×

තල්මස් දඩයම ගැන ජපනුන් කියන කතාව

ජපානය නැවතත්, වාණිජ තල්මස් දඩයම සඳහා නීත්‍යානුකූල අවසරය ඉල්ලා සිටියි. ජපනුන්ගේ පැත්තෙන්, ඔවුන් මෙසේ ඉල්ලන්නේ ඇයි? එය සාධාරණ ඉල්ලීමක්ද?


වාණිජ මට්ටමෙන් තල්මසුන් මැරීම සම්බන්ධයෙන් මේ දිනවල විශාල කතිකාවතක් ඇති වී තිබේ. එයට මූලික වී ඇත්තේ තල්මසුන් මැරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක අනතර්ජාතික කොමිටිය බ්‍රසීලයේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී, ජපාන නියෝජිතයන් මහා විශාල පෙරළියක් කිරීමයි.

ජපානය මේ පෙරළිය කළේ වාණිජ මට්ටමෙන් තල්මසුන් මැරීමට තමන්ට යළිත් අවසරය ලබාදෙන මෙන් ඉල්ලමිනි. මේ නිසා ජපානය මතභේදාත්මක තැනකට තල්ලු වූයේය.

තල්මසුන් මැරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක අන්තර්ජාතික කොමිටිය තල්මසුන් ඝාතනය කිරීමට තාවකාලික තහනමක් පැනවූයේ 1986 වසරේදී ය. ඒ, ඇතැම් තල්මස් විශේෂ ඒ වනවිටත් වඳ වී යමින් පැවැති නිසයි. ඒ ඒ විශේෂවල තල්මස් ගහන නැවත යථා තත්ත්වයට පත්වන තුරු තල්මසුන් මැරීම නැවැත්විය යුතු බව පළමුව කී සංවිධානයේ විද්‍යාත්මක කමිටුව පෙන්වා දී තිබිණ. තාවකාලිකව පැනවුණු තහනම දිගින් දිගටම ක්‍රියාත්මක වූයේය. කෙටියෙන් කිවහොත් තිස් තුන් වසරක් පුරාම ඒ තහනම බල පැවැත්වුණු බවය. තල්මසුන් මැරීම, සංස්කෘතිය සමඟ බද්ධව පවත්නා රටවලට මේ තහනම තවදුරටත් ඉවසා දරා ගැනීම අපහසු විණ. ජපානය, නෝර්වේ, අයිස්ලන්තය, කැනඩාව, ග්‍රීන්ලන්තය, ඉන්දුනීසියාව, පිලිපීනය, රුසියාව, දකුණු කොරියාව, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රාජ්‍යය ඒ අතර ප්‍රධානය. පළමුව කී තහනම ක්‍රියාත්මක වුවත් එකී තහනමට ව්‍යතිරේඛයක් ලෙස විද්‍යාත්මක පර්යේෂණ සඳහා තල්මසුන් මැරීමට අවසරය ලබා දී තිබිණ. තල්මසුන් මැරීම සංස්කෘතික අංගයක් බවට පත්කරගෙන සිටි රටවලට මේ සිදුරෙන් පහසුවෙන් රිංගා යා හැකි වූයේය. මේ නිසා ලොව ඇතැම් රටවල් එම අවසරය ඉතාමත් පුළුල් ලෙස භාවිතයට ගනු දැකිය හැකි විණ. තල්මසුන් මැරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක අන්තර්ජාතික කොමිටියේදී පසුගිය දා පෙරළියක් කළ ජපානයත් පළමු කී ව්‍යතිරේඛයෙන් හොඳ හැටි වැඩ ගත් රාජ්‍යයකි. තල්මසුන් මැරීම සම්බන්ධ තහනම ක්‍රියාත්මක වෙමින් තිබියදීත් ජපානයට වසරකට තල්මසුන් 200ත් 1200ත් අතර සංඛ්‍යාවක් මරා දමන්නට හොඳ අත්වැලක් වූයේ එම ව්‍යතිරේඛයයි. ජපනුන් අතින් මෙලෙස මැරුම් කෑ තල්මසුන් අතර තල්මස් පැටවුන් සහ ගර්භනී තත්ත්වයට පත් තල්මසුන් ද වූ බව වාර්තාවන්හි සඳහන් වේ.

තල්මසුන් මැරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක තහනම ඉවත් කරන මෙන් ඉල්ලා ජපානය එම කොමිටියෙන් පසුගිය දා ඉල්ලීමක් කළේය. එහෙත් එයට පක්ෂපාතිව බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ජයග්‍රහණය සනිටුහන් කරන්නන්ට ජපානය අපොහොසත් විණ. මේ ගැටලුව දෙස බලන බොහෝ මාධ්‍ය සේවා පවසන්නේ ජපානයට වාණිජ මට්ටමෙන් තල්මසුන් මරන්නට මේ තරමට තිබෙන වුවමණාව කවර කාරණයක් නිසා පැන නැඟුනක් ද යන්නයි.

වාණිජ මට්ටමෙන් තල්මසුන් මැරීමේ ව්‍යාපාරය ජපානය තුළ යළිත් නිත්‍යානුකූලව ස්ථාපනය කරන්නට දැඩි වුවමණාවක් තිබෙන්නේ ජපාන දේශපාලනඥයන්ටය. තල්මසුන් මරා දැමීම වාණිජ මට්ටමෙන් සිදුකළ යුතුයැයි කියන තැන ජපානයේ සාමන්‍යය ජනයා නැත.

“… ඇත්තටම කියනවා නම් ජපානයේ සාමාන්‍යය ජනයා තල්මසුන් ගැනවත් තල්මසුන් මරා දැමීම ගැනවත් දන්නේ නැහැ. …” කියා ඉරුකා සහ කුජිරා ක්‍රියාකාරී ජාලයේ නනමි කුරසාවා පවසන්නීය. ඈ කියන අන්දමට තල්මසුන්ගේ මාංශ අනුභවය වත්මන් පරම්පරා අතර ප්‍රචලිත වෙමින් තිබෙන්නේ ඉතා සෙමෙනි. ලෝක වනජීවී අරමුදලේ අයිමී ලෙස්ලි කියා සිටින්නේ තල්මසුන්ගේ මාංශය ආහාරයට ගන්න ජපනුන් සංඛ්‍යාව ඉතාමත් අල්ප බවකි. සෑම ජපනුන් දස දෙනෙකුගෙන් නවදෙනෙකුම පසුගිය වසරේදී තල්මස් මාංශ ආහාරයට නොගත්තේ යැයි කියා 2013 පැවැති සමීක්ෂණයකදී පිළිතුරු දී ඇත . 2014 වසරේදී කෙරුණු තවත් සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙන අන්දමට තල්මසුන්ගේ මාංශ කොහොමටවත් ආහාරයට නොගන්නා පිරිස සමාජයේ 37%ක් තරම් ය. තල්මසුන්ගේ මාංශ ඉඳහිට ආහාරයට ගන්න පිරිස සමාජයේ 4%ක් තරම් වන බව ඒ සමීක්ෂණයෙන් හෙළි වී ඇත.

CNN

CNN

එසේ වුවත් තල්මසුන් මැරීම සහ මාංශ පිණිස විකිනීමට සැකසීම, රජයේ අනුමැති සහ ආධාර මත පණ නළ රැකගන්නා තවත් එක කර්මාන්තයක් බව සී.එන්.එන්. මාධ්‍ය සේවය පෙන්වා දෙයි. තල්මසුන් සම්බන්ධ පර්යේෂණවලට ඉතා විශාල ඉඩක් ලබා දීමටත්, තල්මසුන් මැරීමට අවශ්‍යය නීති සැකසීමටත් ජපානයේ අබේ පරිපාලනය පසුගිය වසරේ සිට ක්‍රියාකරමින් සිටී. තල්මසුන් සම්බන්ධයෙන් දැනට එරට තුළ කෙරෙන පර්යේෂණ 2026 – 2027 කාල පරිච්ඡේදයේදී අවසන් වීමට නියමිත බව සඳහන් වේ. මේ වැඩසටහන යටතේ මින්කේ තල්මසුන් (minke whales) 333ක් වසරකට මරා දමන්නට ජපනුන්ට ඉඩ ලැබී ඇති බව ජපාන ධීවර ඒජන්සිය නිකුත් කළ වර්තාවක දැක් වේ. සම්පූර්ණ වැඩසටහන තුළ තල්මසුන් 4,000ක් මරා දමන්නට ජපානයට ඉඩ ලැබී ඇති බවත් සඳහන් වේ.

CNN

CNN

තල්මස් මාංශ ආහාරයට ගැනීම ප්‍රිය කරන සහ එයට සහය පලකරන ජපන් ජාතිකයන් පවසන්නේ එය ජපන් ජාතිකයගේ උරුමයක් බවයි. ජපනුන් වසර 4000ක් තිස්සේ තල්මස් මාංශ ආහාරයට ගනිමින් සිටින බව අවන්හලක් පවත්වාගෙන යන ජපන් ජාතිකයකු වන ෂින්රාතෝ සාතෝ පවසයි. දැවැන්ත ක්ෂීරපායින් ආහාරයට ගැනීම ජපාන ඉවුම් පිහුම් කලාවේ අංගයක් බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි. තල්මස් මාංශයෙන් සැකසු ආහාර වර්ග සාතෝගේ අවන්හලේදී පාරිභෝගිකයන්ට රස විඳින්නට පුළුවන. එම ආහාර සොයාගෙන ඔහුගේ අවන්හලට ගොඩවදින වැඩිහිටියෝ නිතරම වගේ එම ආහාර වර්ග ගැන කතා කරති. නූතන පරම්පරාවේ අය තල්මස් මාංශ සහිත ආහාර ගැන කතා කරන්නේ එතරම් උනන්දුවකින් නොවන බවත් සඳහන් වේ.

“… අපි බලාගෙන ඉන්නේ ලැජ්ජාවක් නැතිව තල්මසුන් අල්ලගන්න දවසක් උදාවෙන තුරු. බාධාවකින් තොරව තල්මසුන් අල්ලා ගන්න ඉඩ ලැබෙනවා නම් ඉන් නිෂ්පාදනය වන අනෙකුත් දේවල් වෙළඳ පොළට ඒවි. ඒවායේ මිලත් පහළ වැටේවි. තල්මස් මාංශ අනුභවය මෙයට වඩා නිදහසේ කරගෙන යන්න මිනිසුන්ට ඉඩ ලැබේවි. …” කියා සාතෝ පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි