×

70 වසරකට පසු යන්තම් පිස දැමෙන කොරියාවේ කඳුළු

1950-53 කොරියානු යුද්ධය විසින් එකම පවුලේ ඔවුන් එකිනෙකාගෙන් වෙන් කරනු ලැබිණි. දැන්, 70 වසරකට පසු ඔවුන්ට, කොරියානු දෙරට අතර ඇතිවමෙින් තිබෙන සාමකාමී වාතාවරණය තුළ එකිනෙකා මුණ ගැසීමත්, කඳුළු පිරි දෙනෙතින් යුතුව එකිනෙකා වැළඳගැනීමටත්, හැත්තෑ වසරක අතීත මතක හුවමාරු කර ගැනීමටත් අවස්ථාව ලැබිණි. නමුත් ඒ සදහටම නොවේ. පැය කිහිපයකට හෝ දින කිහිපයකට පමණි.


එදා කොරියානු අර්ධද්වීපය දෙකට බෙදා ලූ යුද්ධය සිදුවන විට සිය පවුලෙන් ඈත් වී සිටීමේ දුක මේ සා වසර ගණනක් දික් ගැස්සෙන එකක් බවට පත්වේවි යැයි ඔවුන් කිසිවිටෙක නොසිතන්නට ඇත. නමුත් වසර 65-70 ක වියෝදුක, පැය ගණනක කඳුළුවලින් සෝදා හැරිය හැකි වේද…?

උතුරු කොරියාවේ සිටි දකුණට ගිය කොරියානුවන් 500 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මේ දක්වා උතුරට ගොස් තම නෑසියන් හමු වී තිබේ.

තෝරාගත්තේ ලොතරැයියකින්

මේ සඳහා දකුණු කොරියාවේ ජීවත් වෙමින් සිටි හෙවත් ‘සිර වී සිටි‘ උතුරු කොරියානුවන් කණ්ඩායම තෝරාගනු ලැබුවේ ලොතරැයියක් මගිනි. ඒ අතරින් උතුරට යාමට වරම් ලැබූ වයස්ගතම පුද්ගලයාගේ වයස අවුරුදු 101 ක් විය.

පසුගිය සතියේ මෙම පිරිස කණ්ඩායම් කිහිපයකට බෙදා උතුරු කොරියාවේ කුමගැන්ග් සංචාරක නිකේතනය වෙත ගෙන යනු ලැබුවේ දැඩි ආරක්ෂාවක් යෙදූ බස් රථවලිනි. ඔවුන්ට මේ අනුව උතුරු කොරියාවේ දින 3ක කාලයක් ගත කිරීමට ලැබුණු නමුත් තම සමීපතමයන් හමු වී ඔවුන් සමග කල් ගත කිරීමට ලැබුණු සම්පූර්ණ කාලය පැය 11කට සීමා විය. එසේම ඔවුන්ට එම අවස්ථාවලදී පවා ඉතා දැඩි රැකවල් යොදවා තිබූ අන්දම ද දැකගන්නට ලැබිණි.

සංවර්ධිත දකුණේ සිට ඌන සංවර්ධිත උතුරු කොරියාව වෙත වසර 70කට පසු යන මේ ගමනේදී ඔවුහු බොහෝ සේ තෑගි බෝග ගෙන ගියහ. ඒ අතර ඇඳුම්, ඖෂධ සහ ආහාර දැකගත හැකි විය.

රතු කුරුස සංවිධානයේ මැදිහත්වීමක්

යුද්ධය විසින් වෙන් කළ කොරියානුවන් ගණන පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැති අතර එම ප්‍රමාණය මිලියන ගණනක් බව කියැවේ. ඒ අතරින් බොහොමයක් මේ වන විට මිය ගොසිනි. ජීවත් ව සිටිනවුන් ද සිය දිවියේ සැඳෑ සමය ගත කරනවුන් ය. වසර 70 ක් යනු සුළුපටු කාලයක් නොවේ. පසුගිය අප්‍රේල් මාසයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු නායක මූන් ජේ එන් කොරියානු නායකයන් අතර මේ වන විට ඇති වී තිබෙන හොඳ හිතෙන් ඵල ලබමින් මේ හමුවීම් සැලසුම් කිරීම සඳහා කලාපීය සහ අන්තර්ජාතික සංවිධාන විශාල වැඩ කොටසක් ඉටු කළහ. Inter-Korea Separated Family Association සහ කොරියාවේ රතු කුරුස සංවිධානය ඒ අතරින් ප්‍රධාන ය. මේ හමුවීමේ ගමන සඳහා වියදම් සම්පූර්ණයෙන්ම දැරුවේ ද දකුණු කොරියාව විසිනි.

උතුරු කොරියාවට ගොස් තම නෑ සියන් දැක බලා ගැනීම සඳහා කොරියානුවන් මීට පෙර නිල නොවන ක්‍රම යොදාගෙන තිබේ. නමුත් ඒවා බොහෝ විට චීන අතරමැදියන් සහ තැරැව්කරුවන් යොදාගෙන සිදුවන්නකි. එක් හමුවීමක් සඳහා දළ වශයෙන් ඩොලර් 1500 ක පමණ මුදලක් උවමනා කෙරේ. එහිදීද ජීවිත අවදානම දැරිය යුතු වන්නේ දකුණෙන් උතුරට යන කොරියානුවා විසිනි. යම් හෙයකින් දකුණු කොරියාවේ සිට පැමිණියෙක් හෝ රටෙන් පළා ගිය අයෙක් බව උතුරු කොරියානු සෙබළුන්ගේ උකුසු ඇසට හසු වුවහොත් සිරගත කිරීම හෝ ඊට වඩා බෙහෙවින් දරුණු දඬුවමකට ලක් වීමට ඔවුන්ට සිදුවනු ඇත.

පහත දැක්වෙන්නේ දකුණෙන් පැමිණි අතළොස්සක් දෙනා වසර 60-70 ක් මුළුල්ලේ නොදුටු සිය නෑසියන් දුටු සංවේදී අවස්ථාවන් කිහිපයක ඡායාරූපයන් ය.

දැන් මට වයස 101 යි!

EPA

EPA

බායික් සුන් කී උතුරු කොරියාවට ගොස් සිය නෑ සියන් දැකගන්නේ ඔහුගේ වයස අවුරුදු 101 ක් ව තිබියදී ය. ඔහු රැගෙන ගිය තෑගි භෝග අතර ඇඳුම්, සපත්තු, ගෙදර දොර ඉවුම් පිහුම් භාජන මෙන්ම ටොයිලට් පහසුකම් සඳහා අවශ්‍ය දේ ද විය. ඔහු, උතුරු කොරියාවේ ජීවත් වන මිනිබිරිය හමුවූ මොහොතයි, මේ. ඇගේ වයස දැන් අවුරුදු 48 කි. ‘‘මේක අපි මුන ගැහෙන පළවෙනි අවස්ථාව වගේම අන්තිම අවස්ථාවත් වේවි..“ යැයි ඔහු රොයිටර්ස් මාධ්‍යවේදීන් අමතා කීය. ‘‘ඒ නිසා මම ගොඩක් දේවල් ඇය වෙනුවෙන් ගෙනාවා!“

99 හැවිරිදි අම්මාට දූවරුන් මුණ ගැසී

GETTY IMAGES

GETTY IMAGES

හන් ෂින් ජා නමැති මේ 99 හැවිරිදි වියපත් මාතාව, වයස අවුරුදු 72 ක් සහ 71 ක් වන සිය දියණියන් හමු වූ මොහොතයි, මේ. කොරියානු යුධ සමයේ හන් ෂින් ජා සිය බාල දියණිය ද සමග දකුණුකරය වෙත පළාගියේ, කොරියානු අර්ධද්වීපය දෙකට බෙදී දේශසීමා ලකුණු වන්නට යන බව නොදැන ය. ඇයට මේ සංවේදී මොහොතේ කඳුළු සැළීමට විනා කතා කර ගැනීමට පවා හැකි වුණේ නැත.

‘‘තාත්තේ, මාව අඳුනන්න පුළුවන්ද?“

EPA

EPA

හැත්තෑ හත් හැවිරිදි අහ්න් ජුන්-සූන්, ඇගේ අවුරුදු 100 ක් වන තාත්තා, අහ්න් ජොන්ග්-හෝ හට කෑම කවමින්. තමන්ව හඳුනන්නට පුළුවන්දැයි දියණිය සිය පියාගෙන් ඇසුවේය. වියපත් බව නිසා කන් ඇසීමේ දුර්වලතාවයකින් පෙළෙන මේ තාත්තා එයට ප්‍රතිචාර දැක්වූයේ සෙමෙනි. කිසිවක් මුවින් නොකීව ද ඔහුගේ දෙකොපුල් දිගේ කඳුළු ගලා ආවේය.

‘දවස් තුනකට හෝ සතියකට!“

GETTY IMAGES

GETTY IMAGES

අසූ හැවිරිදි කිම් ක්වැන්ග්-හෝ සිය සහෝදරයාගෙන් සමුගෙන දකුණට ගියේ වයස අවුරුදු 14 දී ය. ඔහුගේ මව සහ බාල සහෝදරයා උතුරුකරයේ නතර වී සිටියදී ඔහු සමග පියා සහ අයියලා ද ගමනට එක් විය. කොරියානු යුද්ධ සමයේ මේ ගමන යද්දී ඔවුන් සිතුවේ තමන් දකුණට යන්නේ ‘දවස් තුනකට හෝ සතියකට‘ පමණක් බවයි. එය වසර 66 ක් වේවි යැයි ඔවුන් කිසිවිටෙක සිතුවේ නැත. අවසානයේ ඔවුන් මුණ ගැසෙන විට 78 හැවිරිදි සහෝදරයාට සිය අයියාගේ මුහුණ පවා මතකයේ තිබුණේ නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි