×

ජමාල් ගැන පරීක්ෂණ ඈලියාවට ගිහින් ද?

ඇමෙරිකා එක්සත් ජනපදය, සෞදි අරාබිය සහ තුර්කිය යන රටවල බලධාරීහු ජමාල් මරා දමනු ලැබූ බව පිළිගනිති. එසේ වුවත් ජමාල්ගේ මරණය සිදුවුණු අන්දම ගැන ඒ කිසිදු කෙනෙකු අතර එකඟතාවයක් නැත.


ජමාල් ඛෂෝගීගේ ගෙල සිරකර මර දමා ඇති බව තුර්කි බලධාරීහු ප්‍රකාශයට පත් කරති.තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය අභ්‍යන්තරයේදී අතුරුදහන් වූ සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගීගේ මරණය සිදු වූණේ ඔහුගේ ගෙල සිර කිරිමෙන්යැයි තුර්කිය නිකුත් කළ නිල නිවේදනයක සඳහන් වේ. ජමාල් ඛෂෝගී සම්බන්ධයෙන් තුර්කි බලධාරීන් ලබාදුන් පළමු නිල ප්‍රකාශය මෙයයි. ජමාල්ගේ ගෙල සිර කිරීම සිදුව තිබෙන්නේ ඔහු කොන්සල් කාර්යාලයට ඇතුළු වූ වහාම බව තුර්කි ප්‍රකාශයෙහි දැක්වේ. ඝාතනය කෙරුණු ජමාල්ගේ දේහය කොටස් කර විනාශ කර දැමුණු බැව් තුර්කි බලධාරීහු පවසති. මේ අනුව ජමාල්ගේ මරණය පූර්වයෙන් සැලසුම් කරන ලද එකක් බවත් තුර්කිය පෙන්වා දෙයි

සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ සෞදියේ රියාද් නුවර බලධාරීන් මෙයට පළමුව කියා සිටියේ කොන්සල් කාර්යාලය තුළදී ඇතිවුණු ගැටුමකදී එල්ල වුණු පහරකින් ජමාල් මියගිය බවකි. දේහය පලසකින් ඔතා එය සහායකයකු අතට පත් කළ බව ඔවුහු දෙවනුව කියා සිටියහ. මේ සහයයා හඳුනා නොගත් අයකු බැව් එම නිවේදනයෙහි සඳහන් විණ. එම සහයකයා කවරකුද යන්න මෙතෙක් කෙරුණු පරීක්ෂණවලදී අනාවරණය නොවීමත් මේ වනවිට ගැටළුවක් වී තිබේ.

ජමාල් ඛෂෝගීගේ මරණය පිළිබඳව පරීක්ෂණ පවත්වන තුර්කි නිළධාරීන්ට අනුව ජමාල්ගේ සිරුර එක්කෝ විසිකර දමා තිබෙන්නේ කොන්සල්වරයාගේ නිවෙස ආසන්නයේ තැනෙකට හෝ පාළුවට ගිය ළිඳක් තුළට ය; එහෙමත් නැත්නම් ඔහුගේ දේහය ඇසිඩ්වල බහා දියකර හැර ඇත.

ජමාල් ඛෂෝගීගේ මරණය සම්බන්ධයෙන් තුර්කිය පාර්ශ්වයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායමේ ප්‍රධානී ඉර්ෆාන් ෆිඩාන්, සෞදි අරාබිය පාර්ශ්වයෙන් පරීක්ෂණ පවත්වන නිළධාරීන් පසුගියදා මුණ ගැසුණු බව සඳහන් වේ. පරීක්ෂණ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ස්ථිර එකඟතාවයක් ඇති නොවුණේයැයි   ඉර්ෆාන් ෆිඩාන් ප්‍රකාශ කර ඇත. තුර්කි බලධාරීන් සතුව ඇති ජමාල්ගේ මරණයට අදාළ යැයි කියන සාක්ෂි කිසිවක් සෞදි බලධාරීන්ට ලබාදීමට එකඟ නොවූ බවත් ඉර්ෆාන් පවසයි. ජමාල් ඝාතනයට සැකපිට සෞදි අරාබියේදී අත්අඩංගුවට පත් දහ අටදෙනාට එරෙහි අධිකරණ ක්‍රියාවලිය තුර්කියේදී පැවැත්වීම සම්බන්ධ කාරණාත් මේ හමුවේදී සාකච්ඡාවට බඳුන් වී ඇත. එසේ වුවත් ඒ පිළිබඳව සෞදි අරාබිය පැහැදිලි පිළිතුරක් ලබා දී ඇති බවක් සඳහන් නොවේ.

ඇමෙරිකා එක්සත් ජනපදය, සෞදි අරාබිය සහ තුර්කිය යන රටවල බලධාරීහු ජමාල් මරා දමනු ලැබූ බව පිළිගනිති. එසේ වුවත් ජමාල්ගේ මරණය සිදුවුණු අන්දම ගැන ඒ කිසිදු කෙනෙකු අතර එකඟතාවයක් නැත. ජමාල් ඛෂෝගීගේ දේහය සොයා ගැනීමට නොහැකිවීම පර්යේෂණවලට විශාල බාධවක් වී ඇත. වධ දී ජමාල්ව ඝාතනය කෙරුණු බව සනාත වන අන්දමේ තොරතුරු ඇතුළත් හඬ පටයක් තමන් සතු බව තුර්කි බලධාරීහු මෙයට පෙර අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළහ. එහෙත් එවැනි හඬ පටයක් තුර්කි බලධාරීන් කිසිවකු, කොතැනකටවත් මේ වනතුරු ඉදිරිපත් කර නැත.

ජමාල් ඛෂෝගිගේ අතුරුදහන් වීම සම්බන්ධ පරීක්ෂණ කටයුතු ආරම්භ වුණේ ඔහුගේ අතුරුදහන් වීමෙන් සැලකිය යුතු කාලය ඉක්මයෑමෙන් පසුව බවට චෝදනාවක් නැඟේ. ප්‍රමාද වුණු ඒ පැය ගණන තුළදී කොන්සල් කාර්යාලයේ තීන්ත ආලේප කිරීමක් සිදුව ඇත. අපරාධය සඳහා යොදා ගත්තේ යැයි කියා කියන වාහන සියල්ලක්ම ඒ වනවිට සෝදා පිරිසිදු කර තිබුණු බවත් සඳහන් වේ.

https://amp.theguardian.com/world/2018/oct/31/jamal-khashoggi-strangled-as-soon-as-he-entered-consulate-istanbul-prosecutor-confirms



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි