×

ඊශ්‍රායලයෙන් හමාස් සංවිධානයට දැඩි ප්‍රහාර

ගාසා තීරයේ ඊශ්‍රායල් - හමාස් ගැටළු උත්සන්න වෙයි. විශාල පරිමාණ  යුද්ධයක් දක්වා වර්ධනය වේදැයි බියක්.


2014 ගාසා යුද්ධයෙන් පසු හමාස් සංවිධානය මේ වන විට ගාසා තීරය තුළ දරුණුතම ඊශ්‍රායල් ප්‍රහාරවලට ලක්ව සිටින බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනියාහු (Benjamin Netanyahu ) පැවසීය.

ගත වූ දිනය තුළ ගාසා තීරයේ පිහිටා තිබෙන හමාස් බලකොටු ගණනාවකට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර එල්ල වූ අතර නෙතනියාහු පවසන්නේ එම ආක්‍රමණය, ගතවූ දිනවලදී ඊශ්‍රායලය වෙතට එල්ල වූ 90කට අධික රොකට් ප්‍රහාරවලට පිළිතුරු දීමක් බවයි.

ගාසා තීරයේ ප්‍රධාන නගරය ලෙස සැලකෙන ‘ගාසා සිටි‘ දරුණු ප්‍රහාරවලට ලක්ව ඇති අතර, ඊශ්‍රායල් බලධාරීන් පවසන අන්දමට ගාසා හි හමාස් යුධ මූලස්ථානයක් වන බෙල්ට් ලහියා ගොඩනැගිල්ල ද ප්‍රහාරවලට ලක්ව ඇත. එය උතුරුදිග ගාසාවේ පිහිටා තිබෙන අල්-ෂාති සරණාගත කඳවුරේ කොටසක් වන අතර, රොකට් ලෝන්චර සහ ආයුධ ගබඩා එම ස්ථානයේ ඇති බව ඊශ්‍රායලයේ මතයයි.

මෙම උණුසුම්කාරී තත්වය හටගත්තේ පුරා මාස ගණනක් මුළුල්ලේ පලස්තීනයේ පවතින නොසන්සුන්තාවය උච්ඡ තත්වයට ගෙන එමිනි. මේ වන විට ඊශ්‍රායලයේ භූමියට අයත් ව තිබෙන මුල් බිම් වෙත පලස්තීන සරණාගතයන් හට තිබෙන අයිතිය වෙනුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් පෙළ ගැසී උද්ඝෝෂණය කරන ආකාරය ගතවූ මාස කිහිපය තුළ දැකගත හැකි විය. මෙහිදී විරෝධතාකරුවන් විසින් ඉදිරිපත් කළ තවත් සුපුරුදු ඉල්ලීමක් වූයේ ඊශ්‍රායලය සහ ඊජිප්තුව විසින් ගාසා තීරයේ සිදුකර තිබෙන සැපයුම් අවහිරකිරීම් වහාම නතර කරන ලෙස ය.

ගාසා තීරයේ වාර්තාවලට අනුව, පලස්තීන සරණාගතයන්ගේ අයිතිය පිළිබඳ මෙම ගැටළුවෙන් ගත වූ මාස කිහිපය තුළ පලස්තීනුවන් 130 දෙනෙක් මරණයට පත් වී ඇති අතර, 15,000 කට අධික පිරිසක් තුවාළ ලැබූහ.

පලස්තීන විමුක්තිකාමී සංවිධානය වන හමාස්, ඊශ්‍රායලයේ පැවැත්ම පිළිගන්නේ නැත. ඔවුහු වෙනම පලස්තීන රාජ්‍යයක් ඉල්ලා සිටිති. නමුත් ඔවුන් පසුගිය වර්ෂයේ ප්‍රකාශ කළේ ගාසා තීරයට සහ බටහිර ඉවුරට පමණක් සීමා වූ අන්තර්වාර පලස්තීන රාජ්‍යයක් (an interim Palestinian state ) පිළිගැනීමට තමන් සූදානම් බව ය.

2014 වසරේදී ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ දැඩි හමුදා ප්‍රහාරය හැඳින්වෙන්නේ Operation Protective Edge යනුවෙනි.

පසු සටහන-
ඊශ්‍රායල – පලස්තීන අර්බුදය පිළිබඳ පහත මාතෘකාවලින් සමන්විත ලිපි මාලාවක් අවුට්බවුන්ඩ් ටුඩේ විසින් සම්පාදනය කර ඇති අතර, ඒවා කොටස් වශයෙන් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු.

1. ඊශ්‍රායලය සහ පලස්තීනය යනු? දෙරට යුධ වදින්නේ ඇයි?
2. සියොනිසම් යනු කුමක්ද?
3. ඊශ්‍රායලය රටක් වූ හැටි
4. නක්බා
5. බටහිර ඉවුර
6. ජෙරුසලම
7. ගාසා
8. ජනාවාස පිළිබඳ ගැටළුව
9. පලස්තීන විමුක්ති සංවිධානය, ෆටා සහ පලස්තීන අධිකාරිය
10. හමාස් සංවිධානය
11. පලස්තීන නැගී සිටීම් හෙවත් ඉන්ටිෆාඩා
12. වෙනත් මැදපෙරදිග රටවල් පලස්තීන අර්බුදය දකින අයුරු
13. ඇමරිකාව සහ ඊශ්‍රායලය මෙතරම් හිතවත් ඇයි?
14. ඊශ්‍රායලය සහ පාකිස්ථානය, ලෝකයේ ඇසින්
15. ඊශ්‍රායල, පලස්තීන සාම ක්‍රියාවලිය යනු කුමක්ද?
16. ඊශ්‍රායල් සහ පලස්තීන ආණ්ඩු විසින් ‘සාමයේ වරදවා හැසිරීම‘
17. ද්වී රාජ්‍ය විසඳුම සහ ඒක රාජ්‍ය විසඳුම
18. සාම ක්‍රියාදාමය අසාර්ථක වුවහොත්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි