×

ඉංග්‍රීසි ඕඩය තරණය කිරීමට ගිය සරණාගතයින් රැගත් යාත්‍රාවක් පෙරළී 31 ක් මරුට – මේ තවත් එක් ඛේදවාචකයක් පමණයි!

ප්‍රංශයත් මහා බ්‍රිතාන්‍යයත් අතර මුහුදු තීරය හෙවත් ඉංග්‍රීසි ඕඩය තරණය කිරීමට උත්සාහ කළ සරණාගතයින් රැගත් ඩිංගි යාත්‍රාවක් පෙරළීම නිසා 31 ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 


මෙම සරණාගතයන් පිරිස මෙම අනතුරට මුහුණ පා ඇත්තේ ප්‍රංශයේ සිට එංගලන්තය දෙසට යාත්‍රා කරමින් සිටිය අතරතුර දීයි.

මියගිය පිරිස අතර කාන්තාවන් 05 දෙනකු සහ කුඩා දැරියන් 03 දෙනෙකු සිටින බව මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු ප්‍රංශ කලාපයේ ප්‍රවාහන උප සභාපති හා ටිටුගෙම් (Téteghem) නගරාධිපති ෆ්රෑන්ක් ඩර්සින්, පවසා සිටියේ සංක්‍රමණිකයන් 50කට වැඩි පිරිසක් මෙම යාත්‍රාවේ ගමන් කරමින් සිටි බවට විශ්වාස කරන බවයි.

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ මෙම අනතුර 2014 වසරේදී දත්ත රැස් කිරීම ආරම්භ කිරීමෙන් පසු ඉංග්‍රීසි ඕඩය තුළ සිදුවූ විශාලතම ජීවිතහානි වාර්තාවන අනතුර බවයි.

මෙම අනතුර පිළිබද සිය සංවේගය පළ කරමින් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ බ්‍රිතාන්‍ය මුහුදු තීරයේදී සිදු වූ මෙම ජීවිත හානිය පිළිබඳව තමා කම්පනයට සහ දැඩි ශෝකයට පත් වූ බවයි.

විපතට පත් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ඒජන්සිය ප්‍රකාශ කරන අන්දමට අසයිලම සොයා එන්නන් ඇතුළුව සංක්‍රමණික හා සරණාගත පුද්ගලයන් යුරෝපීය දේශසීමාවන්ට පිවිසීම ගතවූ වසර තුළ දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර, එසේ යාත්‍රා කිරීම තුළ සිදුවූ අනතුරු වලින් පුද්ගලයන් 1146 ක් පමණ ගතවූ මාස 6 තුළ ජීවිතක්ෂයට පත්ව තිබේ.

සංක්‍රමණිකයන් සහ සරණාගතයන් භාරගැනීම පිළිබඳව බ්‍රිතාන්‍යය ඇතුළුව යුරෝපීය රාජ්‍යයන් අනුමනය කරන නීතීන් පිළිබඳව පැණ නැඟී මතවාදයන් තුළ මෙවන් ඛේදවාචකයන් සිදුවීම බරපතල අර්බුදයක් බව ජාත්‍යන්තර ප්‍රජාව පවසයි.

ජීවිත තර්ජන ඇතුළු විවිධ හේතුමත තම මව්බිම අතහැර ජීවිතාරක්ෂාව පතා යුරෝපීය රටවලට පැමිණීමට වෙරදරන මෙම ප්‍රජාවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම පිළබඳව එරට රාජ්‍ය නායකයන් සංවේදී මදි ද යන පැණය එම සංවාදයේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබේ!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි