×

හොංකොං හි ලෙනන් බිත්ති සටහන් ගලවලා! අර්බුදය උත්සන්න වන ලකුණු!!

බීජිං-හිතවාදී කණ්ඩායම් විසින් හොංකොං හි ලෙනන් බිත්ති සටහන් ඉරා දමනු දක්නට ලැබිණි.


හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කරගැනීමේ අරගලය හමුවේ නිර්මාණය කර තිබූ විචිත්‍රවත් ලෙනන් බිත්ති සටහන් ගලවා දමන පිරිසක් පිළිබඳ වාර්තා වේ. 

චීන-හිතවාදී පුද්ගල කණ්ඩායම් විසින් අද (21) දින හොංකොං හි ලෙනන් බිත්ති වලට හානි පමුණුවන අන්දම සටහන් වී තිබිණි. මෙමඟින් පසුගිය මාස ගණානාවක පටන් හටගෙන තිබූ හොංකොං-බීජිං අර්බුදය තවත් උත්සන්න වී ඇති බවට වාර්තා වේ. 

චීනයේ ක්‍රියාකලාපය මත හොංකොංහි මතුව ඇති ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදය හමුවේ විරෝධතාකරුවන් විසින් මෙම ලෙනන් බිත්තිය යොදාගනු ලැබුවේ මහජන ප්‍රදර්ශනය සඳහා විචිත්‍රවත් අන්දමින් විවිධ පණිවුඩ සටහන් ඇලවීම පිණිස ය. කෙසේ වෙතත් අද දින උදෑසන වන විට හොංකොංහි ආසියානු මූල්‍ය මධ්‍යස්ථානය හරහා, බස් නැවතුම් පොළවල් සහ සාප්පු මධ්‍යස්ථානවල, අඩි පාලම් සහ පදික වේදිකා දක්වා දිවෙන මෙම විචිත්‍රවත් විරෝධතා සටහන් බීජිං-හිතවාදී කණ්ඩායම් විසින් ඉරා දමා විනාශ කර දමන අන්දම දක්නට ලැබිණි. 

1980 දශකයේ හටගත් කොමියුනිස්ට් පාලන තන්ත්‍රය හමුවේ ජනතාවගේ දුක්ගැනවිලි හා සුප්‍රසිද්ධ බීට්ල්ස් සංගීත කණ්ඩායමේ සාමාජික ජෝන් ලෙනන් ගේ පදරචන වලින් මෙම බිත්තිය සැරසූ නිසා ලෙනන් බිත්තිය යන නාමය පටබැඳිණි.

ආන්දෝලනාත්මක උත්දර්පණ පනත හමුවේ හොංකොං ප්‍රදේශවාසීන් නඩු සඳහා චීනයට පිටත් කිරීමට එරෙහිව පසුගිය ජූනි මස පටන් හොංකොං හි ලක්ෂ සංඛ්‍යාත ජනයා වීදි බැස විරෝධතා වල නිරත විය. එතැන් පටන් ජාත්‍යන්තර සහය පතන මට්ටම දක්වා මෙම විරෝධතා උත්සන්න වී තිබිණි. 

බීජිං ව්‍යවස්ථාදායක ජුනියස් හෝ විසින් තම සගයන් හට මෙම ලෙනන් බිත්ති සටහන් ඉවත් කර දමන ලෙසට උපදෙස් ලබා දුන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත්, ජූනියස් හෝ තම නිල ෆේස්බුක් පිටුවේ පසුගිය සිකුරාදා (20) දින ප්‍රකාශ කර සිටියේ හොංකොං හි සාමය, ආරක්ෂාව හා පවිත්‍රතාවය රැක ගැනීමට වීදි පිරිසිදු කරනා බවත්, එහෙත් ලෙනන් සටහන් ඉවත් නොකරනා බවත් ය. 

මීට අමතරව, පසුගිය දිනක හොංකොං හි මොනොරේල් දුම්රියපළවල් (MRT) වලට ද අලාභ හානි පමුණුවා තිබෙන අයුරු දක්නට ලැබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි