×

කෝවිඩ් එන්නත ලතින් ඇමරිකාවට!

මෙක්සිකෝව, චිලී රාජ්‍යය සහ කොස්ටා රිකාව මහාපරිමාණ එන්නත්කරණය හෙවත් mass vaccination ආරම්භ කරයි.


ලතින් ඇමරිකාවේ කොරෝනාවෛරස එන්නතක් මුල් ම වරට ලබාගත් පුද්ගලයා බවට මෙක්සිකානු හෙදියක් ඊයේ දිනයේ පත් විය.

මේ ඇගේ රට එන්නත් කිරිමේ ව්‍යාපාරය පසුගිය බ්‍රහස්පතින්දා ඇරැඹීමත් සමග ය.

එක්සත් ජනපද-ජර්මානු ෆයිසර් එන්නතේ (Pfizer-BioNTech) මුල් තොගය වශයෙන් මාත්‍රා 3000ක් මෙක්සිකෝවට ලැබී තිබේ.

එක්සත් ජනපදයට, බ්‍රසීලයට සහ ඉන්දියාවට පමණක් පිටුපසින් ලොව වැඩිම ගෝලීය වසංගත මරණ සංඛ්‍යාවක් ඇති රට වන්නේ මෙක්සිකෝවයි.

බ්‍රහස්පතින්දා ම, චිලී රාජ්‍යය සහ කොස්ටා රිකාව ෆයිසර් එන්නත ලබා දීම ඇරැඹුවේ ය.

REUTERS

කොස්ටාරිකාවේදී ෆයිසර් බයොන්ටෙක් එන්නතේ පළමු අදියර වෙන් වී තිබෙන්නේ වියපත් පුද්ගලයන් සඳහා ය. 91 හැවිරිදි එලිසබෙත් කැස්ටිලෝ සිය එන්නත ලබා ගනිමින්.

රුසියාවේ ස්පුට්නික් V ආර්ජන්ටිනාවේ තෝරාගැනීමයි!

REUTERS
ආර්ජන්ටිනාව පොලිස් රැකවල් මැද රුසියාවේ Sputnik V වැක්සිනය ගෙන ආ අයුරු

ආජන්ටිනාව ද එන්නත් කිරීම ඇරැඹීමට සැලැසුම් කරන අතර ඔවුන් ඒ සදහා රුසියාව විසින් නිෂ්පාදනය කරන ලද ස්පුට්නික් V එන්නත තම මූලික වටවලට තෝරාගෙන තිබේ.

බ්‍රහස්පතින්දා උදෑසන එහි අගනුවර වන බුවනෝස් අයර්ස් වෙත එන්නත් මාත්‍රා 300,000ක් ගෙන එනු ලැබිණ.

රුසියාවේ ස්පුට්නික් V එන්නත සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් මතභේදාත්මක බවක් ඇති වී තිබෙන අතරවාරයේ ආර්ජන්ටිනාව එම එන්නත සිය රට සඳහා තෝරාගෙන තිබීම කැපී පෙනෙ කාරණයකි.

ඔවුන් සඳහන් කරන්නේ ‘හදිසි තත්වයට ප්‍රතිචාරයක්‘ ලෙස මෙය තේරාගත් බවයි. ඒ අනුව මෙය එක්වරම මහා පරිමාණ එන්නත්කරණය සඳහා තෝරා නොගන්නා බව ආර්ජන්ටිනා ජනපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩෙස් පැවසීය. ‘‘සැකමුසු තත්වයක් තිබෙනවා. නමුත් අපට වැදගත් වන්නේ ආර්ජන්ටිනානුවන්ගේ සෞඛ්‍යයයි‘‘ යැයි ද ඔහු පැවසුවේය.

REUTERS

චිලී ජනපති සෙබස්තියන් පිනේරා (දකුණු පස මැද) පළමු ෆයිසර් එන්නත් තොගය බෙදා හරින ආකාරය පුද්ගලිකව නිරීක්ෂණය කළේ මෙසේ ය.

බ්‍රසීලයේ බොල්සොනාරෝ ප්‍රමාදයි!

මේ අතර, ලතින් ඇමරිකානු කලාපයේ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වූ බ්‍රසීලයේ ද එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිත ව ඇතත්, ඒ සඳහා පෙබරවාරි දෙවැනි සතිය පමණ කල් ගත වනු ඇත.

බ්‍රසීල ජනපති, දක්ෂිණාංශික බොල්සොනාරෝ, මෙම කෝවිඩ් වසංගතය මුල පටන්ම නොසලකා හැරියා පමණක් නොව, ට්‍රම්ප් මෙන්ම එය උපහාසයට ලක් කළේ ගණන් නොගත යුතු දෙයක් බව කියමිනි.

වරක් බොල්සොනාරෝ කෝවිඩ්-19 වසංගතය හඳුන්වා දී තිබුණේ ‘පුංචි හෙම්බිරිස්සාවක්‘ යනුවෙනි.

කෙසේ නමුත් අද දිනය වන විට ලතින් ඇමරිකාවේ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරමින් බ්‍රසීලයෙන් කෝවිඩ් මරණ ගණන එක්ලක්ෂ අනූ දහස ද ඉක්මවා ගොස් තිබේ.

ලතින් ඇමරිකානු ප්‍රදේශයේ විශාලතම මරණ සංඛ්‍යාව වාර්තා වූ බ්‍රසීලයේ එන්නත් කිරීම ඇරැඹීමට පෙබරවාරි මැද සතිය පමණ වනු ඇතැයි කියැවේ.

ප්‍රධාන ඡායාරූපය – මෙක්සිකෝවේ දැඩි සත්කාර ඒකකයක සේවය කරන හෙදියක් වූ මරී අයිරීන් රැමිරෙස් පළමු එන්නත ලබා ගනිමින්. මෙම එන්නත ලබාගැනීමෙන් පසුව තමන්ට බියක් සැකක් නැතිව රාජකාරියේ යෙදිය හැකි බව ඇය පැවසුවාය. (REUTERS)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි