×

ජොනතන්ට දැන් පත්තරේ කියවන්න අමාරුයි!

ජොනතන් යනු ගොඩබිම ජීවත් වන වයස්ගතම ජීවියා ය. වයස අවුරුදු 186 කි.!


හේතුව ඇසේ සුද මතුවීමයි.

එකසිය අසූ හය හැවිරිදි ජොනතන් මේ හේතුවෙන් ඉතා ඉක්මනින් අඳ භාවයට පත්වනු ඇතැයි කියා පශු වෛද්‍යවරු අනුමාන කරති. ශල්‍යකර්මයකින් ජොනතන්ගේ දෑස් සුවපත් කිරීම ඉතා අවදානම් සහගත බව පශු වෛද්‍යවරුන්ගේ නිගමනයයි. එයට හේතුව ඔහු දැන් ශල්‍යකර්මයකට ඔරොත්තු නොදෙන තරමට වයස්ගත නිසා ය. ගන්ධයන් වෙන් කර හඳුනා ගැනීමේ හැකියාව පවා ජොනතන් කෙරෙන් මේ වනවිට ගිලිහීයමින් තිබෙන බව වෛද්‍යවරු පවසති.

ජොනතන් දැනට ජීවත් වන්නේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවත්නා ශාන්ත හෙලේනා දූපතේ ආණ්ඩුකාරවරයාගේ නිල නිවසෙහි ය. එම නිල නිවෙස හැඳින්වෙන්නේ “ප්ලාන්ටේෂන් හවුස්” යනුවෙනි. ජොනතන් ප්ලාන්ටේෂන් හවුස්හි ගෙවත්තේ ඇවිදිමින් උගේ දෛනික ජීවිතය තවමත් ක්‍රියාකාරී ලෙස ගෙවා දමමින් සිටින බව බලධාරීහු පවසති.

ජෝනතන්ව, 1882 වසරේදී ශාන්ත හෙලේනා දූපතට රැගෙන ආවේ සීෂෙල්ස්හි සිට ය. එසේ රැගෙන එනවිට ජොනතන් සමඟ තවත් ඉදිබුවන් තිදෙනෙකු රැගෙන ආ බව සඳහන් වේ. ශාන්ත හෙලේනා වෙත ගෙන ඒමෙන් පසු ජෝනතන්ගේ වයස නිර්ණය කිරීමට පරික්ෂණයන් පවත් විණ. එමඟින් අනාවරණය වුණේ ඌ පනස් හැවිරිදි වියේ පසුවන බවකි. මේ සුවිශේෂ ඉදිබුවාට “ජොනතන්” යන නම තැබුවේ 1930 වසරේදී ය. එවක ශාන්ත හෙලේනාහි ආණ්ඩුකාර ධුරයෙහි කටයුතු කළ ශ්‍රීමත් ස්පෙන්සර් ඩාවිස් ඊට මුල් වූ බව සඳහන් වේ.

වසර 186ක ජීවිත කාලය තුළදී ජොනතන් බ්‍රිතාන්‍ය පාලකයන් රැසකගේ ආදරයට සහ කරුණාවට පාත්‍ර වූයේය. ශාන්ත හෙලෙනාහි පාලනයට සම්බන්ධ වුණු ආණ්ඩුකාරවරු විසි අටදෙනෙක්ද, සිව්වන ජෝර්ජ් රජතුමාගේ සිට දෙවන එළිසබෙත් රැජිණ දක්වා වූ රජ ගෙදර පාලකයෝද, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යයවරු පනස් එක්දෙනෙක්ද ඒ අතර වෙති. එසේ වුවත් ජොනතන්ට පෙම්වතියකගේ ආදරය, කරුණාව ලැබීමේ භාග්‍යය නම් කවදාවත්ම හිමි වුණේ නැත. “ෆ්‍රෙඩරිකා” නමින් පෙම්වතියක් 1991 වසරේදී ඌට හඳුන්වා දෙනු ලැබිණ.

එතැන් පටන් වසර විසි හයක කාලයක් “ෆ්‍රෙඩරිකා” ජීවත් වුණේ ජොනතන් සමඟ එකට ය. එසේ වුවත් ෆ්‍රෙඩරිකා පිරිමි ඉදිබුවකු බව පසුගිය වසරේදී අනාවරණය කර ගැනිණ. මේ නිසා “ෆ්‍රෙඩරිකා”, “ෆ්‍රෙඩ්රික්” හැටියට නම් කරන්නටත් පශු වෛද්‍යවරුන්ට සිදු විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි