×

ජපානයට වේදනාකාරී දින දෙකක්; ටෝකියෝ ගුවන් අනතුරින් වෙරළාරක්ෂක භටයන් පස් දෙනෙකු මිය යයි

JAL-516 යානයේ ගමන් ගත් මගින් 379 දෙනාම ආරක්ෂිතව ගුවන් යානයෙන් පිටතට ගැනීමට JAL-516 කාර්ය මණ්ඩලය සමත් වී තිබේ.


මගින් 379 දෙනෙකු රැගත් ජපානයේ එයාර්ලයින්ස් (JAL-516) යානය අද(02) පෙරවරුවේ හොකයිඩෝ හි නිව් චිටෝස් ගුවන් තොටුපළේ සිට ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළ පියාසර කර ගුවන්තොටුපලට ගොඩ බෑමෙන් අනතුරුව ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ.

අවම වශයෙන් පුද්ගලයින් 48 දෙනෙකුට මරු කැඳවමින් අලුත් අවුරුදු දිනයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකට හසු වූවන්ට ආධාර සැපයීම සඳහා ජපානයේ බටහිර වෙරළ තීරයේ නීගාටා ගුවන් තොටුපළ වෙත ගමන් කරමින් තිබූ වෙරළ ආරක්ෂක ගුවන් යානයක් හා ගැටීමෙන් මෙම ගින්න ඇති වූ බවයි, වෙරළාරක්‍ෂක බලකාය මෙන්ම NHK TV වාර්තා කර තිබුණේ,

වෙරළාරක්ෂක යානයේ ගමන් කළ භටයන් 6 දෙනාගෙන් 5 දෙනෙකුම මියගොස් ඇති අතර එහි කපිතාන්වරයා අසාධ්‍ය තත්වයේ පසුවේ.

JAL-516 යානයේ ගමන් ගත් මගින් 379 දෙනාම ආරක්ෂිතව ගුවන් යානයෙන් පිටතට ගැනීමට JAL-516 කාර්ය මණ්ඩලය සමත් වී තිබේ.

ලොව කාර්යබහුලම ගුවන් තොටුපළක් වන හනේඩා හි ධාවන පථයේ මේ වන විට දැවෙන සුන්බුන් දක්නට ලැබේන අතර ගිනි නිවන භටයන් විශාල ප්‍රමාණයක් විසින් ගින්න සමස්තයක් ලෙස නිවා දමා ඇත.

මාරාන්තික අනතුරට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිලිබඳ වැඩිදුර තොරතුරු විමර්ශනය කෙරෙන අතර මගින් 379 දෙනෙකුට දිවි රැකදුන් JAL කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ලොව බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අගමැති ෆුමියෝ කිෂිදා ප්‍රකාශ කර තිබුණේ, මියගිය භටයන් 5 දෙනා වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කරන බවත්, ජිවිත බේරාගත් JAL කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පැසසුමට ලක්කරන බවත්ය.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි