×

විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ඇමරිකාවට උදර්පණය කිරීමට අවසර!

ආන්දෝලනාත්මක විකිලීක්ස් වෙබ්අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් යළි එක්සත් ජනපදය වෙත උදර්පණය කළ හැකි බවට එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබේ.


ජුලියන් ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය මත ඔහු යළි ඇමරිකාව වෙත උදර්පණය කිරීමට නොහැකි බවට එංගලන්ත අධිකරණය විසින් නිකුත් කළ තීන්දුවකට එරෙහිව ඇමරිකාව විසින් ගොනුකළ අභියාචනයකට ප්‍රතිචාර වශයෙනුයි මහාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබෙන්නේ.

එමෙන්ම, ජුලියන් ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය මත ඔහු තම ජීවිතයට හානියක් සිදුකර නොගනු ඇති බවට එක්සත් ජනපදය විසින් අධිකරණයට සහතිකයක් ලබා දී තිබේ.

2010 – 2011 කාලය තුළ අතිශය රහසිගත ලියවිලි දහස් ගණනක් පිටතට නිකුත් කිරීමේ චෝදනාව මත ජුලියන් ඇමරිකාවේ අවශ්‍ය වූ පුද්ගලයකු ලෙස හඳුනා ගෙන තිබේ.

ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයෙහි රැකවරණය ලබමින් සිටි ජුලියන් වෙත ලබාදී තිබූ දේශපාලන රැකවරණ ඉවත් කිරීමෙන් අනතුරුව ඔහු බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ 2019 වසරේදී යි.

ජුලියන් යළි එක්සත් ජනපදයට උදර්පණය කිරීම සඳහා කළ ඉල්ලීම එක්සත් රාජධානියේ පහළ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබූ අතර, මීට හේතුව වී තිබෙන්නේ උදර්පණය කිරීම තුළ දැඩි සීමා සහිත බන්ධනාගාර තත්ත්ව වලට ඔහුට යටත් වීමට සිදුවනු ඇතිය යන උපකල්පනයයි.

කෙසේවෙතත්, එක්සත් ජනපදය එක්සත් රාජධානියේ මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය මාර්ගයෙන් සහතික වී තිබෙන්නේ එවන් දැඩි බන්ධනාගාර තත්ත්ව වලට ජුලියන් යොමුනොකරන බවත්, එවන් තත්ත්වයක් උදාවන්නේ ඊට අදාළ වන අන්දමේ බරපතල හැසිරීමක් ජුලියන් විසින් දැක්වූවහොත් පමණක් බවත් ය.

ඒ අනුව, එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් ජුලියන් උදර්පණය කිරීම සඳහා අවසර ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Photo: GETTY IMAGES



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි