×

බුද්ධි තොරතුරු රැගත් නෞකා ආරක්ෂා කිරීමට නාවිකයින් 270ක් මැදපෙරදිගට යැවීමට ජපානයෙන් සැලසුම්! 

"සාමකාමී" ජපානය බුද්ධි නෞකා ආරක්ෂා කිරීමට නාවිකයින් යොදවා සන්නද්ධමය වෙයි ද?


හමුදා මෙහෙයුම් සම්බන්ධ බුද්ධි තොරතුරු හා පර්යේෂණ දත්ත එක්රැස් කිරීමේ අරමුණින් යුතුව යාත්‍රාකරන නෞකා ආරක්ෂා කිරීම සඳහා නාවිකයින් 270 දෙනෙකු මැදපෙරදිගට යැවීමට ජපානය සූදානම් වන බවට නිකෙයි බිසිනස් ඩේලි පුවත්පත වාර්තා කරයි.

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා එළඹෙන ජනවාරි මස සෞදි අරාබිය හා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බවට එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

ජපානය එක්සත් ජනපදය හා ඉරානය සමඟ යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගෙන යන අතර, මැදපෙරදිග කලාපයේ වෙළඳ නැව් ආරක්ෂා කිරීම සඳහා දියත් කරන කිසිදු මෙහෙයුමක් සඳහා එක්සත් ජනපදය සමඟ සන්ධාන ගත නොවන බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

ජපාන රජය වසරක මෙහෙයුමක් (වාර්ෂිකව අලුත් කළ හැකි පදනම මත) සඳහා සිය සමුද්‍ර ස්වයං ආරක්ෂක බලකායෙන් එක් නෞකාවක් බැගින් යොදවා අදාල කලාපයේ මුර සංචාරය දියත් කිරීම සඳහා යෝජනා කර තිබෙන බවට එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබිණි. මීට අමතරව, මෙම වසර අවසාන වන විට එම සැලසුම කෙටුම්පත් කොට අවසාන කිරීමට ජපාන රජය නියමිත බවද නිකෙයි බිසිනස් ඩේලි පුවත්පත සඳහන් කරයි.

මීට ඉහතදී මැදපෙරදිග කලාපයේ සිදුවූ වෙළඳ නෞකා වලට පහර දීම හමුවේ ගෝලීය වෙළඳ කටයුතු අඩාල වීමක් සිදුවූ අතර, ප්‍රහාරයේ වගකීම ඉරානය දැරිය යුතු බවට චෝදනා එල්ල වී තිබිණි. කෙසේවෙතත්, ටෙහෙරානය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.

වර්තමානය වන විට ටෙහෙරානය හා වොෂිංටනය අතර අර්බුදකාරී වාතාවරණයක් හට ගෙන තිබෙන අතර, එයට හේතුව වන්නේ රටවල් හයක් ඇතුළුව 2015 වර්ෂයේ අනුමතවූ න්‍යෂ්ටික ගිවිසුමෙන් පසුගිය වසරේ වොෂිංටනය ඉවත් කර ගැනීමටත්, ඉරානය වෙත සම්බාධක යලි පැනවීමටත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කටයුතු කර තිබීමයි. එය ඉරානයේ ආර්ථිකයට එල්ල කළ මරු පහරක් ලෙස වාර්තා වී තිබිණි. ඇමරිකාව ඉරානයට පැනවූ සම්බාධක හේතුවෙන් ජපානය ඉරානයෙන් තෙල් මිළදී ගැනීම නවතා දමා ඇති අතර, එරට ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති වනු දැකීමට ජපානය අපේක්ෂාවෙන් පසුවෙයි.

ගල්ෆ් කලාපයේ යාත්‍රා කරන නෞකා ආරක්ෂා කිරීම සඳහා ඇමරිකාව දරන උත්සාහය ඉරානය විසින් විවේචනයට ලක්කොට තිබෙන අතර, ඉරාන නියෝජ්‍ය විදේශ ඇමති අබ්බාස් අරග්චි පසුගිය දිනක ජපාන එන්එච්කේ පුවත් සේවයට පවසා සිටියේ ජපාන අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් පසුව කලාපයේ ඕනෑම විදේශීය බලවේගයකට ටෙහෙරානය විරුද්ධ බව ය.

මීට අමතරව ඉරාන ජනාධිපතිවරයා වොෂිංටනය හා ටෙහෙරානය අතර පවතින න්‍යෂ්ටික අවහිරතා ඇතුළු අර්බුදකාරී වාතාවරණයන්ට විසඳුම් සාකච්ඡා කිරීම සඳහා ජපානයේ සංචාරයක යෙදීමට ද අපේක්ෂා කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙතත්, ජපානයේ පැසිෆිස්ට්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්ථාවර හමුදා මෙහෙයුම් තහනම් වන අතර ආත්මාරක්ෂාව පතා සන්නද්ධ වීම පමණක් අනුමත කරයි. ඒ අනුව ගල්ෆ් කලාපයේ බුද්ධි නෞකා ආරක්ෂා කිරීම සඳහා නාවිකයින් යෙදවීම තුළ සන්නද්ධ අරගලයක් දියත් කිරීමට සිදුවුව හොත් ජාත්‍යන්තරය ඉදිරියේ පිළිතුරු බැඳීමට ජපානයට නිසැකවම සිදුවනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි