×

ඊශ්‍රායල ගාසා තීරය සහමුලින් ම වටලයි

ඉරානය විසින් හමාස් සංවිධානයට අරමුදල් සහ ආයුධ සැපයීමත්, විශේෂයෙන්ම, ලෙබනනයේ ප්‍රබල හිස්බුල්ලා ව්‍යාපාරය ගැටුමට සම්බන්ධ වීම වැළැක්වීමටත් එක්සත් ජනපදය උත්සුක වන බවයි වාර්තා වන්නේ.


පසුගිය සෙනසුරාදා (07) පලස්තීනයේ හමස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලයේ ලෝකයේ ආරක්ෂිතම අයන් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතියට රොකට් 7000කින් පමණ පැහැර දෙමින් වසර 76ක ඉතිහාසය තුළ මෙතෙක් නොවූ විරූ ප්‍රහාරයක් ගොඩබිමින්, සාගරයෙන් හා ගුවනින් දියත් කිරීමත් සමඟ මේ වනවිට ඊශ්‍රායල විසින් සමස්ත ගාසා තීරයම සහමුලින් වටලා ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant නිවේදනය කර තිබේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පලස්තීනය ජන ශුන්‍ය කලාපයක් කරන බවට දිවුරුම් දෙමින් ගාසා තීරයයේ විදුලිය, ඉන්ධන සහ භාණ්ඩ සැපයුම මේ වන විට සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත.

හමාස් ඉලක්ක 500කට වැඩි සංඛ්‍යාවක් එක රැයකින් පහර දීමත් සමඟ ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 700 දක්වා ඉහල ගොස් ඇති අතර ප්‍රති ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 500ක් පමණ මිය ගොස් ඇත.

හමාස් ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේදී එක්සත් ජනපද පුරවැසියන් 9 දෙනෙකු මිය ගිය බව තහවුරු වී ඇති අතර බ්‍රිතාන්‍ය පුරවැසියන් 10 කට වැඩි පිරිසක් මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බවට සැක කෙරේ. මිට අමතරව පිලිපීන පුරවැසියන් 9 දෙනෙකු අතුරුදන්ව ඇති අතර තායි ජාතිකයන් 12 දෙනෙකු මිය ගොස් අට දෙනෙකු තුවාල ලබා ඇති බව විශ්වාස කරන අතර තවත් තායි ජාතිකයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ 120,000 කට වැඩි ගාසා වැසියන් තම නිවෙස්වලින් අවතැන් වී ඇති අතර බොහෝ දෙනෙක් පාසල්වල සීමිත නවාතැන් සොයමින් සිටින බවයි.

හමාස් ප්‍රහාර හේතුවෙන් මේ වන විට එක්සත් ජනපදය පවසන්නේ තමන් ගුවන් යානා වාහක නෞකාවක්, නැව් සහ ජෙට් යානා නැගෙනහිර මධ්‍යධරණී මුහුදට ගෙන විත් ඇති අතර ඊශ්‍රායලයට අමතර උපකරණ සහ පතොරම් ද ලබා දෙන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය වැඩිදුරටත් ප්‍රකශ කර තිබුණේ, ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම කලාපයේ අනෙකුත් ප්‍රදේශවලට ඇදී යා හැකි බැවින් ඊශ්‍රායලයට තවත් හමුදා ආධාර ඉදිරි දිනවලදී එවනු ලබන බවත්, ඊශ්‍රායලයේ සතුරන් මෙම තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ නොකිරීමට එක්සත් ජනපදය කටයුතු කරන බවත්ය. ඉරානය විසින් හමාස් සංවිධානයට අරමුදල් සහ ආයුධ සැපයීමත්, විශේෂයෙන්ම, ලෙබනනයේ ප්‍රබල හිස්බුල්ලා ව්‍යාපාරය ගැටුමට සම්බන්ධ වීම වැළැක්වීමටත් එක්සත් ජනපදය උත්සුක වන බවයි වාර්තා වන්නේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි