×

මම ඔබට දේදුන්නක් තනන්නම්

“මේ වේදනාවෙන් මාව මැරෙයිද අම්මා...?”


ආපසු හැරී බලන විට වෛද්‍යවරුන් මට ද පුතුට මෙන්ම මරණ සහතිකයක් ලිවිය යුතු ව තිබිණැයි මට නිතර සිතේ. පුතා මියැදෙන විට මගේ ජීවිතයේ කොටසක් ද මිය ගියේය.

ඇන්ඩි දොළොස් හැවිරිදි වූවා පමණි. තුන් වසරක් මුළුල්ලේ ඔහු පිළිකාව සමග සටන් කර තිබිණි. විකිරණ ප්‍රතිකාර සහ කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා ද ඔහු ලක්කර තිබූ අතර මරණය අද්දරට ම ගොස් ආපසු පැමිණ තිබිණි. ඔහුගේ දරාගැනීමේ හැකියාව ගැන වරක් නොව කිහිප වරක්ම මම පුදුම වීමි. පිළිකාව විසින් සමතලාකර දමනු ලැබූ සෑම විටෙකම ඔහු නැවත නැගිට්ටේ ය. ඇන්ඩිගේ අනාගතය පිළිබඳ මගේ ම වූ ආකල්පය හැඩගැන්වූයේ ජීවිතය විසින් හෝ මරණය විසින් විය හැකිය. නොඑසේ නම් මරණයට පත්වීමේ සම්භාවිතාවයට මුහුණ දීම ට මා බිය වූවාවිය හැකිය. මූලය කුමක් වුවත් ඇන්ඩි එය ට සමත්වී යැයි මම සිතමි. මරණයට පහර දුන් දරුවෙකි, ඔහු.

ගිම්හාන තුනකදී ඇන්ඩි පිළිකාව වැළඳුණු දරුවන් සඳහා වන කඳවුරට ගොස් තිබිණි. ඔහු එයට ආශා කළ අතර රෝහල් හා රෝගය අමතක කර නැවත ළමයෙකු බවට පත්වීමට එම සතියක කාලය තුළ ඔහුට හැකි විය. මෙවැනි කඳවුරකින් පැමිණි දිනයට පසු දිනයේ ඔහු සුපුරුදු වෛද්‍ය පරීක්ෂාවන් ට ලක්වීම පිණිස ගියේය. ප්‍රවෘත්තිය නරක එකක් විය. අපේ නිවසේ සිට සැතපුම් තුන්සියයක් බැහැර රෝහලකදී වෛද්‍යවරුන් ඔහුට ඇටමිදුලු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් ලැහැස්ති කර තිබිණි. ඊළඟ දිනයේ සූට්කේසයකට අවශ්‍ය දේ දමාගත් අපි එම රෝහල වෙත ගියෙමු.

මාගේ සූට්කේසය ට මා දමාගත් එකම දේ වී තිබුණේ කඳවුරේ සිට පැමිණෙන විට ඇන්ඩි මා වෙත ගෙනැවිත් තිබූ ත්‍යාගයයි. එය ජනේලයට සවිකළ හැකි ආකාරයේ චූෂකයක් ද සහිත ප්ලාස්ටික් දේදුන්නක් වැනි සූර්යාලෝක උගුලකි. බොහෝ මව්වරුන් මෙන්ම මා ද මගේ දරුවාගෙන් ලද කුඩා ත්‍යාගයක් වුවත් නිධානයක් සේ සැලකූ අතර එය මා සමග ම තබාගන්නට මට උවමනා විය.

අපි රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර පටන් ගතිමු. මෙය මපුතු හට ලැබෙන අවසන් අවස්ථාව යැයි වෙද්‍යරවරු කීහ. අපි සති හතක් එහිගත කළෙමු. එය ඇන්ඩිගේ ද ජීවිතයේ අවසන් සති හත බවට පත් ව තිබිණි.

වරක් හැර කිසිවිටෙක අපි මරණය ගැන කතා නොකළෙමු. ඇන්ඩි බිඳී ගොස් සිටි අතර තමාට සයලු දේ අහිමි වීමට යන බව ඔහුට හැඟුණා විය හැකිය. මා එයට සාක්ෂිකාරියක කර ගැනීමට ඔහු උත්සාහ කළ සේ ය. නිතරලක්වූ අසීරුතම ප්‍රතිකාරයන් ට පසුව දුර්වල ව හැඬෙන සුලු කටහඬකින් ඔහු මවෙතට හැරී මෙසේ අසයි. “මේ වේදනාවෙන් මාව මැරෙයිද අම්මා…?”

මම කම්පිත වීමි. නමුත් සත්‍යවාදී ව පිළිතුරු දුනිමි. “මං දන්නෙ නෑ. ඒත් මම කැමති නෑ මරණය ගැන කතා කරන්න. මොකද ඔයා මැරෙන්න යනව නෙවෙයි ඇන්ඩි.”

ඔහු මාගේ අතකින් අල්ලා ගත්තේය. “දැන්ම නෙවෙයි. ඒත් මට හරි ම මහන්සියි අම්මා…”

” “ අම්මා.. මට සනීප වුණු ගමන් මම ඔයාට අමතක කරන්න බැරි තරම් ලස්සන දේදුන්නක් හදල පෙන්නන්නම්.”

ඔහු කියන්නේ කුමක්දැයි මම දැනගතිමි. නමුත් ඒ ගැන නොසිතා සිටීමට මම බොහෝ සෙයින් වෑයම් කළෙමි. ඇන්ඩි නිදා සිටිනා ආකාරය දෙස බලමින් මම බොහෝවේලා ගත කළෙමි. විටෙක මා තෑගි සාප්පුව වෙත යන්නේ සුබපැතුම් පත් හා සටහන් කොළ මිලදී ගැනීමට ය. මට තිබුණේ යන්තම් ජීවත්වීම පිණිස මුදල් ඉතා ස්වල්පයක් පමණි. අපේ තත්වය හොඳින් දැන සිටි හෙදියෝ ඇන්ඩි වෙනුවෙන් ඇණවුම් කළ ආහාර වේලේ ඉතිරිය මා බුදිනු දුටු විට නොදුටු දෑසින් සිටියෝය. සුබපැතුම් පත් සඳහා මුදලක් ඉතිරි කර ගැනීමට මා හැමවිටෙකම උත්සාහ කළේ ඇන්ඩි ට තැපෑලෙන් ලිපි ලැබීමක් සිදුනොවූ තරම් නිසා ය.

ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම අතිශයින් ම භාරදූර එකක් විය. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතා දුර්වල වූයෙන් ඇන්ඩි හට අමුත්තන් මුණ ගැසිය නොහැකි විය. ඔහු එයින් අන් කවරදාටත් වඩා හුදෙකලා වූ බ ව මට කිව හැකිය. ඔහු ට යම් සතුටක් ගෙන දීම සඳහා මම අමුත්තන්ගේ කාමරය වෙත ගොස් මෙසේ ඇසීමට පටන් ගතිමි. “මගෙ පුතාට කාඞ්එකක් යවන්න කැමතියිද?” ඉන්පසු පුතුගේ තත්වය විස්තර කර දෙන මම ඔවුන්ට කාඞ්පතක් හෝ කොළ කැබැල්ලක් දෙමි. මුහුණේ ඇඳෙන විමතිය සහිත ව ඔවුහු එය ඉටු කරති. කිසිවෙක් එසේ කිරීම ප්‍රතික්ෂේප නොකළහ. මා දෙස බලන එක් බැල්මකින් ඔවුහු වේදනාබරිත මවක දුටුවහ.

තමන්ගේ ම දෝමනස්සයන් සමග කටයුතු කරමින් සිටි මේ කරුණාවන්ත මිනිසුන් හට ඇන්ඩි වෙත ලිවීමට වේලාවක් තිබීම ගැන මම පුදුම වීමි. ඇතැම්හු ‘ඉක්මනට සනීප වෙන්න’ යැයි සරල ලෙස ලියා අත්සන් කළහ. ඇතැම්හු සැබෑවට ම ලිපි ලියූහ. “හායි.. මම ඉන්නෙ ඉඩාහෝ වල. ආච්චි අම්මව බලන්න ආවා…” ඉන්පසු පිටුවක් හෝ දෙකක් කතාව ලියනා ඔවුන් එය අවසන් කරන්නේ සුවපත් වූ පසු තමන් ව බැලීමට එන්නැයි ඇන්ඩි හට ඇරයුම් කරමිනි. වරක් එක් කාන්තාවක් මා හිඳවාගෙන මෙසේ ඇසුවාය. “සති දෙකකට කලින් තව ලියුමක් එවන්න කියල ඔබේ පුතා මට කිව්වා. මම එයාට ආයෙත් ලිව්වට කමක් නැතිද? මම ඒ සියලු ලිපි තැපැල් කළෙමි. ඔහුට ඒවා ලැබුණු විට ඔහු ඒවා කියවන ආකාරය දැක සතුටු වීමි. මියෙන දිනය වන තෙක් ම ඇන්ඩි ට තැපෑලෙන් නොකඩවා ලිපි ලැබුණේය.

දිනක් කාඞ්පත් මිලදී ගැනීම සඳහා සාප්පුවක් වෙත ගිය මම දේදුණු ප්‍රිස්මයක් විකිණීමට තිබෙන ආකාරය දුටුවෙමි. ඇන්ඩි මට තෑගි කළ දේදුණු හැඩයේ සූර්ය උගුල සිහි වූයෙන් මම එය ඔහු ට දීම පිණිස මා සතු සියලු මුදල් වැය කර මිලදී ගතිමි.

එය ඔහුට පෙන්වීම සඳහා දුවයන විට හිස එසවීම ට පවා නොහැකි පරිදි ඔහු දුර්වල වී සිටියේය. කාමරයේ තිර රෙදි වසා තිබුණ ද සයනය හරහා සූර්ය රශ්මි ධාරාවක් පතිත ව තිබුණේ ය. මම ප්‍රිස්මය ඔහු අත තබා මෙසේ කීවෙමි. “ඇන්ඩි මට දේදුන්නක් හදල පෙන්නන්න.” නමුත් ඇන්ඩි ට එය කළ නොහැකි විය. ප්‍රිස්මය අල්ලාගත නොහැකි තරමට ඔහු දුර්වල තත්වයක පසුවිය.

ඔහු මවෙත මුහුණ හරවා මෙසේ කීය. “ අම්මා.. මට සනීප වුණු ගමන් මම ඔයාට අමතක කරන්න බැරි තරම් ලස්සන දේදුන්නක් හදල පෙන්නන්නම්.”

එය ඇන්ඩි මා හට අවසන් වශයෙන් කී වදන්වලින් එකකි. පැය කිහිපයකට පසු ඔහු නින්දට ගිය අතර රාත්‍රියේදී කෝමා තත්වයට පත්විය. මා ඔහු ව සම්බාහනය කරමින් ඔහු ට කතා කරමින් සහ තැපෑලෙන් ඔහුට ලැබුණු ලිපි කියවමින් කල් ගෙවන අතර ඔහු නැවතත් දෑස් හැරියේය. කාමරයේ එකම හඬ වූයේ ඔහුගේ සයනය වටා වූ ජීවිතාරක්ෂක යන්ත්‍රවලින් නැගුණු හඬයි. ඔහුගේ මුහුණේ මරණය ඇඳී තිබුණ ද අවසන් මොහොතේ හෝ ඔහු බේරෙතැයි ද ප්‍රාතිහාර්යයක් සිදුවනු ඇතැයි ද බලාපොරොත්තුවක් මසිතෙහි විය.

දින පහකට පසු ඔහුගේ මොළයේ ක්‍රියාකාරිත්වය නතර වී ඇතැයි ද ජීවිතාරක්ෂක යන්ත්‍ර විසන්ධි කළ යුතු ව ඇතැයි ද වෛද්‍යවරු මට කීහ.
මට ඔහු ව වඩා ගත හැකිදැයි මම වෛද්‍යවරුන්ගෙන් ඇසුවෙමි. අළුණැල්ල පහව යාමට ආසන්න ව තිබියදී ඔවුහු කාමරයට පැද්දෙන පුටුවක් ගෙනැවිත් දුන්හ. මා එහි වාඩිගත් පසු ඔවුහු යන්ත්‍රය අක්‍රිය කර මපුතු ව මාගේ දෑත් අතරට ගැනීම සඳහා සයනයෙන් එසවූහ. එවිට ඔහුගේ පාදයක් අප්‍රාණික ව වැනුණු අතර එහි වැදී මා ගෙන ආ ප්‍රිස්මය සයනය මත ට විසි වී ගියේය.

‘අනේ… තිර රෙදි අරින්න.. ” මම මුර ගෑවෙමි. “මේ කාමරේ සම්පූර්ණයෙන් ම ඉර එළියෙන් පිරෙන්න ඕනෙ.”

හෙදියක් තිර රෙදි ඇරීම පිණිස යුහසුළු ව කවුළුව වෙත දිව ගියාය.

එවිට මා දුටුවේ දේදුණු හැඩයේ සූර්යාලෝක උගුලක් සවි කර ඇති ආකාරයයි. නිසැකව ම එය කරන්නට ඇත්තේ මීට පෙර මේ කාමරයේ සිටි පුතෙකු විසිනි. මම පුදුමයෙන් හුස්ම ගතිමි. ඊළඟට මුළු කාමරය ම ආලෝකයෙන් පිරී ගියේය. සයනය පසෙක තිබූ ප්‍රිස්මය ට ද එම සූර්යාලෝකය වැදිණි. සියල්ලෝ ම තමා කරමින් සිටි දේ නිහඬ ව නරත කර බලා සිටියහ.

කාමරය පරාවර්තිත වර්ණයන්ගෙන් පිරී ගියේය. බිත්ති මත-සිවිලිම මත සහ මගේ දෑත් අතර වැතිර ගත් ඇන්ඩි ගේ මුහුණ මත ආදී වූ මුළු මහත් කාමරය පුරා ම දුසිම් ගණන් දේදුණු මැවිණි.

කිසිවෙකු හට කතා කරගත නොහැකි විය. මම පුතු දෙස බැලීමි. ඔහු හුස්ම ගැනීම නතර කළේය. යන්නට ගියේය. නමුත් ඒ ප්‍රථම දොම්නස් සහගත කම්පනයේදී මට යම්කිසි පහසුවක් දැනුණේය. මට පොරොන්දු වූ දේදුන්න-මට කිසිදා අමතක නොවන දේදුන්න ඇන්ඩි විසින් මවා තිබිණි.

– ලින්ඩා බ්‍රිම්නර්
* ලින්ඩා බ්‍රිම්නර් අද මිත්තණියකි. වයස අවුරුදු පණස් පහේදී කඩදාසිවලින් සැරසිලි කරන කලා සමාජයක් සමග එක්වූ ඈ තිස්පස් වසරකට අධික කාලයක් එය ප්‍රගුණ කරමින් ලව් ලෙටර්ස් නමැති සමාගමේ විධායක අධ්‍යක්ෂවරිය බවට පත්වූවාය. ඇය අද ප්‍රකෘතිමත් ජීවිතය පිළිබඳ දේශකවරියක් ද වන්නීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි