×

ටයිටැනික් නළුවාගේ අසිරිමත් දූපත

සුප්‍රසිද්ධ ටයිටැනික් නළුවා, ලෙනාඩෝ ඩිකැප්රියෝ, පරිසරයට බෙහෙවින් ආදරය කරන්නෙකි. එසේම පාරිසරික වෙනස්කම්වලට එරෙහිව ප්‍රබල හඬක් නගන්නෙකි.


ඔහු තමන් විසින් මිලදී ගත් දූපතක් මේ වන විට සම්පූර්ණයෙන්ම වෙන් කර තිබෙන්නේ ‘එකෝ ටුවරිසම්‘ හෙවත් පරිසරහිතකාමී සංචාරක කර්මාන්තය වෙනුවෙනි. එමගින් වන ජීවී විවිධත්වය සුරැකෙනු ඇත. මේ මිහිතලයේ ආයුකාලය අවම වශයෙන් තවත් එක දවසක් හෝ දීර්ඝ වනු ඇත.

මිනිසෙකුට ප්‍රසිද්ධියේ හිණිපෙත්තට පත් වූ පසුව ඕනෑම මගක් තෝරාගත හැකිය. එක්කෝ ඔහුට සුව පහසු ජීවිතයක් තෝරාගත හැකිය. එසේත් නැතිනම්, හඬ නගා කතා කරමින් මිනිසුන්ගේ දෑස් පාදා දිය හැකිය. ධනය, බලය, ජනප්‍රියත්වය, සැප පහසුකම් යනාදී බොහෝ මිනිසුන් සිහින දකින මේ සියල්ලම හිමි ලෙනාඩෝ ඩිකැප්රියෝ ඒ අතරින් තෝරාගත්තේ අසීරු මාර්ගයයි. ඔහු නැෂනල් ජියෝග්‍රැෆික් නාලිකාව සඳහා “Before the Flood,” නමැති වාර්තා වැඩසටහන ඉදිරිපත් කළේය. එය සම්පූර්ණයෙන්ම දේශගුණික වෙනස්කම් ගැන ය. පාරිසරික ප්‍රශ්න ගැන ඉතිහාසයේ වැඩිපුරම සංවේදී වූ ඇමරිකානු ජනපතිවරයා වූ බරාක් ඔබාමා ව ඔහු සම්මුඛ සාකච්ඡාවලට බඳුන් කළේය. දැන් ඔහු පුද්ගලික මට්ටමෙන් තමන්ට කළ හැකි දෙය කරමින් සිටියි. ඔහු, තමන් විසින් කලකට ඉහතදී මිලදී ගෙන තිබූ දූපතක්, සම්පූර්ණයෙන්ම පරිසරයට උවමනා පරිදි වැඩෙන්නට ඉඩ සලසා දෙන්නේ ඒ අනුව ය.

මේ දූපත පිහිටා තිබෙන්නේ බෙලයිස් රාජ්‍යයේ මායිමේ ය. එය ඩිකැප්රියෝ විසින් මිලදී ගත්තේ මෙයට වසර 10කට පෙර ය. ඒ කාලයේ එහි මිල ඇමරිකානු ඩොලර් මිලියන 1.75 ක් විය. බ්ලැක්නාඩෝර් කායේ රිසෝට් (Blacnadore Caye Resort) යනුවෙන් අති සුඛෝපභෝගී හෝටලයක් එහි ඔහු විසින් ඉදි කර තිබේ. එය 2018 වසර අග භාගය වන තෙක්ම ඔහු අමුත්තන් සඳහා එය විවෘත කළේ නැත.

දැන් එහි විස්තර මදින් මද හෙළි වෙමින් තිබේ. එහි බංගලා 36 ක් තිබේ. නිවාස ද 36 ක් තිබේ. ඒවා 100%ක්ම බලශක්තිය ලබන්නේ පුනර්ජනනීය බලශක්තිය මගිනි. එම බංගලා සහ නිවාස, කොරල් පර මතින් මුහුද වෙත විහිදී තිබේ.

මුළු නිකේතනයටම අවශ්‍ය විදුලි බලය සූර්ය පැනල මගින් ලබාගනියි. වැසි ජලය පවා දූපතේම ඵලදායී ලෙස එක්රැස් කෙරේ.

දූපතේ ස්වභාවිකව වැවෙන පැළෑටි, මල් වර්ග යනාදිය ඩිකැප්රියෝ එලෙසින්ම තබන්නට නියෝග කර ඇත. ආක්‍රමණශීලී පැළෑටි වර්ග පමණක් ඒ අනුව එම ස්ථානයෙන් ඉවත් කර තිබේ. එම ආක්‍රමණශීලී වල් පැළෑටි වෙනුවට එහි ඉන්දවා තිබෙන්නේ දූපතට ආවේණික ශාක වර්ග ය. දූපත වටා ඇති කොරල්පරය ආරක්ෂා කිරීමට ද කැප්රියෝ විශේෂ වෙහෙසක් ගනියි.

මෙම දූපතෙන් භාගයක්ම වෙන් වී තිබෙන්නේ වන ජීවීන් සඳහා ය. විද්‍යාඥයන් සඳහා වෙන් වූ පර්යේෂණ බිම් කඩක් ද එහි වෙනම පිහිටා තිබේ. එහි සිට ඔවුන්ට සිය පාරිසරික පර්යේෂණවල නියැළෙන්නට පුළුවන.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි