×

ආසියාවේ ඉස්ලාම් දහම කොයිබටද?

කෙසේ නමුත් මේ වන විට ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා, විශේෂයෙන්ම ගතවූ පසුගිය දශක කිහිපය තුළ ඉස්ලාමීයන්ගේ බලවන්ත බව උච්ච අවස්ථාවකට පැමිණ තිබේ.


බොහෝ අග්නිදිග ආසියාතික මුස්ලිම්වරුන් අතරින් ඉස්ලාමය යළි උපත ලබා ඇත්තේ දේශපාලන ප්‍රපංචයක් ලෙසටය. නික් අසීස් නික්මැට්, මූලික වශයෙන් මලයාසියාවේ ස්වභාවය වෙනස්වනවාට කැමති වන්නේ නැත. සෑම දිනකම, සවස යාඥා කිරීමෙන් අනතුරුව මෙම හැත්තෑ දෙහැවිරිදි ඉස්ලාම් පූජකවරයා ඔහුගේ උළු සෙවිලි කළ, කාමර හයකින් යුක්ත දැවැන්ත නිවසේ විසිත්ත කාමරයේ තඩි ලී දොර විවර කරයි. ඔහු එතුළට ගමන් ගන්නේ තමන්ගේම වූ විශේෂී කටයුත්තකටය. ඔහු තමන්ගේ පිහිට පතා එන පුද්ගලයන්ට ආගමික උපදේශක සේවාව ලබා දෙනුයේ විවාහ උපදෙස් ලබා දෙනුයේ, මානසික සංවර්ධනයට අවශ්‍ය උපදේශන ලබාදෙනුයේ මෙම විසිත්ත කාමරයේ සිටය. නික් අසීස්ගේ උපකාර ලබා ගැනීමට තරම් භාග්‍යවන්ත වූ, එක් දුක්ඛිත මිනිසෙකු අසීස්ට අයත් දුහුවිලි වැකුණු සෝපාවක වැතිරී හිඳියි. ඉන්ද්‍රජාල බලයෙන් නික් අසීස් එම අසරණයාගේ අත්ල මත තබනුයේ ඩොලර් දසදහසකි. ණය බරින් මිරිකුණ පීඩිතයාට සැනසුම් සුසුම් හෙළීමට එම මුදල හොඳටම ප්‍රමාණවත්ය. සීයා කෙනෙකුට උරුම ගැඹුරු, ශාන්ත කටහඬින් නික් අසීස් රැස්ව සිටි පිරිස අමතයි. සියලුම ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීම සඳහා නොවැරදිම අල්ලාහ් දෙවිඳුන් වැඳිය යුතු බවට රැස්ව සිටි පිරිස එකඟකරවා ගැනීමට නික් අසීස්ට එතරම් වෙහෙසක් ගත යුතු නොවේ. නමුත් එම දැවැන්ත නිවසේ බිම් මහලේ තබා ඇත්තේ නික් අසීස් විසින් දීමට නියමිත වෙනත් ආකාරයේ පණිවිඩයකි. මලයාසියානු ජනතාවගෙන් බහුතරය මැලේ මුස්ලිම් ජාතිකයෝය. ඉතිරි අය චීන හෝ ඉන්දියානු ජාතිකයෝ වෙති. නික් අසීස්ට ඔවුන් සිටීම ප්‍රශ්නයක් නොවේ. එහෙත් ඔහුගේ සිත තුළ රැව් පිළිරැව් දෙන එක් මහාර්ඝ බලාපොරොත්තුවක් තිබේ. එය නම් බහුවාර්ගික, බහු ආගමික රටක් වන මලයාසියාව, මුස්ලිම් නීතිය යටතේ පාලනය වන ප්‍රාන්ත රාජ්‍යයක් බවට පත්කර ගැනීමය. ඔහුට අවශ්‍ය ෂාරියා නීතිය රට තුළ ක්‍රියාත්මක වනු දැකීමටය. ෂාරියා නීතිය යටතේ සොරුන්ගේ දෑත් දෙපා කපා දමනු ලැබේ. වෛශ්‍යාවන්ව ගල් ගසා මරා දමනු ලැබේ.

විවාහයට ප්‍රථම විවාහ ගිවිස ගැනීම, ලිංගික සම්බන්ධතා පැවැත්වීමට තවදුරටත් බලපත්‍රයක් නොවනු ඇත. උතුරු දිග කෙලෙන්ටැන් ප්‍රාන්තයේ මහ ඇමති වශයෙන්, එයටත් වඩා මලයාසියාවේ ඉස්ලාමික පක්ෂයේ අධ්‍යාත්මික නායකයා වශයෙන් නික් අසීස් නගන හඬ, කිසිසේත්ම නොතකා හැරිය හැකි එකක් නොවේ. ‘‘සියල්ලන්ටම ඉස්ලාමය….’’ ඔහු මුමුණයි. ‘‘එය තමයි ඉස්ලාම් දහමේ ඇති විශේෂත්වය. එයට වඩා වැඩි විශේෂත්වයක් ඉස්ලාමීය දහමේ මට පෙනෙන්නේ නැහැ.’’ ගිනිකොන දිග ආසියාවේ සුභාරංචිය විශ්වාස කරනවුන් මෙන් දෙතුන් ගුණයක ප්‍රමාණයක් අද අල්ලාහ් දෙවිඳුන්ව නමදියි. සැප්තැම්බර් 11 ප්‍රහාරයේදීත්, බාලි බෝම්බ සිද්ධියේදීත් ආර්ථික හෝ දේශපාලනික සීමා නොතකා ගිනිකොන දිග ආසියානු මුස්ලිම්වරුන් එකමුතු වී ඇති ආකාරයක් ඉතා හොඳින් දැකගත හැකියි. අන්‍යාගමික මුස්ලිම්වරුන් පවා, බටහිර රටවල වෙසෙන මුස්ලිම්වරු පවා ලහිලහියේ ඉස්ලාම් දහම වැළඳ ගන්නා ආකාරයක් අපට දැකගත හැකිය. ඔවුන් එසේ කරනුයේ ආගමික වශයෙන් හා දේශපාලන වශයෙන් යන දෙආකාරයෙන් ඔවුන්ට ස්ව ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට අවශ්‍ය වී තිබෙන බැවිනි. ඉරාකය ඔවුන්ට ඇති මැද පෙරදිග විස්මලන්තය බවට සැකයක් නැත. ලෝක බලවතුන් ඔවුන්ට එරෙහිව නැගී සිටියදීද ඔවුන් විශේෂයෙන්ම ඉරාකය හැම අතින්ම ශක්තිමත්ය. හැම අතින්ම නිර්භීතය. සෞදි අරාබියේ ද තත්ත්වය එයම වේ. ඉස්ලාමීය දහම මිනිසුන්ගේ සිත් දිනාගත් සාර්ථකත්වය අද ඊයේ දිනෙක ඇතිවූ දෙයක් නොවේ. කෙසේ නමුත් මේ සමගම, ඉස්ලාමයේ නැගීමට ප්‍රතිරෝධී බොහෝ බලවේග ලෝකයේ ඇති බව ද අමතක නොකළ යුතුය. මේ අතර පැහැදිලිව පෙනෙන එක් කාරණයක් තිබේ. එය නම් ගිනිකොන දිග ආසියාවේ ඉස්ලාම් දහම, පැහැදිලි දිශාවකට යොමු වී ඇති බවයි. කොදෙව් දූපතක මෙවැනි තත්ත්වයක් ඇති වීම බැරෑරුම් කරුණකි. ඉන්දුනීසියාවේ අභ්‍යන්තර දේශපාලන වාතාවරණය වර්තමානයේ මෙතරම් පැටලිලි සහගත වීමට එක් ප්‍රධාන හේතුවක් වනුයේ ද මෙම හුදෙකලා බවයි. කෙසේ නමුත් ගිනිකොනදිග ආසියාවේ ඉස්ලාමය ව්‍යාප්ත වීමට එරෙහිව ඇති එක් ස්වාභාවික බාධකයක් වන්නේ ද එම කලාපයේ ඇති බහු ආගමික විවිධත්වයයි. උදාහරණයක් වශයෙන් මලයාසියාවේ මිලියන 5.4 ක චීන ජාතිකයන් පිරිස ෂාරි නීතියට අවනත වීමට කිසිදා එකඟ නොවනු ඇත. ඉන්දුනීසියාවේ ආසියාතික පදනමේ සභික ඩොග්ලස් රමාගේ මෙලෙස පවසයි. ‘‘ඉස්ලාමීය දේශපාලන පක්ෂවලට ඔවුන්ගේ උපකාරය, සහයෝගය ලබාගැනීමට ඇති අවස්ථා ඉතා සීමිතයි.’’

කෙසේ නමුත් මේ වන විට ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා, විශේෂයෙන්ම ගතවූ පසුගිය දශක කිහිපය තුළ ඉස්ලාමීයන්ගේ බලවන්ත බව උච්ච අවස්ථාවකට පැමිණ තිබේ. මෙයට වසර හතරක කාලයකට පෙර, නික් අසීස්ගේ පී.ඒ.එස්. පක්ෂය මලයාසියානු දේශපාලන ලෝකයේ තීරණාත්මක සාධකයක් බවට පත්වී නොතිබිණි. පී.ඒ.එස්. සීමා වී තිබුණේ ප්‍රධාන වශයෙන් කෙලාන්ටන් ප්‍රදේශයටය. නමුත් 1999 මහ මැතිවරණයේ දී පී.ඒ.එස්. පක්ෂයට දෙවන ප්‍රාන්ත රාජ්‍යය පිහිටුවීමට තරම් බලවන්තකමක් හිමි වී තිබුණි. ඉන්පසු එය මලයාසියානු ජාතික පාර්ලිමේන්තුවේද ආසන 193 න් 27ක් එකවර දිනා ගත්තේය. වර්තමානයේ එය, අගමැති මහතීර් මොහොමඩ්ගේ පැවැත්ම තීරණය කරන සාධකයක් බවට ද පත් වී තිබේ. ඔහුගේ දේශපාලන පක්ෂය වන එක්සත් මලයානු ජාතික සංවිධානයේ විරුද්ධ පක්ෂය වශයෙන් ක්‍රියා කරන්නේ ද පී.එස්.ඒ. පක්ෂයයි. පී.ඒ.එස්. සිහින මවන්නේ මෙම වසරේ පැවැත්වීමට නියමිත ඊළඟ මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණවල දී තමන්ට අයත් වපසරිය තව තවත් දියණු කර ගැනීමටය. UMNO හි තරුණ නායකයෙකු වන බායිරි ජමලුඩීන් මෙලෙස පවසයි. ‘‘අපි ඉතා වේගයෙන් ඉස්ලාමය ව්‍යාප්ත වීම නමැති තර්ජනයකට මුහුණ පාලා’’ කෙලන්ටන් ප්‍රාන්තයේ අගනගරය වන කොටාබහරු, නැගෙනහිර ආසියාවේ වඩාත්ම සම්ප්‍රදායික ලෙස ඉස්ලාම් බව විදහා දක්වන නගරය ලෙසට හැඳින්විය හැකිය. නික් අසීස්ගේ නිවස පිහිටා ඇත්තේ ද මෙහිය. කොටාබහරුවල, ඔබට කෙදිනකවත් මලයාසියාවේ අගනගරය වන ක්වාලාලම්පූර්වල දැකිය හැකි ආකාරයේ ස්ත්‍රී පුරුෂ සම්මිශ්‍රණයක් දැකගත නොහැකිය. කොටාබහරු ස්ත්‍රීන් ජීවත් වන්නේ පුරුෂයන්ගෙන් හුදෙකලා වූ ඔවුන්ගේ ආධිපත්‍යයට නතුවූ ලෝකයකය. මෙම කාන්තාවෝ අනිවාර්යයෙන්ම පර්දා පළඳිති. දේශීය රජය, මුස්ලිම් ධර්මයට එකඟව යමින් මුස්ලිම්වරුන්ට මධ්‍යසාර පානය කිරීමට එරෙහිව නීති පනවා ඇත. ඒ අනුව රාත්‍රී සමාජශාලා සහ තැබෑරුම් ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණකි. නගරයේ පල්ලියෙන් යාඥා දේව මෙහෙයේ නාදය නිකුත් කරනවාත්ම නගර මධ්‍යයේ ඇති ලුවිස් ඩෙනිම් කලිසම් වෙළෙඳාම් කරන සුපිරි වෙළෙඳසල් හිමියා තම වෙළෙඳපළෙහි ඇති ස්ටීරියෝ කැසට් යන්ත්‍රය වසා දමයි. බඩු විකුණා ගැනීමට කේවල් කරන තැරැව්කරුවෝ තමන්ගේ ඝෝෂාව සියුම් කෙඳිරීමක් දක්වා අඩුකර ගනිති.

කොටාබාරුහි සුපිරි වෙළෙඳසලෙහි පවා කාන්තාවන්ට හා පුරුෂයන්ට වෙන වෙනම වශයෙන් වෙන් වූ මුදල් ගෙවන කවුන්ටර් තිබේ. විශාල ප්‍රදර්ශන පුවරුවල කාන්තාවන්ට වෙන්වූ ෂැම්පු පිළිබඳ වෙළෙඳ දැන්වීම් පළවුවද, එම වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටින කාන්තාවන්ගේ එක් කෙස් ගසක් හෝ පිටතට නොපෙන්වීමට ඔවුහු ප්‍රවේශම් වෙති. පර්දනා හෝටලයේ අත්සන් මගින් පණිවුඩ යවන ක්‍රමයක් ක්‍රියාත්මක වුවද කිසිදු පුරුෂ ගනුදෙනුකරුවෙකුට එමගින් වැරදි අදහසක් ඇති කරගත නොහැක. එයට හේතුව එම පණිවුඩ ක්‍රමය හා සම්බන්ධ සියලුම දේ ක්‍රියාත්මක වන්නේ පුරුෂයින් අතින් වීම නිසාය. සතියකට දෙවතාවක් නික් අසීස් තම පුද්ගලික වියදමෙන් ඉදිකරන නිවසට යාබදව පිහිටා ඇති දේවස්ථානයේ දිනයේ අවසාන යාඥා මෙහෙය පැවැත්වීමට සහභාගි වෙයි. ඉන්පසු ඔහු වේදිකාව මත දෙපා කතිරාකාරයට දමාගෙන වාඩිගන්නේ රැස්ව සිටින්නන් අමතා ඉස්ලාමය පිළිබඳ දේශනාවක් පැවැත්වීමටය. ඔහුගේ අනුගාමිකයෝ සිය ගණනක් ඉතා කැමැත්තෙන් මෙම දේශනා ඇසීමට පැමිණෙති. ඔවුන්ට ඔහු ලබා දෙන එක් වචනයක් පවා ඉතාම වටින්නේය. පසුගිය තිස් අට වසර පුරාම නික් අසීස්ගේ මෙවැනි දේශනාවලට සවන් යොමු කළ අනුගාමික ඉස්මායිල් ඕමාර් මෙලෙස පවසයි. ‘‘මා මෙහි පැමිණෙන්නේ මුස්ලිම් ජාතිකයෙකු වශයෙන් ඉස්ලාම් ආගමිකයෙකු වශයෙන් ජීවත් විය යුතු ආකාරය ඉගෙන ගැනීමටයි.’’ ඔහු පී.ඒ.එස්. ආධාරකරුවෙකු පමණක් නොවන නික් අසීස් සිහින මවන මුස්ලිම් රාජ්‍යය තැනීමට පෙරුම් පුරන්නෙක්ද වෙයි. ඔහු පවසන ආකාරයට එවැනි රාජ්‍යයක් මලයාසියාවට වඩාත්ම ගැලපෙනු ඇත. ‘‘අපි නියම මුස්ලිම් ජාතිකයන්’’ ඔහු තම සිතැඟියාවට හේතු පැහැදිලි කරන්නේ ඒ ආකාරයටය. රටේ ආර්ථික ශක්තිය පී.ඒ.එස්. සාමාජිකයන් අතට ඒකරාශී වී තිබීම මොවුන්ගේ බලසම්පන්න බව අනියම් ආකාරයට දියුණු තියුණු කිරීමට හේතු වී තිබේ. එම තත්ත්වය වරක් මලයාසියානු අගමැතිවරයා සහ උපඅගමැතිවරයා වන අන්වර් ඉබ්රාහීම් අතර මත ගැටුමක් ඇති කරවිය හැකි තරමට ප්‍රබල එකක් විය.

 කොටාබහරුහි තෑගි භාණ්ඩ විකුණන වෙළෙඳ හිමිකරුවෙකු වන බයිහැඩ් අහ්මඩ් පසුගිය වර්ෂයේ පී.ඒ.එන්. පක්ෂයෙන් මහ මැතිවරණයට තරග කළ අයෙකි. ‘‘එයට හේතුව තමයි, මම විශ්වාස කරනවා මේ රජය වඩ වඩාත් ඉස්ලාමීය විය යුතුයි කියලා.’’ ඔහු විස්තර කරයි. කෙසේ නමුත් රජය ඉස්ලාමීය නීතිය, රටේ නීතිය බවට පත් කළ යුතු යැයි ඔහු අදහස් කරන බවක් එයින් අදහස් නොවේ. ‘‘කාන්තාවන් තමුන්ගේ හිස් වසාගෙන සිටිය යුතුයි කියලා මම හිතන්නෙ නැහැ’’ ඔහු පවසයි.

ඉන්දුනීසියාවේ ආර්ථිකයද, දැනට වසර තිස් දෙකක පමණ දිගු කාලයක් මුළුල්ලේ ඒකරාශී වී ඇත්තේ ජනාධිපති සුභර්තෝ අත නොව එරට සිටින ඉස්ලාමික කණ්ඩායම් අත බව පැවසීම සත්‍යයකි. 1999 වර්ෂයේ පැවැත්වූ මැතිවරණයෙන්, පාර්ලිමේන්තුවේ තුනෙන් එකක බලයක් දිනාගැනීමට ඉන්දුනීසියාවේ අන්තවාදී මුස්ලිම් කණ්ඩායම්වලට හැකිවී තිබේ. ඉන්දුනීසියානු ජනාධිපති පදවියට පත් මෙඝාවතී සුකර්ණෝ පුත්‍රිගේ පදවි ප්‍රාප්තිය ප්‍රමාද කිරීමට ද මොවුහු සමත් වූහ. ඔවුන්ගේ තර්කය වූයේ ප්‍රාන්ත නායකත්වයට කාන්තාවකට පත්විය නොහැක යන්නයි. ඒ වෙනුවට ඔවුහු වඩාත් ලිබරල් මතධාරි ඉස්ලාමීය දේශපාලනඥයින්ව ඒ සඳහා ඉදිරිපත් කළහ. ඒබ්‍රහම් වාහිඩ් එවැන්නෙකි. අවසානයේ 2001 වසරේදී මෙඝාවතීට ජනාධිපති පදවියට පත්වීමට ඉතා විශාල වෙහෙසක් ගැනීමට සිදු විය. එහෙත් ඒ සමගම උපජනාධිපති පදවියට පත්වූයේ දැනට තමුන්ට බිරින්දෑවරැන් තිදෙනෙකු ඇතැයි නිතර පම්පෝරි ගසන කොන්සර්වේටිව් ඉස්ලාමික ආගමික හැස්සාහ් හැස්ය.

ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යන සටනට මෙම ඉස්ලාම් භක්තිකයන් දක්වනුයේ විරෝධයකි. මේ අතර ඔවුන් 2004 වසරේ පැවැත්වීමට නියමිත මහමැතිවරණය දෙස උකුසු ඇසින් බලා සිටිනුයේ, හැකිනම් ජනාධිපති පදවියට පවා අභියෝග කරන්නේය යන බලාපොරොත්තුව යටි සිතේ දරාගෙනය. කොටාබහරුහි තෑගි භාණ්ඩ විකුණන වෙළෙඳ හිමිකරුවෙකු වන බයිහැඩ් අහ්මඩ් පසුගිය වර්ෂයේ පී.ඒ.එන්. පක්ෂයෙන් මහ මැතිවරණයට තරග කළ අයෙකි. ‘‘එයට හේතුව තමයි, මම විශ්වාස කරනවා මේ රජය වඩ වඩාත් ඉස්ලාමීය විය යුතුයි කියලා.’’ ඔහු විස්තර කරයි. කෙසේ නමුත් රජය ඉස්ලාමීය නීතිය, රටේ නීතිය බවට පත් කළ යුතු යැයි ඔහු අදහස් කරන බවක් එයින් අදහස් නොවේ. ‘‘කාන්තාවන් තමුන්ගේ හිස් වසාගෙන සිටිය යුතුයි කියලා මම හිතන්නෙ නැහැ’’ ඔහු පවසයි. ඔහු වැන්නන් යොගියා කර්තාහි පළාත් පාර්ලිමේන්තුවේ උපසභාපතිවරයා වන බොයෙඩි ඩෙවන්ටොරෝගේ ආධාරකරුවන්ය. ඉන්දුනීසියවත් මලයාසියාවත් අතර ඇති ප්‍රධානතම වෙනස්කම වන්නේ ඔවුන්ගේ දිගුකාලීන නීති යොදාගෙන ඇති වෙනස් ආකාරයයි. ඉන්දුනීසියාවේ සුභර්තෝ, නිතරම තමන්ට මුස්ලිම්වරුන් වෙතින් ඉදිරි අභියෝගයක් එල්ල වෙතැයි සැක පහළ කරන්නෙකි. ඒ නිසාම ඔහු ගිනිකොන දිග ආසියාවේ ත්‍රස්තවාදයට එරෙහි සටනට ස්ව කැමැත්තෙන්ම සහාය පළ කරයි. බාලි බෝම්බ සිද්ධියට අනියම් ආකාරයට සම්බන්ධ යැයි සැක කෙරෙන ජෙමාහ් ඉස්ලාමියා සංවිධානයේ අධ්‍යාත්මික නායක අබුබකාර් වෝආසියාර් මේ වන විට ජකාර්තාහි සිරබත් කන්නේ සුභර්තෝගේ එම දුරදිග දකින ඥානයට පින්සිදුවන්නටය.

නමුත් මලයාසියාවේ මහතීර් තම රට ඉස්ලාමීය කිරීමේ ව්‍යාපාරයක යෙදී ඇතැයි කිව හැකිය. ඔහු ඉස්ලාමීය විශ්වවිද්‍යාල ඇතුළුව මුස්ලිම් ජාතිකයන් සඳහාම වෙන්වුණු පාසල් පිහිටුවයි. ඔහු මේ දිනවල ඉස්ලාමීය බැංකු ක්‍රමයක් තම රට තුළ ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියට ද උරදී සිටියි. කෙසේ නමුත්, මහතීර්ගේ අරමුණ සහ අන්තවාදී මුස්ලිම්වරුන්ගේ අදහස් එක හා සමාන යැයි කිව නොහැකිය. ඔවුහු මහතීර්ගේ පාලනයට ද අභියෝග කරති. අනෙක් අතට මහතීර්ගේ කටයුතුවලද ඒකාග්‍ර බවක් දැකගත නොහැකිය. ඔහු එක් පසෙකින් මුස්ලිම් බැංකු ක්‍රමයක් ගොඩනංවන අතර අනෙක් පසෙන් රටට විදේශ මුදල් ගලා ඒමේ මං වර්ධනය කිරීම පිණිස විදේශ සම්බන්ධතා වැඩි දියුණු කිරීමට ද උත්සාහ කරයි. ඒ නිසාම පී.ඒ.එස්. ඇතුළු බොහෝ ඉස්ලාමීය පක්ෂවල ඔහුට එරෙහිව විරෝධයක් ගොඩනැගී තිබේ. ‘‘අපෙන්ම හැදුණු ඔහු අද අපට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා.’’ ක්වාලම්පූර්හි චින්තකයෙකු හා අන්තවාදී මුස්ලිම් ජාතිකයෙකු හා මලයාසියානු පර්යේෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂවරයෙකු වන අබ්දුල් ඊසාක් බැගින්ඩා පවසන්නේ කෝපයෙන් දැවෙමිනි. මලයාසියනු ඉස්ලාම් දැඩි මතවාදීහු හැකි සැමවිටකම තමන්ගේ පිරිසට ආධාර කරති.

සැප්තැම්බර් 11 ප්‍රහාරය සිදු කරන තෙක්ම මහතීර් ප්‍රසිද්ධියේ නික් අසීස් සමග සබඳතා පැවැත්වීය. පී.ඒ.එස්. පක්ෂය කෙලෙන්ටන් හි ප්‍රාන්ත පාර්ලිමේන්තුව පාලනය කරයි. තවද ප්‍රාන්තයේ නීති මාලාව ලෙස ඉස්ලාමීය නීතිය පිළිගන්නැයි ඔවුහු ඉල්ලා සිටිති. ඇෆ්ගනිස්ථාන යුද්ධය පැවති සමයේ පී.ඒ.එස්. පාක්ෂිකයෝ තලෙයිබාන්වරුන්ට සහාය දීම ප්‍රතික්ෂේප කළහ. නික් අසීස්ගේ පුත්‍රයන්ගෙන් එක් අයෙකු වන නික් අඩ්ලි, 2001 වසරේ සිට පිටුවහල් කර ඇත්තේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ඔහු සහාය දැක්වූයේය යන චෝදනාව ඔප්පු වී ඇති නිසාවෙනි. නික් අසීස් එකහෙළා පවසන්නේ රජයට තම පුතුට එරෙහිව ඉදිරිපත් කිරීමට සාක්ෂි නොතිබුණු බවත්, ඔවුන් ත්‍රස්තවාදයේ හා නීතියේ මුවාවෙන් අනියම් දේශපාලන වාසි ලබාගන්නා බවත්ය. පී.ඒ.එස්. පාක්ෂිකයන්ට ඇති ලොකුම ගැටලුව මලයාසියාවේ ජනගහන විවිධත්වයයි. එරට මිලියන 23 ක ජනගහනයෙන් 40% කට අධික පිරිසක් මුස්ලිම්වරු නොවෙති. එම තත්ත්වය ‘‘සෑම කෙනෙකුටම ඉස්ලාමය’’ යැයි නිර්දේශ කිරීමට ඔවුන්ට බාධා ඇති කරයි. මලයාසියානු චීන සංගමයේ කොටාබහරු ශාඛාවේ සභාපතිවරයා වන ලියොනිග් සසියැන්ග් ප්‍රකාශ කරන්නේ චීන ජාතික සුළුතරය ක්‍රම ක්‍රමයෙන් කෙලින්ටන් ප්‍රාන්තයෙන් ඈතට හැකිතරම් පියමං කිරීමට උත්සාහ කරනා බවකි. ඔවුහු කෙලින්ටන්වල පදිංචිය අතහැර වඩාත් ආරක්ෂිත ස්ථාන කරා පියමං කිරීමට පටන්ගෙන ඇත්තාහ. පී.ඒ.එස්. රජය ප්‍රාන්ත ආර්ථිකය කෙරෙහි, ඉස්ලාමය තරමට සැලකිලිමත් නොවන බවට චීන ජාතිකයෝ චෝදනා කරති. ‘‘මෙම රජය ආගමික වැඩියි’’ ඔහු චෝදනා කරයි. ‘‘ඒ නිසා දැන් මෙහි නිදහසක් නැහැ. මෙම ක්‍රමය දිගටම පැවතුණහොත් චීන ජනගහනය ක්‍රමයෙන් මේ ප්‍රදේශයෙන් වඳ වෙලා යාවි.’’ ඉන්දුනීසියානු විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ශිෂ්‍යයකු වන චියාරා සාරි වැන්නවුන්ගේ ආකල්ප ද එයට වඩා වෙනස් නැත. තෙමසකට පෙර, ඉස්ලාමීය දේශකයෙකුට සවන් දුන් ඇය ජීවිතයේදී ප්‍රථම වතාවට පර්දාව වෙනුවට හිසේ ලේන්සුවක් බැඳීමට පටන් ගත්තාය. ‘‘ඒක වඩාත් සුවපහසු’’ යැයි ඇය පවසයි.

දැන් ඇය උත්සාහ ගන්නේ දිනකට පස් වතාවක් කරන යාඥාවලින් එකක් හෝ අතපසු නොකරන්නටය. මග නොහරින්නටය. ඇය වඩාත් ප්‍රිය කරන්නේ ඉස්ලාමීය ඉගැන්වීම පිළිබඳව ඇති ගීතවලට සවන් දෙන්නටය. ඇය රටෙහි ඇති දේශපාලන පක්ෂ පිළිබඳව වැඩි විස්තර දන්නේ නැත. එහෙත් ඉදිරියේ පවත්වන සෑම මැතිවරණයකදීම ‘වඩාත්ම ඉස්ලාමීය’ පක්ෂය වෙනුවෙන් එම ඡන්දය ප්‍රකාශ කිරීමට ඇය ඉටාගෙන සිටින්නීය.

ආසියාවේ ඉස්ලාමීය ව්‍යාප්තිය

ආසියානුකරයේ ජීවත් වන මුළු මුස්ලිම්වරුන්ගේ ප්‍රමාණය මිලියන 670 ක් ලෙසට දළ වශයෙන් ඇස්තමේන්තු කර තිබේ. පහත් දැක්වෙන්නේ ටයිම් සඟරාව දක්වා තිබූ ආකාරයට ආසියාවේ එක්සත් රටවල ඉස්ලාම් දහම ව්‍යාප්ත වී ඇති ආකාරයයි. -පාකිස්ථානය- ඉතා වේගවත් මුස්ලිම් ජනගහන වර්ධනයක් ඇති රටක් වශයෙන් හඳුනාගෙන තිබේ. ශුද්ධ යුද්ධය වෙනුවෙන් කරන යාඥා පාකිස්ථානයේ දේවස්ථානවලින් දේව මෙහෙයන් අතරතුරදී ඇසීමට පුළුවන. තවද පාකිස්ථානය සන්නද්ධ කල්ලිවලට නිවහනක් ද වෙයි. ඔවුන්ගේ ඇතැමෙක් සටන්වැද සිටින්නේ ඉන්දියානු නීතියෙන් පාලනය වන කාශ්මීරය එයින් මුදවා ගන්නටය. පාකිස්ථානයේ දැඩි මතධාරී දේශපාලන නායකයන්ගෙන් පාලනය වන හතරෙන් එකක ප්‍රදේශයක වැසියන්ට සංගීතයට සවන්දීම, අධික ශබ්දයෙන් සංදර්ශන ආදිය පැවැත්වීම, රූපවාහිනි නැරඹීම හා විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් කර තිබේ. -ඇෆ්ගනිස්ථානය- උතුරු දිග සන්ධානය බලය තහවුරු කරගැනීමේ සිට කාන්තාව හා ළමුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත විය. නමුත් යළිත් එම කාන්තාවෝ ඉස්ලාමීය දහමේ දැඩි පීඩනයට හසුවී සිටිති. ඇෆ්ගනිස්ථානය, ඉස්ලාමීය නීතිය මගින් පාලනය වන ගෝත්‍රික සමාජයක් ඇති රටක් ලෙසට හඳුන්වා දිය හැකිය. -බංග්ලාදේශය- ගතවූ වසර කිහිපය ඇතුලත ඉස්ලාමික දේශපාලන පක්ෂවල හදිසි නැගී සිටීමක් ඇතිවී තිබේ. තමුන්ගේ රටෙහි ගිනිකොන දිග ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් පුහුණුව ලබන පුහුණු කඳවුරු ඇති බව බංග්ලාදේශ පාලකයන් පිළිගෙන තිබේ. -ඉන්දියාව- මුස්ලිම්වරු ඉතා වේගයෙන් හින්දු ජාතිකයන් අභිබවමින් සමාජයේ ඉදිරියට පැමිණීමට උත්සාහ කරමින් සිටිති. -තායිලන්තය- තායිලන්තය දැඩි ආගමික මතවාදීන් හා ත්‍රස්තවාදීන් දැන් බොහෝ දුරකට අඩු වී තිබේ. එයට හේතුව තායිලන්ත රජයේ හා පොලිසියේ දැඩි මර්දනයට ඔවුන් ලක්වීමයි. කෙසේ නමුත් රටෙහි දකුණු පළාතේ තවමත් මොවුන්ව ඉතිරි වී ඇත. -පිලිපීන දූපත්- රටෙහි දකුණු දිග මුස්ලිම් රාජ්‍යයක් ඇති කරගැනීම සඳහා මුස්ලිම් සටන්කාමියෝ දැනට දශක කිහිපයක් මුළුල්ලේ සටන් වැද සිටිති. වඩාත් රැඩිකල් මුස්ලිම් ජාතිකයෝ ගිනිකොනදිග ආසියානු අල් – කයිඩා ත්‍රස්ත ජාලයට සම්බන්ධ වී ඇත්තාහ. රටෙහි මුස්ලිම්වරු 3.5 ක පමණ අතිවිශාල ප්‍රමාණයක් ජීවත් වෙති. -මැලේසියාව- රටෙහි බහුතරය මුස්ලිම් මැලේ ජාතිකයන්ය. (මිලියන 13 ක් පමණ) ඔවුහු අගමැති මහතීර් මොහොමඩ්ගේ නූතන ඉස්ලාමික ව්‍යාපාරික මිත්‍රත්වයත්, මැලේසියාවේ ප්‍රබලතම විරුද්ධ පක්ෂය වන PAS හි පැවත්මත් අතර ප්‍රධානතම තීරණාත්මක සාධකය බවට පත්වී ඇත්තාහ.

කෙසේ නමුත් මුස්ලිම් ත්‍රස්තවාදයේ බිඳ වැටීමක් 2001 මැද භාගයේ සිට ඇතිව ඇති අතර, මේ වන විට මිලිටරි මුස්ලිම් ආගමිකයන් 70 ක් පමණ දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. PAS සාමාජිකයන් ද ඒ අතර සිටීම ආන්දෝලනයට තුඩු දී ඇති කරුණකි. -මියැන්මාරය- බුරුමයේ රොහින්ජ්‍යා මුස්ලිම්වරුන් මෑත කාලීන ඉතිහාසයේ වඩාත්ම මර්දනයට ලක්වූ සුළුතරය බවට ජගත් සංවිධානය නොබෝදා ප්‍රකාශ කළේය. බුරුමය තුළ වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටිමින් අරගලයක නිරත වූයේ රොහින්ජ්‍යා වරුන් අතරින් ඉතා සුළු කොටසක් පමණි. එහි ප්‍රතිඵලයක් ලෙසට බුරුමයේ හෙවත් මියැන්මාරයේ බෞද්ධ අන්තවාදයේ ගොදුරක් බවට ඔවුන් පත්වූ අතර, අසල්වැසි බංග්ලාදේශයට පැමිණෙන විශාලතම සරණාගත ප්‍රජාව බවට පත්වීමට ද ඔවුන්ට සිදුවිය.මියැන්මාරය තුළ මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව ඉතා දැඩි මර්දනයක් ක්‍රියාත්මක වේ. -ඉන්දුනීසියාව- මුස්ලිම් ආගමිකයන් මිලියන 200 ක් සිටින ඉන්දුනීසියාව ලෝකයේ වඩාත්ම ජනප්‍රිය මුස්ලිම් රාජ්‍යය බවට පත්වී ඇත. ජෙමාහ් ඉස්ලාමියා සංවිධානයේ දැවැන්තයන් මෙන්ම බාලි බෝම්බකරුවන් හා ඔවුන්ගේ ආධාරකරුවන් ඉන්දුනීසියාව සමග සමීප සබඳතා පැවැත්වූවන්ය. මලුකු දූපත්වල පසුගිය සමයේ මුස්ලිම් හා ක්‍රිස්තියානි ගැටුම් ද ඇති විය. සුලාවෙසිවල ද මෙම තත්ත්වයම ඇති විය. දෙපක්ෂයටම තම මිනිසුන්ගේ ජීවිත දහස් ගණනක් එයින් අහිමි විය. මීට අමතරව කාම්බෝජයේ ද චීනයේ ද සිංගප්පූරුවේද දැඩි මතධාරී මුස්ලිම් භක්තිකයන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් දැකගත හැකිය. කැමැරුප් ගරිල්ලන් ද සහිත කාම්බෝජයේ මුස්ලිම් ජනගහනය මේ වනවිට 600,000 කි. චීනයේ එය මිලියන 20 ක තරම් ඉහළ අගයක් ගන්නා අතර සැප්තැම්බර් 11 දා සිද්ධියට සම්බන්ධ ත්‍රස්තවාදීන් බටහිර සින්ජියැන් පළාතේ සැඟවී සිටි බවද හෙළි වී තිබේ. සිංගප්පූරුවේ සුළුතර මුස්ලිම් ප්‍රජාව, නිතරම බහුතර චීන ජාතිකයන්ගෙන් තමන්ට ගැහැට සිදුවන්නේ යැයි චෝදනා කරති. ඔවුන් ප්‍රමාණයෙන් 371,000 ක පිරිසකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි