×

රිය අනතුරක් හොලිවුඩයේ ‘අහිංසක’ ප්‍රහසන ශිල්පියා ලෙස්ලි ජෝර්ඩන් ට මරු කැඳවයි!

ඔහුගෙන් තොර හොලිවුඩයේ ප්‍රහසන වේදිකාව කිසිදාක යළි යථා නොවනු ඇත..


හොලිවුඩයේ ප්‍රහසන ශිල්පීන් අතර කැපී පෙනෙන චරිතයක් මෙන්ම තමාට ආවේණික ප්‍රහසන කලාවක් හෙබවූ රංගධරයකු, ලේඛකයකු මෙන්ම ගායන ශිල්පියකු වන ලෙස්ලි ජෝර්ඩන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා ගේ මරණය ඊයේ (24) දින ඔහුගේ නියෝජිත විසින් තහවුරු කර තිබේ.

මිය යන විට 67 වන වියේ පසුවූ ඒ මහතා ගේ මරණය ස්වභාවික මරණයක් නොවන බවටයි වාර්තා වන්නේ. ඊයේ දින ලොස් ඇන්ජලිස් හි සිදුවූ මෝටර් රථ අනතුරකින් හෙතෙම ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු විසින් රංගන දායකත්වය සපයන කෝල් මී කැට් (Call Me Kat) කතාමාලාවේ රූගත කිරීම් සිදුකරන වෝර්නර් බ්‍රදර්ස් ස්ටුඩියෝ වෙත යමින් සිටියදී මෙම හදිසි අනතුර සිදුවූ බවයි ඔහුගේ නියෝජිත ඩොන් ලික්ලෙයර් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

ජෝර්ඩන් මහතා ගේ මෝටර් රථය ධාවනය වෙමින් තිබිය දී මාවතේ පැත්තක තිබූ ගොඩනැඟිල්ලකට කඩාගෙන ගොස් ඇති අතර, එම ස්ථානයේදීම ඒ මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

කෙසේවෙතත්, එම අනතුර නිසාම ඔහුගේ ජීවිතය අහිමි වූවා ද, නැතහොත් ඔහු පසුවූ සෞඛ්‍ය තත්ත්වයක් මත අනතුර නිසා එය උත්සන්න වී ජීවිතක්ෂයට පත්වූවා ද යන්න මෙතෙක් තහවුරු කර නැත.

ජෝර්ඩන් මහතා ගේ හදිසි අභාවය හොලිවුඩය කැළඹීමට සමත්ව ඇති අතර, ඔහුගෙන් තොර ලෝකය අඳුරු ස්ථානයක් බවට පත්වූ බව ඒ මහතා ගේ ප්‍රකාශකවරයා පවසා ඇත.

ජෝර්ඩන් මහතා සිය ප්‍රහසන ශිල්පය විදහා පෙන්වූයේ හුදෙක්ම තම මන්දගාමී කතා විලාශය, කථනයේදී ඉදිරිපත් කරන කරුණු සහ එම කථනය ඉදිරිපත් කරන භාව ප්‍රකාශයන් ඔස්සේ ය. තම රංගන ජීවිතය තුළ නියෝජනය කළ චරිත වල බොහෝ විට අහිංසක ප්‍රහසනවේදියකුගේ – එනම් අහිංසක ප්‍රකාශ තුළින් හාස්‍යය ඉස්මතු කරන – භූමිකාවක් ඔහු නියෝජනය කළේය. අංග චලන හා සම්බන්ධ වන ස්ලැප්ස්ටික් කොමඩි (Slapstick Comedy) මාදිලියටත් වඩා ඔහුගේ ප්‍රහසන ශිල්පය බොහෝ විට සරියල් හියුමර් (Surreal Humour), ට්‍රැජික් කොමඩි (Tragicomedy) සහ ඔබ්සර්වේෂනල් හියුමර් (Observational Humour) මාදිලි ගත්තේ ය.

හාර්ට්ස් අෆයර්, ද කූල් කිඩ්ස්, ඇමරිකන් හොරර් ස්ටෝරි, කෝල් මී කැට් වැනි එක්සත් ජනපදයේ ටෙලිනාට්‍ය මාලා රැසකට රංගනයෙන් දායක වූ ලෙස්ලි ජෝර්ඩන් මහතා වඩාත්ම ජනප්‍රියත්වය ඉසිලුවේ ලෝක පූජිත ප්‍රහසන ටෙලිනාට්‍ය මාලාවක් වන විල් ඇන්ඩ් ග්‍රේස් හි බෙවර්ලි ලෙස්ලි ලෙස පෙනී සිටීම නිසාය. විල් ඇන්ඩ් ග්‍රේස් හි ආරාධිත රංගනයෙන් දායක වීම මත ඒ මහතා ට ප්‍රහසන කතාමාලාවක හොඳම ආරාධිත රංගධරයාට හිමි ප්‍රයිම්ටයිම් එමී සම්මානය (Primetime Emmy Award for Outstanding Guest Actor in a Comedy Series) ද හිමි විය.

ජොර්ඩන් මහතා ගේ අභාවය හොලිවුඩයට පමණක් නොව එක්සත් ජනපදයේ මෙන්ම ඔහුට ආදරය කළ ලොව පුරා LGBTIQ+ ප්‍රජාවගේ ද දැඩි කම්පනයට හේතුවී තිබේ. විවෘත සමරිසි පුද්ගලයකු වූ ලෙස්ලි ජෝර්ඩන් මහතා තම වෘත්තියට අමතරව මානව හිමිකම් ක්‍රියාධරයකු වශයෙන් ද යම් භූමිකාවක් ඉටු කිරීමට සමත් වූ පුද්ගලයෙකි.  

1955 වර්ෂයේදී ටෙනසි ප්‍රාන්තයේ චැටනූගා හි උපත ලද ලෙස්ලි ජෝර්ඩන් මහතා තමා සමරිසි බව පළමු වරට ඔහුගේ මවට හෙළිදරව් කරන විට යම්තම් වයස 12 කි.

ඡායාරූප: GETTY IMAGES



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි