×

ට්‍රම්ප්ගේ කැවෙනා සහ මහාචාර්යවරියකට කළ ලිංගික අපචාර

ඇමරිකානු අධිකරණ ඉතිහාසය සහ දේශපාලනය සොළවා තබන පරීක්ෂණය දිගටම.


ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරන ලද විනිසුරු බ්‍රෙට් කැවෙනා (Brett Kavanaugh) විසින් 80 දශකයේදී තමන්ට එරෙහිව සිදුකළ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් ක්‍රිස්ටීන් බැස්ලි ෆෝඩ් ( Christine Blasey Ford) නමැති ඇමරිකානු මනෝවිද්‍යා මහාචාර්යවරිය ඊයේ දිනයේ සෙනෙට් අධිකරණ කමිටුව (Senate Judiciary Committee) ඉදිරියේ සිය සාක්ෂි ලබාදුන්නාය.  Christine Blasey Ford’s sexual assault allegations

ඇමරිකානු ඉතිහාසයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිදුවීම තුළින් මේ වන විට විනිසුරු කැවෙනාට එරෙහිව FBI – ෆෙඩරල් රහස් ඔත්තු සේවා පරීක්ෂණයක් පවත්වන ලෙසට ඇමරිකානු සෙනෙට් සභාව මේ වන විට දැනුම් දී තිබේ.

ජනපති ට්‍රම්ප්ගේ නාමයෝජනාව, බ්‍රෙට් කැවෙනා වැනි චරිතයක්, වසර 30කට පමණ පසු මෙවැනි සිදුවීමක් බලාපොරොත්තු නොවන්නට ඇත.

බ්‍රෙට් කැවෙනා

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් පත්කිරීම සිදුකරන්නේ ජනපතිගේ තනි කැමැත්තට නොවේ. ඔහුට කළ හැක්කේ නම් කිරීම හෙවත් නාමයෝජනා කිරීම පමණි. අනතුරුව එම නාමයෝජනාව සෙනෙට් සභාවේ දැඩි පරීක්ෂණයකට සහ ප්‍රශ්න කිරීම්වලට ලක් වේ. එම නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන කවුරුන් හෝ වෙතොත්, ඔවුන්ව ද සෙනෙට් සභාවට කැඳවා සිය මතය පළ කිරීමට අවස්ථාවක් ලබා දේ. එය, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ විධායකය අතර සංවරණය සහ තුලනය (Check and Balance) ක්‍රමය තවමත් බොහෝ දුරකට සිදුවන බව පෙන්වා දෙන අවස්ථාවකි.

බ්‍රෙට් කැවෙනා යනු කවුද?

බ්‍රෙට් කැවෙනා, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිටින හොඳම කොන්සවේටිව් විනිසුරෙකි. යේල් සරසවියේ නීති පීඨයේ උපාධිධාරියෙකු වන ඔහු, නීතීඥයෙකුගේ ලිපිකරුවෙකු ලෙස සේවය අරඹා පසුගිය ජූලි මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ශ්‍රේෂ්ඨාධිකරණ නාමයෝජනාව බවට පත්විය. මෙහි ඇති දෛවෝපගත කාරණයක් වන්නේ වෘත්තිය තුළ දේශපාලනය ද සමග ඉදිරියට ගිය ඔහු, බිල් ක්ලින්ටන් හිටපු ජනාධිපතිවරයාගේ ලිංගික අපචාර චෝදනා පිළිබඳ පරීක්ෂණයට ද සහභාගි වී තිබීමයි!

2000 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ජෝර්ජ් ඩබ්.බුෂ්ගේ හිතවතකෙු ලෙස කටයුතු කළ කැවෙනා, ධවල මන්දිරයේ සේවයට බැඳෙන්නේ කාර්ය මණ්ඩල ලේකම්වරයා වශයෙනි. අධිකරණ පද්ධතියට පුද්ගලයන් හඳුනා ගැනීම සහ ඔවුන්ව නම් කිරීම සම්බන්ධයෙන් ඔහු ධවල මන්දිරය තුළ විශාල කාර්යභාරයක් කළේය. අවසානයේ 2003 වසරේදී කැවෙනා ඇමරිකා එක්සත් ජනපද අභියාචනාධිකරණයට ජනපති බුෂ් විසින් නාම යෝජනා කරනු ලබයි. 2006 වසර වන තෙක්ම ඔහු පිළිබඳ ඇතිවන මතභේදයන්ගෙන් පසුව, රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ අතර ඇතිවන එකඟතාවයකින් අනතුරුව ඔහුව ඒ සඳහා පත් කරනු ලැබේ.

2018 ජූලි 9 වැනිදා කැවනාට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට නාම යෝජනා ලැබෙන්නේ, ඇසෝසියේටඩ් විනිසුරු ඇන්තනී කෙනඩිගේ විශ්‍රාම යාමත් සමග ය. ඒ අනුව විනිසුරුවරයෙකු වශයෙන් කැවෙනාට නාමයෝජනා ලැබිණි. ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විසින් එය තහවුරු කිරීමේ ඉතා ක්‍රමවත් ක්‍රියාවලිය තුළ ඉදිරියට යමින් සිටින අතරවාරයේ ක්‍රිස්ටීන් බ්ලැස්ලි ෆෝඩ් නමැති කාන්තාව ඉදිරියට පැමිණෙයි.

ක්‍රිස්ටීන් ෆෝඩ් යනු කවුද?

ඇය, අද වන විට මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරියකි. 1980 දශකයේ මුල් භාගයේ තමන් සහ කැවෙනා එකම උසස් පාසලක අධ්‍යාපනය ලබන සමයේදී කැවෙනා විසින් තමන්ව ස්ත්‍රී දූෂණයට ලක් කරන්නට තැත් කළේ යැයි ඇය චෝදනා කරයි. මේ වන විට 52 හැවිරිදි ඇය, පාලෝ ඇල්ටෝ සරසවියේ මහාචාර්යවරියකි. එසේම ස්ටැන්ෆර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂණ මනෝවිද්‍යාඥවරියකි. ඇය පර්යේෂිකාවක් ලෙස වැඩ කටයුතු රාශියක් සිදුකර තිබේ. පර්යේෂණ ව්‍යාපෘති සඳහා සංඛ්‍යානවිද්‍යාත්මක ආකෘති නිර්මාණය කිරීමේ ප්‍රවීණයෙකු ලෙස සැලකෙන ඇය, තම ක්ෂේත්‍රය තුළ කීර්තියක් අත් කරගෙන සිටින අයෙකි. මෙවැනි අයෙකු, තමන්ගේ ජීවිතයේ අතිශය අමිහිරි සහ අතිශය වේදනාකාරී අත්දැකීමක් සම්බන්ධයෙන්, ලෝකය ඉදිරියේ ලැජ්ජාවට පත්වෙමින්, වැළපෙමින් මෙවැනි කතාවක් පවසන්නේ ඇයි?

ඕනෑම අධිකරණ හෝ අධිකරණමය නොවන කටයුත්තකදී සාක්ෂිකරුවාගේ උචිතභාවය හෙවත් යෝග්‍යතාවය සලකා බලයි. එසේම එම සාක්ෂි දෙන තැනැත්තා කෙබඳු අයෙක්ද යන්න ද පරීක්ෂණකරුවන්ගේ සැලකිල්ලට ලක් වේ. ක්‍රිස්ටීන් ෆෝඩ් නිකම්ම නිකම් ගැහැණියක නොවේ. ඇය විසින් සිදුකරන චෝදනාවේ සහ ප්‍රකාශයේ බරපතළකම, ඇය කවුද යන ප්‍රශ්නය සමග බැඳී පවතියි.

[embedyt] https://www.youtube.com/watch?v=iNwV-UHEIFQ[/embedyt]

ක්‍රිස්ටීන් ෆෝඩ්, 1982 වසරේදී කැවෙනා විසින් තමන්ට සිදුකළ ලිංගික අතවරය හඬමින් විස්තර කළේ ‘දූෂණය කිරීමට තැත් කිරීමක්‘ ලෙස ය.

කැපිටල් හිල් හි සෙනෙට් අධිකරණ කමිටුවේ මෙම පරීක්ෂණය පැවත්වෙමින් සිටින අතරවාරයේ කාන්තාවන් පිරිසක් එම ශාලාව පිටත සිට උද්ඝෝෂණයේ යෙදී සිටියහ.

කැවෙනාගේ තර්ජනය

කැවෙනා සහමුලින්ම සහ වෙන් වෙන් වශයෙන් එම චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ දැඩි ස්වරයෙන් සෙනෙට් සභාව අමතමිනි. නමුත් දින කිහිපයක් ඇතුළත කැවෙනාට එරෙහිව ලිංගික අපචාර චෝදනා නගමින් තවත් කාන්තාවන් දෙදෙනෙක් ඉදිරියට එති. ඔහු එවිටද පවසන්නේ තමන්ගේ හොඳ නම කැත කිරීම සඳහා වාමාංශික ව්‍යාපාරයක් දියත් ව තිබෙන බව ය. මේ කාන්තාවන් ඉදිරියට පැමිණීම තුළ දේශපාලන අරමුණු ඇති බවත් ඔහු කියයි. එහිදී ඔහු අවධාරණය කරන්නේ තමන් විසින් ක්ලින්ටන් අපචාර සිදුවීමේදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ නිසා එයට දේශපාලනික වශයෙන් පළිගැනීමක් සිදුවෙමින් පවතින බව ය.

‘‘දශක ගණනකට සෑහෙන පරිදි නුඹලා සුළඟට බීජ විසිකර දැමුවා..“ යැයි ක්‍රිස්ටීන් ෆෝඩ්ගේ සාක්ෂිය පිළිබඳ කටඋත්තර දෙමින් කැවෙනා පවසයි. ‘‘ඉදිරි දශක කිහිපය තුළම මේ කළ දේ ප්‍රතිඵල අත්විඳීමට සිදුවේවි‘ යැයිද ඔහු යම්කිසි තර්ජනාත්මක ආකාරයකින් කියයි. මේ තර්ජනය විචාරකයන් විස්තර කරන්නේ මේ ආකාරයට ය.

කැවෙනා යනු වරප්‍රසාද ලත් පුද්ගලයෙකි. එවැනි අයෙක් පවා, ස්ත්‍රීන් ඉදිරියට පැමිණ තමන්ගේ කතාව සෙසු අය සමග බෙදාහදා ගත් පසු විශාල අවදානමකට මුහුණ පාති. කැවෙනා මේ කියන්නේ, ‘‘මා අනාරක්ෂිත නම්, සෙසු සියලුම අයත් අනාරක්ෂිතයි‘ වැනි කතාවකි.

සෙනෙට් සභික, ඩිමොක්‍රටික් සාමාජික ලින්ඩ්සේ ග්‍රෙහෑම් කෝපයෙන් කෑ ගසමින් කැවෙනාගේ යෝග්‍යතාවය ප්‍රශ්න කළේය. ‘‘මෙවැනි පුද්ගලයෙකු ඇමරිකානුවන්ගේ ජීවිත හා මරණය පිළිබඳ තීරණ ගන්නා ස්ථිර රැකියාවකට ඉතිරි ජීවිත කාලය සඳහා පත් කිරීම සුදුසුද…?“

ඩිමොක්‍රටික් සාමාජික ලින්ඩ්සේ ග්‍රෙහෑම්ගේ විරෝධය | abriella Demczuk-Pool/AFP/Getty Images

ඩිමොක්‍රටික් සාමාජික ලින්ඩ්සේ ග්‍රෙහෑම්ගේ විරෝධය | abriella Demczuk-Pool/AFP/Getty Images

 

අනීතා හිල් සහ ක්‍රිස්ටීන් ෆෝඩ්

මෙවැනිම සිදුවීමක් 1991 වසරේ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා නාමයෝජනා ලද ක්ලැරන්ස් තෝමස් සම්බන්ධයෙන් ද උද්ගත විය. එදා ඔහුට එරෙහිව ඇමරිකානු සෙනෙට් සභාව ඉදිරියේ ලිංගික අපචාර චෝදනා නැගුවේ අනීතා හිල් නමැති කාන්තාවකි. ඇය ද සරසවි මහාචාර්යවරියකි. සමාජ ප්‍රතිපත්ති, නීතිය සහ කාන්තා අධ්‍යයනයන් පිළිබඳ බ්‍රැන්ඩීස් සරසවියේ මහාචාර්යවරියකි.

                                                                                                 අනීතා හිල් 

ඇමරිකාවේ අධ්‍යාපනය හා සම රැකියා අවස්ථා පිළිබඳ කොමිසමේ සේවයේ යෙදී සිටියදී සිය ප්‍රධානියා වශයෙන් කටයුුතු කළ ක්ලැරන්ස් තෝමස්, තමන්ට ලිංගික අතවර සිදුකිරීමට උත්සාහ කළ බව ඇය නොබියව එදා පැවසුවාය. අනීතාට අනුව තෝමස් විසින් පුරා වසර 2 ක කාලයක් තිස්සේ මෙවැනි බලපෑම් සිදුකර තිබිණි. ඔහුගේ ලිංගික ආයාචනාවලට ඇය එකඟ නොවන විට ස්ත්‍රීන් සතුන් සමග ලිංගිකව හැසිරීම පිළිබඳව ද, කණ්ඩායම් ලිංගික ක්‍රියා හා දූෂණ සිදුවීම් සම්බන්ධ වීඩියෝ පට ද තමන්ට පෙන්වූ බව ඇය පැවසුවාය. එහිදී තෝමස් විසින් තමන්ගේ ‘ලිංගික පරාක්‍රමයන්‘ (“his own sexual prowess”) පිළිබඳ උදම් ඇනූ බව ද ඇය සවිස්තරාත්මක ව පැවසුවාය. සිය මේසය මත තබා තිබූ කොකාකෝලා බෝතලයක් පෙන්වා එයට අසභ්‍ය අර්ථදැක්වීමක් ලබාදුන් අයුරු ද විස්තර කළාය.

අද ක්‍රිස්ටීන් ෆෝඩ් හට මුහුණ දීමට සිදුවූ පීඩනයට වඩා විශාල පීඩනයක් එදා අනීතා හිල් හට මුහුණ දීමට සිදුවිය. ඇය සිය ප්‍රකාශය සිදුකිරීම පටන් ගත් වහා ඇයව අපහසුතාවට පත් කිරීම ආරම්භ කර තිබුණේ සෙනෙට් ප්‍රබලයෙකු වූ ජෝන් මැකේන් විසිනි. ඔහු විසින් ඇගේ පවුලේ අය ඉදිරියේ ඇය අපහසුතාවට පත් කළ බව සඳහන් ය. එසේම රිපබ්ලිකන් සෙනෙට් සභික ඔරින් හැච්, අනීතා හිල් මෙසේ කරන්නේ තෝමස් ගේ අනාගතය විනාශ කිරීමේ අරමුණින් බවත් ඇය තමන් වැනිම නීතීඥ  ‘ලෙඩුන්‘ සමග එක් වී සිටින බවත් පැවසුවේය. එසේම අනීතා හිල්ගේ සාක්ෂිය තහවුරු කිරීම සඳහා තවත් කාන්තාවන් සිව් දෙනෙක් කැඳවීමට නියමිතව තිබුණත් ඔවුන්ව කැඳවුණේ ද නැත. එකල නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ මේ සඳහා රිපබ්ලිකන් සහ සෙනෙට් අධිකරණ කමිටුව අතර යම්කිසි රහස් එකඟතාවක් තිබෙන්නනට ඇති බවයි. අවසානයේ තමන් පවසන්නේ සත්‍යයක් බව සනාථ කරන්නට ‘පොලිග්‍රාෆ්‘ පරීක්ෂණයට ඉදිරිපත් වීමට ද අනීතා එකඟ වූ නමුත්, එම පරීක්ෂණය සෙනෙට් අධිකරණ කමිටුව පිළිගත්තේ නැත. 19 වන සියවසේ ඓතිහාසික සිදුවීමක් ලෙස අවසානයේ සිදුවුණේ, ඇමරිකානු සෙනෙට් සභාව විසින් ක්ලැරන්ස් තෝමස් ව 52-48 වශයෙන් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා පත්වීම ස්ථිර කිරීමයි.

[embedyt] https://www.youtube.com/watch?v=VcI630c-DuU[/embedyt]

කෙසේ නමුත් ක්‍රිස්ටීන් ෆෝඩ් සිදුවීමේදී ඡන්ද විමසීමට යාමට පෙර කැවෙනාට FBI පරීක්ෂණයට ලක් වීමට සිදුවනවා ඇත. දශක 3 ක් තුළ ඇමරිකානු දේශපාලන විභවයන් වෙනස් වී තිබේදැයි ක්‍රිස්ටීන් ෆෝඩ්-කැවෙනා පරීක්ෂණය අපට ඉදිරියේදී සනාථ කරනු ඇත. නමුත් එක් කරුණක් නම් ඉතා පැහැදිලි ය. කැවෙනා යනු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තෝරාගැනීමයි. ඔහුගේ නාමයෝජනාවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ගැහැණුන් සම්බන්ධයෙන් සිතන ආකාරය, ඔවුන්ට ලබාදෙන වටිනාකම ලොවට රහසක් නොවේ. එනිසා මෙම සෙනෙට් අධිකරණ කමිටුව විසින් මෙවර වෙනස් තීරණයක් ලබාදෙන්නේ නම් එය ට්‍රම්ප්ගේ බලය අබිබවා ඩිමොක්‍රටික් පක්ෂය බලවත් බව පෙන්වා දෙන පරීක්ෂණයක් ද වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි