×

කොරියාවේ නිදහස් සටනට සියවසයි 1919 ~ 2019

පොදු නිවාඩුවක් නොහොත් රතු නිවාඩු දිනයක් ලෙස ගැනෙන මාර්තු පළවෙනිදා දකුණු කොරියාවෙ නිදහස් ව්‍යාපාරයේ අනුස්මරණ දිනයයි.


삼일절 (sam il jeol) යනුවෙන් කොරියානු ජනයා විසින් ව්‍යවහාර කරන්නේද හා රටපුරා සමරනු ලබන්නේද 1919 දී අද වැනි දවසක ආරම්භ කරන ලද නිදහස් සටනේ ආරම්භයයි..

“සම්” යනු තුන වන අතර “ඉල්” යනු එක ය. ඒ අනුව සම්ඉල් ජොල් යනු තුන්වෙනි මාසේ පලවෙනිදා යන්නයි. 1919.03. 01 වෙනිදා සෝල් නුවර පැකෝඩා උද්‍යානයට සේන්දු වූ උද්ඝෝෂකයන් කිහිපදෙනෙකු විසින් ඇරඹි “යටත් විජිතයට එරෙහිව නැඟීසිටීමේ අරගලය” තුළින් තම රටේ ජනතාවට නිදහස අවශ්‍ය බව ජපන් ආක්‍රමණිකයන්ට පෙන්වාදුන්හ.

එම සුළු උද්ඝෝෂණය මිලියන දෙකක යටත් ස්වදේශිකයන් මහා වීදිවලට ගෙන ඒමට තරම් ශක්තිමත් වූ නිදහස් අරගලයේ වටිනා සංධිස්ථානයයි. ඉන් පසු දිගින් දිගටම සාමකාමී පෙළපාලි හා උද්ඝෝෂණවලින් සෝල් නුවර පිරී ඉතිරෙන්නට විය. නිදහස් ප්‍රකාශවලින් වාගෝලය දෝංකාර දෙන්නට විය.

දකුණු කොරියානු නිදහස් අරගලය තුළදී ජපන් ජාතිකයන්ගෙන් ස්වදේශිකයන්ට කිසිවිටෙක යහපත් ප්‍රතිචාර ලැබුණේ නැත. ඒවා බොහෝම මිලේච්ජ තත්වයේ ඒවා විය. අරගලයට පෙර සිටම ඔවුන් කොරියානුවන් වහල් සේවයට යොදාගත් අතර, කොරියානු කාන්තාවන් හා දැරියන් දූෂණයට පවා ලක් කළහ. පිරිමින්ද ඉතා කුරිරි තාඩන පීඩන ආදියට ලක් කළ ඔවුන්ගෙන් කිසිවෙකුට මනුෂ්‍යත්වයක් බලාපොරොත්තු විය නොහැකි විය. අරගලය ඇඹීමෙන් පසු එම තත්වය තවත් දරුණු වූවා පමණි.

එම නිදහස් අරගලය කාලවකවානුව තුළ දිනපතා උද්ඝෝෂකයන් දහස් ගණනින් අත් අඩංගුවට ගත් අතර පහරදීම් වලදී පහළොස්දහසකට අධික පිරිසක් දැඩි තුවාල ලැබූ අතර හත්දහසකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. සොදේමුන් බන්ධනාගාරය අදටත් බොහෝ ප්‍රසිද්ධියක් උසුලන්නෙ නිදහස් සටන් කරුවන්ගේ නිවහන ලෙසිනි.

1910 දී ජපානය විසින් කොරියානු අර්ධද්වීපය තම යටතට ගැනීමෙන් පසුව වසර තිස්අටක් එසේ කුරිරුවත් අමානුෂිකවත් පාලනය කළහ. අරගලයේ ජයග්‍රහණය සනිටුහන් කරමින් කොරියානුවන් විසින් 1948 අගෝස්තු15 වෙනිදා පූර්ණ වශයෙන් ජපනුන්ගෙන් නිදහස ලබාගත් අතර තාවකාලික රජයක් පිහිටුවා ගත්හ. එසේ පිහිටුවාගත් ජනරජයේ ප්‍රථම ජනාධිපති ලෙස සිංමන් රී මහතා පත්වන්නේ 1948. 09.09 වෙනිදාය.

අද කොරියානුවන් සමරන්නේ සම්-ඉල්-ජොල් හි සියවෙනි සංවත්සරයයි.

| චතුර රුවන් වීරක්කොඩි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි