බංග්ලාදේශයේ ඩකා අගනුවර මහාධිකරණය විසින් අද (26) දින මෙම තීන්දු ලබාදීම සිදුවිය.
බංග්ලාදේශ ජනතා පක්ෂයේ නායිකාව ද වන බෙගම් ඛලීඩා ෂියා අපහාස නඩු දෙකකට මැදි වී සිටි අතර මෙම නඩු දෙක සඳහා ඇය විසින් වෙන වෙනම ඇප අයදුම්පත් දෙකක් යොමු කර තිබිණි. එම නඩු දෙකේදීම ඇයට තවත් වර්ෂයක කාලයක් සඳහා ඇප ලබාදීම විශේෂත්වයකි. මෙම නඩු දෙකේදීම ඇයට ඇප ලබාදී තිබූ මාස 6 ක කාලය දෙසැම්බර් 18 වැනිදායින් අවසන් වීමට නියමිත ව තිබුණි.
බංග්ලාදේශයේ ජනනෙත්රි පරිශද් නමැති මුස්ලිම් සංවිධානයේ සභාපති ඒ.බී. සිද්දික් විසින් එම එක් අපහාස නඩුවක් මුස්ලිම්වරුන්ගේ ආගමික හැඟීම්වලට රිදවූ බවට (hurting religious sentiments of Muslim) චෝදනා නගමින් පවරා තිබූ අතර, තවත් නඩුවක් ඔහු විසින්ම පවරා තිබුණේ බෙංගාලි ජාතියේ පියා ලෙස සැලකෙන බන්ගබන්ධු ෂෙරියක් මුජිබුර් රහ්මන් (Bangabandhu Sheikh Mujibur Rahman) හට අපහාස කළ බවට චෝදනා නගමිනි. 2014 ඔක්තෝබර් 21 වැනිදා එක් නඩුවක් පවරනු ලැබුවේ එයට සතියකට පෙර ඛලීඩා ෂියා විසින් සිදුකළ ප්‍රසිද්ධ කතාවකදී එකී අපහාස සිදුවූ බව පවසමිනි. පසුව 2017 ජනවාරි 25 වැනිදා තවත් ඩකා අධිකරණයකදී තවත් අපහාස නඩුවක් බෙංගාලි ජාතියේ පියාට අපහාස කළ බව පවසමින් ගොනු කිරීම සිදුවිය.
මේ වන විට ඛලීඩා ෂියා සිටියේ සියා අනාථ නිවාසයේ නඩුව (Zia Orphanage Trust case) සම්බන්ධයෙන් වරදකාරිය වී පස් අවුරුදු සිර දඬුවමක් විඳිමිනි. පසුගිය වසරේදී එම පස් අවුරුදු සිර දඬුවම වසර 10 ක් දක්වා දීර්ඝ කිරීම ද සිදුවිය. මේ අතර Zia Charitable Trust නඩුවෙන් පරාජය ලත් ඛලීඩා ෂියා පසුගිය වසරේ ඔක්තෝබර් 29 වැනිදා තවත් සත් අවුරුද්දක සිර දඬුවම් ලැබුවාය. මේ අනුව ඇය සිටියේ වසර 17 ක සිර දඬුවමක් විඳිමිනි.
මේ අතර සියා අනාථ නිවාස නඩුවේ තීන්දුව අහෝසි කරන ලෙස ඇය විසින් 2019 අප්‍රේල් 30 වැනිදා ඉල්ලා සිටි අතර, එය පිළිගත් අධිකරණය මාස 2 ක කාලයක් ඇතුළත අදාළ ලියකියවිලි, පරීක්ෂා කිරීම සඳහා අධිකරණයට භාර දෙන ලෙස නියම කර තිබේ. අප්‍රේල් 1 වැනිදා පටන් ඇය සිටින්නේ BSMMU රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමිනි.
1991-1996 සහ 2001-2006 අතර කාලය තුළ බංග්ලාදේශයේ අගමැති ධුරය හෙබවූ ඛලීඩා ෂියා, රටේ අගමැති ධුරයට පත් වූ පළමු කාන්තාවයි. තවද පාකිස්ථානයේ බෙනාසීර් භූතෝ හැරුණු විට මුස්ලිම් බහුතරයක් ජීවත් වන රටක නායකත්වයට පත්වූ පළමු කාන්තාවයි. ඇය මේ වන විට නායකත්වය උසුළන්නේ ඇගේ සැමියා සහ හිටපු බංග්ලාදේශ ජනාධිපතිවරයෙකු වූ සියාවුර් රහමන් විසින් 70 දශකයේදී නිර්මාණය කරන ලද බංග්ලාදේශ ජනතා පක්ෂයේ ( (BNP) ය.
1982 වසරේ බංග්ලාදේශය හමුදා ප්‍රධානී ජනරාල් එච්.එම්. එර්ෂාද්ගේ හමුදා කුමන්ත්‍රණයට ලක් වූ අතර, 1991 වසරේදී මහ මැතිවරණයෙන් ජයගෙන අගමැතිවරිය බවට පත්වූවාය. 1996 වසරේ පැවති මහ මැතිවරණයෙන් බලයට පත්වූයේ ඇගේ ප්‍රතිවාදී ෂේක් හසීනා විසින් මෙහෙයවනු ලැබූ අවාමි ලීගයයි. පසුව 2001 වසරේදී බීඑන්පී පක්ෂයට නැවත ආණ්ඩු බලය හිමිවිය.
2002, 2005, 2006 යන වර්ෂවලදී පිට පිටම ෆෝබ්ස් සඟරාව විසින් ඇය ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට එක් කර තිබිණි.
2006 වසර අග ඛලීඩා ෂියාගේ ධුර කාලය අවසන් වූ විට 2007 ජනවාරි මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර තිබුණත් එය දිගින් දිගටම දේශපාලන ප්රචණ්ඩ ක්‍රියා හරහා ප්‍රමාද කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ ලේ වැගිරීම්වලින් තොර හමුදා පාලනයකට 2007 වසරේදී බංග්ලාදේශය නැවත නතු වීමයි. ඉන් අනතුරුව ඇගේ දේශපාලන දිවියේ කණ කොකා හඬන්නට පටන් ගත් අතර, ඇය සහ ඇගේ පුතුන් දෙදෙනාට එරෙහිව දූෂණ චෝදනා නැගීම ආරම්භ විය.
2018 වසරේදී දාහත් වසරකට ඇයව සිරගත කෙරෙන්නේ බලයේ සිටියදී අනාථ නිවාස භාරයකින් සහ පුණ්‍ය භාරයකින් මුදල් වංචා කළ බවට එල්ල වූ දූෂණ චෝදනා සනාථ වීම මගිනි.
විචාරකයන් පවසන්නේ අවසානයේ බලය නිසා උන්මත්තක වී දූෂණ හා අපරාධ සිදුකරන ආසියාවේ දේශපාලනඥයන්ට බෙගම් ඛලීඩා ෂියා හොඳ උදාහරණයක් බවයි.
කෙසේ නමුත් ඇය තවමත් බංග්ලාදේශයේ බලවත් දේශපාලන චරිතයකි.