×

රටේ ධනවත්ම මිනිසා අගමැති කරමින් ලෙබනනයට අලුත් ආණ්ඩුවක්

වසරකට අධික කාලයක් මුළුල්ලේ විවිධ පරිපාලන හැලහැප්පීම් මැද ආණ්ඩුවක් රහිතව පාලනය වූ ලෙබනනයේ නව ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කිරීම සිදුවිය.


එහිදී නජීබ් මිකාටි නමැති ලෙබනනයේ ධනවත්ම මිනිසා අගමැතිවරයා වශයෙන් පත් කර තිබේ.

නව කැබිනට් මණ්ඩලය ද මෙයට සමගාමීව පත් කෙරිණි.

විචාරකයන්ට අනුව, පුරා වසරකට අධික කාලයක් පැවති දේශපාලන අංශභාග තත්වය, මේ අනුව නිමාවනු ඇති.

නව ආණ්ඩුව පත් වන්නේ ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ලෙබනනනය මතභේදාත්මක ගැටළු ගණනාවකට මුහුණ දී සිටියදී ය. මුදල් ඒකකයේ අගය කඩා වැටීම, විරැකියාව සහ අති ඉහළ උද්ධමනය, විදුලිය, ඉන්ධන හා ඖෂධ හිඟය වැනි ගැටලු ගණනාවක් මේ වන විට ඇති ව තිබේ.

පූර්ණ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමින් ලෙබනන් ජාතිකයන් පුරා වසර දෙකකට අධික කාලයක් උද්ඝෝෂණ කරමින් සිටියහ. අවසානයේ 2020 අගෝස්තු 4 වැනිදා බීරූට් තොටුපොළේ දැවැන්ත බෝම්බ පිපිරුමක් සිදුවී දින කිහිපයකට පසුව ලෙබනන් අගමැති හසොන් දායිබ් ඉල්ලා අස්විය. ඇමෝනියම් නයිට්‍රේට් ගබඩාවක් පුපුරා යාම නිසා මෙම අනතුරේදී පුද්ගලයන් 203 දෙනෙක් මරණයට පත් වූ අතර, සිදුවූ හානිය ඩොලර් බිලියන ගණනකි. මෙවැනි ඇමෝනියම් නයිට්‍රේට් ගබඩාවක් ලෙබනන් වරායේ තිබෙන බව බලධාරීන් නොදැන සිටි බවට ද වාර්තා විය.

කෙසේ නමුත් වසර 2 ක් තිස්සේ අපේක්ෂා කළ වෙනස, ලෙබනනයේ නව ආණ්ඩුවෙන් ද ලැබෙනු ඇතැයි සිතීම ප්‍රායෝගිකව දුෂ්කර ය.

නව අගමැති නජීබ් මිකාටි, මීට පෙර ද 1998 සිට 2003 අතර කාලය තුළ දෙවරක් ලෙබනනයේ ඇමති ධුර හොබවා තිබේ. ටෙලිකොම් ව්‍යාපාර ගණනාවක හිමිකරු වන ඔහු, ලෙබනනයේ පමණක් නොව සිරියාවේ ද ටෙලිකොම් ව්‍යාපෘති සිදුකර තිබේ.

ප්‍රධාන ඡායාරූපය – REUTERS



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි