිපයකට පසුව ඇය විසින් පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබේ. එහිදී ඇය කියා තිබෙන්නේ අයිසිස් සංවිධානය විසින් මිනිසුන්ගේ ගෙළ කපමින් සිදුකරන ඝාතන ගැන තමන් සිරියාවට ඒමට පෙර දැන සිටි බව ය. ‘‘ඒත් මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ“ යැයි ද ඇය කියා තිබේ. ‘‘මම සිරියාවට එන්න කලින් ඉස්ලාම් ආගමට නැඹුරු වුණා. මට අහන්න ලැබුණු දේවල්වලට අනුව ඉස්ලාම් ආගම මෙවැනි දේ අනුමත කරනවා. ඒ නිසා මට එය වැරැද්දක් විදිහට පෙනුණෙ නෑ.“ බෙගම් ස්කයි නිව්ස් අමතා පැවසුවාය.

‘‘මම කිසිම අවදානම් දෙයක් කළේ නෑ. මම සිරියාවට එන්නට කියා කිසිම කෙනෙක් දිරිමත් කළෙත් නෑ‘‘ යැයි ද ඇය පවසයි. කෙසේ නමුත් ඇය ආපසු ඒමට උත්සාහ කිරීම පිටුපස තිබෙන්නේ කුමක්ද යන්න ගැන පවතින්නේ ද අපැහැදිලි බවකි.

එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු අමාත්‍ය සජීඩ් ඩාවිඩ් ඇය ගැන දරන්නේ දැඩි මතයකි. අයිසිස් වැනි ත්‍රස්ත සංවිධානවලට බැඳුණු අය ආපසු ඒව වැළැක්වීමට තමන් පසුබට නොවන බව‘‘ ඔහු පවසයි.

එංගලන්තය තුළ ද ඇයට ආපසු මව්රටට ඒමට ඉඩ නොදිය යුතු බවට විශාල ජනමතයක් තිබේ. විශේෂයෙන්ම මැන්චැස්ටර් නගරයේදී අරියානා ග්‍රාන්ද්ගේ සංගීත ප්‍රසංගයකට බ්‍රිතාන්‍ය ජාතිකයන් 23 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරය අමතක කිරීමට ඔවුන් සූදානම් නැත.

බාගවිට යුවතියගේ සිහිනය ද උමතුව ද දැන් අහවරව ඇතුවා වන්නට ඇත. නමුත් ඇතැම් උමතු සිහිනවලින් ඇහැරුණ ද ආපසු හැරෙන්නට බැරිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි