×

ජනතාවට වාෂ්ප අල්ලන්නැයි කියා මිය ගිය ටැන්සානියාවේ ‘බුල්ඩෝසර් ජනපති‘

ටැන්සානියා ජනපති ජෝන් මගුෆුලි දෙදිනකට පෙර මිය ගියේ කෝවිඩ් වසංගතය සහමුලින්ම බැහැර කර, වාෂ්ප දුම් ඇල්ලීම ඇතුළු ඊනියා දේශීය ප්‍රතිකර්මවල පිහිට පැතූ අඥානයෙකු ලෙස ය.


මිය යන විට ඔහුගේ වයස අවුරුදු 61 කි. ගොවියෙකුගේ පුතෙකු වූ ඔහු 2015 වසරේ බලයට පැමිණි පසු ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදු කළේය. බොහෝ ප්‍රතිගාමීන් මෙන්ම, ඔහු තමන්ගේ ආන්දෝලාන්තමක කියුම් කෙරුම් ගැන උද්දාමයෙන් පසු විය. ලෝකය ඒවා දැක-අසා තමන් ‘කෙරුමෙක්‘ යැයි සිතාවි යැයි මිත්‍යාවකින් පෙළුණේය. ඒ බව තහවුරු වන්නේ ඔහුගේ කියුම් කෙරුම් නිසාම ඔහුට විශාල ජනප්‍රියත්වයක් කලාපය තුළ හිමි වී තිබීම තුළිනි. #WhatWouldMagufuliDo? යනුවෙන් අප්‍රිකානු ට්විටර් පරිශීලකයන් අතර ඔහුගේ අලුත්ම තීන්දු හා තීරණ වෙනුවෙන් අලුත් හෑෂ්ටැගයක් ද නිර්මාණය වී තිබුණේය.

බීබීසී පුවත්සේවය, ඔහුගේ කියුම් කිහිපයක්, ඔහුගේම වචනවලින් එක්තැන් කර තිබුණේ මෙසේ ය.

කොරෝනා වෛරසය ගැන

‘‘අපි දෙවියන් වහන්සේ ට යාඥා කරනවා. උපවාසයේ යෙදෙනවා. වසංගතය දුරු වෙන ලෙසට.. මට විශ්වාසයි බොහෝ ටැන්සානියානුවන් සිතනවා, කොරෝනා වසංගතය දුරුකරන්න දෙවියන් වහන්සේට හැකි බවට…‘‘

2020 ජූනි මාසයේදී ඔහු මෙසේ කිව්වේ ඩොඩෝමා නගරයේ පල්ලියක බැතිමතුන් පිරිසක් අමතමිනි.

ඔහු මුහුණු ආවරණ සම්බන්ධයෙන් ද අලුත් කන්ස්පියරසි තියරියක් ගෙන ආවේය. එයට අනුව මුහුණු ආවරණ ගන්නා ලෙසට ටැන්සානියානුවන්ට ලැබෙන මුදල් ප්‍රදානයන් ඔවුන් පිළිනොගත යුත්තේ ඒ මුදල් හරහා වෛරසය පැතිරෙන්නට ඉඩ ඇති නිසා ය. මුදල් නෝට්ටු හරහා වෛරසය පැතිරිය හැකි බව සත්‍යයක් වුවත්, ඔහු එමගින් පහර දුන්නේ රටේ සිවිල් සංවිධානවලට ය. ‘‘ඒව ගිහින් උඹලගෙ ගෑනුන්ටයි ළමයින්ටයි දාගනිල්ලා..‘‘ යැයි ඔහු සාහසික ලෙස කියන්නේ එනිසාය.

කතෝලික බැතිමතෙකු වූ ටැන්සානියා ජනපති, කොරෝනා වෛරසය යක්ෂයා බවත්, ඒ යක්ෂයාට ක්‍රිස්තුස් වහන්සේගේ සිරුරේ පැවතිය නොහැකි බවත් පැවසුවේය.

ආර්ථිකය තමයි, අංක එක!

‘‘අපිට තව ප්‍රශ්න තියෙනවා. ඒඩ්ස්.. සරම්ප.. කොහොම වුණත් ආර්ථිකය තමයි එක. ආර්ථිකය නිදාවැටෙන්න දෙන්න බෑ..‘‘

මෙයට වසරකට පෙර ඔහු සැන්සිබාරයේ උප ජනපති වූ සෙයිෆ් ෂරීෆ්ට සුබ පැතුවේ සම්ප්‍රදායනුකූල ලෙස ‘ෆුට්ටැප්‘ හෙවත් කකුල් තට්ටුවක් දමමිනි. මේ මස මුල සැන්සිබාර නායකයා කෝවිඩ් නිසා මිය ගියේය. ඒ අනුව පහත ඡායාරූපයේ සිටින දෙදෙනාම මේ වන විට කෝවිඩ්වලට බිලි වී තිබේ.

AFP

මේ අතර පෙබරවාරි 19 ජෝන් මගුෆුලි ජනපතිගේ ප්‍රධාන පෙලේ ආධාරකරුවෙකු ද කෝවිඩ්-19 න් මිය ගියේය. නමුත් සැළුණේ ජනපති නොවේ. ‘‘කලබල වෙන්න දෙයක් නෑ.. කලබල වෙන්න දෙයක් නෑ..‘‘ යැයි ඔහු රටවැසියන් අමතා එවිට ද කීවේය.

‘‘දෙවියන් වහන්සේට බෑ අපේ මේ ශ්‍රේෂ්ඨ රට අතරමං කරන්න!‘‘

ලොක්ඩවුන් වීම සහ ආදී පියවරු

‘‘අපේ ආදී පියවරු, කරන්න ඕනෙ දේ කියන්න අවශ්‍ය වෙච්ච අය නෙවෙයි. මේ ලොක්ඩවුන් දාන අය.. අපේ ආදි පියවරු ප්‍රතික්ෂේප කළ දේවල් අපිට කරන්න කියන්නෙ..‘‘ බටහිර රටවල් ලොක්ඩවුන් තත්වයන් ප්‍රකාශයට පත් කරන විට එය හෙළා දකිමින් ඔහු කීවේය.

පැපොල් ගෙඩියකට, වටුවෙකුට සහ එළුවෙකුට කෝවිඩ්ලු!

2020 මැයි මාසයේදී ඔහු කෝවිඩ් පරීක්ෂණවල සාර්ථකභාවය ප්‍රශ්න කළේය.

වෛරසය තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා ඔහු එම ටෙස්ටිංවලට යැව්වේ පළතුරු සහ සතුන් මිස මිනිසුන් නොවේ. ඒ අනුව පළතුරු සහ සතුන් තොගයක් වෛරස් පරීක්ෂාවන්ට ලක් කළ පසු ඔහු කිව්වේ, පැපොල් ගෙඩියක්, වටුවෙක් සහ එළුවෙක් කෝවිඩ් තත්වයට ගොදුරු වී ඇති බව ය!

‘‘මිනිස්සුන්ව පාවිච්චි වෙනවා.. උපකරණ පාවිච්චි වෙනවා.. මේ සුබසාධනය ඇතුළෙ කඩාකප්පල්කාරී දේවල් වෙනවා..‘‘ යැයි ඔහු කීවේය.

කෝවිඩ් වැක්සින භයානකයි!

‘‘වැක්සින භයානකයි. සුද්දා වැක්සිනයක් හොයාගත්ත නම්, ඒඩ්ස්, පිළිකා, ක්ෂය රෝගය වගේ ඒවටත් මේ වෙද්දි වැක්සින් හොයාගෙන තියෙන්න එපැයි..!‘‘

2021 ජනවාරි මාසයේදී ජෝන් මගුවාෆුලි මෙසේ කීවේය.

‘‘සෞඛ්‍ය අමාත්‍යාංශය පරිස්සම් වෙන්න ඕනෙ. පර්යේෂණයක් නොකර මේ වැක්සින් දෙන්න නරකයි. හැම වැක්සිනයක්ම අපට වැදගත් නෑ.. අපි පර්යේෂණාගාර මීයො වගේ වෙයි..‘‘

මැයි මාසයෙන් පසු ටැන්සානියාව කොරෝනා වෛරස් වසංගත රෝගීන් සහ මරණ ගැන නිල වාර්තා ප්‍රකාශයට පත් කිරීම ද අතහැර දැමුවේය.

ජාත්‍යන්තර මාධ්‍ය විසින් ටැන්සානියාව ‘කෝවිඩ් වැක්සිනය ප්‍රතික්ෂේප කළ රට‘ යනුවෙන් ද හඳුන්වා දී තිබේ.

රට හදන්න ආ – කතා දෙකක් නැති පුතා!

2015 වසරේ බලයට පත් වන විට ජෝන් මගුවාෆුලි ‘ජනතාවගේ නායකයා‘ ලෙස හැඳින්වීය. ඔහු ‘කතා දෙකක් නැති – කිව්වොත් කරන‘ (no-nonsense) අයෙක් ලෙස ප්‍රකට විය. දූෂණය පිටු දැකීම සහ ‘කම්මැලි කම්කරුවන්‘ පිටුදැකීම රට දියුණු කිරීමට අත්‍යාවශ්‍යම බව ඔහු කිව්වේය.

පළමු වසර දෙක ඇතුළත ඔහු යම්කිසි අයුරකින් ‘වැඩ පෙන්නීමට‘ ද සමත් විය. ව්‍යාජ අධ්‍යාපන සහතික දරමින් රැකියාවලට ආ බව කියමින්, සිවිල් සේවකයන් 10,000 ක් දෙනා රැකියා වලින් නෙරපා හැරීමට ඔහු කටයුතු කළේය. ‘‘උන් අනික් අපරාධකාරයො වගේම හොරාකෑවා..‘‘ යැයි ද සිංහනාද කළේය.

BBC

මෙවැනි අයෙකුගෙන් ස්ත්‍රීන් සම්බන්ධයෙන් බලාපොරොත්තු විය හැක්කේ කුමනාකාරයේ ආකල්පයක්දැයි අමුතුවෙන් කිව යුතු නැත. ටැන්සානියාවේ පාසල් සිසුන් ගැබිනියන් වීම විශාල ප්‍රශ්නයකි. ඒ ගැන ඔහු කීවේ මෙසේ ය.

‘‘කිසිම ගැබිනි ශිෂ්‍යාවකට පාසල් එන්න දෙන්න බෑ.. ළමයි හම්බ වෙන්න ඉන්නව කියන්නෙ.. එතනින් ඔක්කොම ඉවරයි..‘‘

2017 ජනවාරි මාසයේදී ඔහු එසේ කීවේ මේ වාක්‍යයට ‘‘මම ජනාධිපති වෙලා ඉන්නකල්..‘‘ යන කොටස ද එකතු කරමිනි. ඉන්පසු ඉතා තිරිසන් ආකාරයට ඔහු මෙසේ ද කීවේය.

‘‘ගණන් දෙක තුනක් හැදුවයින් පස්සෙ උන් ගිහින් ළමයට කිරි දීල එන්නද කියල අහයි..‘‘

දශක හතරක් තිස්සේ ගැබිනි ශිෂ්‍යාවන්ට පාසල තහනම් කරමින් සකස් වී තිබූ අධ්‍යාපන සංස්කෘතිය වෙනස් කිරීමට සිවිල් සංවිධාන පෙරමුණ ගෙන නීති වෙනස් කළේ 2015 වසරේදී ය. නමුත් බුල්ඩෝසර් ජනපති එයින් වසර 2 කට පසුව එම තීරණය ආපස්සට හැරවීය.

ජාතිය වඳවෙයි – ළමයි හදපල්ලා!

ජෝන් මගුවාෆුලි ජනගහන වර්ධනය ගැන අසීමිත උනන්දුවක් දැක්වූවෙකි. ඔහු විවෘත ලෙසම කියා තිබුණේ, ‘‘ළමයි වැඩි වැඩියෙන් හැදීම‘‘ සඳහා ටැන්සානියාවේ ගැහැණුන් තමන්ගේ ‘ඩිම්භකෝෂ නිදහසේ තබාගත යුතු බව‘ යි.

‘ලොකු ජනගහනයක් තියෙද්දි ආර්ථිකය ගොඩනංවන්න ලේසියි. ඒ හින්ද තමයි චීනයේ ආර්ථිකය මෙතරම් ලොකු..‘‘ රොයිටර්ස් පුවත්සේවය 2019 වසරේදී ඔහු කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් කියයි.

‘‘මම දන්නවා ඩිම්භකෝෂ ‘බ්ලොක්කරගෙන‘ ඉන්න අයට මගෙ කතාවෙන් රිදෙයි. ඔබේ ඩිම්භකෝෂ නිදහසේ තියාගන්න. ඒවා බ්ලොක්කරගන්න කියන අයට ඒවා බ්ලොක් කරගන්න කියන්න!‘‘

පරුවතයක් මෙන් නොසැළී!

නායකත්වය ගැන ඔහු කියා ඇත්තේ මෙසේ ය. ‘‘ටැන්සානියාවට සැබෑ ජනපති කෙනෙක් ඉන්නව කියල ටැන්සානියානුවන් විශ්වාස කරන්නයි මට ඕනා.. නියම පරුවතයක් වගේ ජනපති කෙනෙක්. මාව බයගන්නන්නත් බෑ. මම බය වෙන්නෙත් නෑ..‘‘

අමාත්‍යාංශයෙන් මාධ්‍යයට වාරණ නීති

2017 වසරේදී ටැන්සානියාව තොරතුරු අමාත්‍යාංශය හරහා මාධ්‍යෙව්දීන්ට සහ මාධ්‍ය ආයතන වෙතට නව නීති සහ ආචාර ධර්ම ගෙන ආවේය. ජනපති එහිදී මෙසේ කීවේය.

‘‘මම මේ මාධ්‍ය අයිතිකාරයන්ට කියන්නෙ.. මාධ්‍ය නිදහසක් තියෙනව කියල හිතාගෙන ඉන්නව නම් ඒක හිතාගෙන ඉන්න තරම් නිදහසක් නෙවෙයි.‘‘

හයිවේ ආලය

2015 දී බලයට පැමිණීමෙන් පසු ඔහු කළ පළමු කාර්යයක් නම් නිදහස් දින උළෙල සැමරීමට එක් වූ මුදල් ප්‍රදානයන්, අධිවේගී මාර්ගයක් පුළුල් කිරීමට යෙදවීමයි.

දුප්පතුන් ගැන දැන සිටියාලු

2015 වසරේ පැවති ජනපතිවරණයේදී ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ ගියේ සිය දුක් විඳි ළමා කාලය ගැන වේදිකාවල කී සංවේදී කතා නිසා ය.

‘‘අපේ ගෙදර තණකොළවලින් වැහිලා.. ගොඩක් කොල්ලො වගේ මමත් හරක් බලාගත්තා.. කිරි විකුණුවා. මගෙ පවුලට උදව් කරන්න.. මං දන්නවා දුප්පත්කම මොන වගේද කියලා.. මම දුප්පත් මිනිස්සුන්ට සුබ සාධනයෙන් උදව් කරනවා..‘‘

ජෝන් මැකාෆුලිගේ මරණයෙන් ටැන්සානියාව සම්ප්‍රදායනුකූලව සංවේගයට පත් ව සිටියි. ඔහුගේ මරණයෙන් පසු රාජ්‍ය මාධ්‍ය හරහා විකාශය වන වීඩියෝවකදී ඔහු මෙසේ කියයි.

‘‘මම දන්නවා එක දවසක නුඹලාට මාව මතක් වේවි.. මගේ නරක නෙවෙයි, හොඳ විතරක්.. මොකද මම මගෙ මුළු ජීවිතයම කැප කළේ ටැන්සානියාවේ දුප්පත් ජනතාව වෙනුවෙන්..‘‘

එහි ඇත්ත නැත්ත සිතාගැනීම ඔබට බාර ය.

AFP



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි