×

මගේ ග්ලැඩියෝලා මල් කළඹ

සියලු පූර්ව නිගමන ප්‍රේමයේ දෑස් අබියස එක් නිමේෂයකදී හරසුන් විය හැකිය.


එය සඳුදා දිනයකි. කාර්යාලය පිහිටා තිබෙන්නේ ද මගේ නිවස අසලම ය. එහි පැවැති රැස්වීමකින් පසුව නගරයක ජීවත්වීමේ උඩඟු වාසනාවන්ගෙන් එකක් අත්හදා බැලීමට මම තීරණය කළෙමි. දිවා ආහාරය සඳහා අනපේක්ෂිත ව නිවසට යාමට සිතීමි.

මගේ නිවස වෙත එන පාරට රථය හරවත් ම මට කල්පනා වූයේ ඒ සතිඅන්තයේ අප සුපුරුදු පරිදි යෙදෙන ග්‍රොසරි සවාරිය මෙවර මට අතපසු වූ බවයි. එනිසා මෝඩයෙකු මෙන් දවල් කෑමට නිවසට යනු වෙනුවට මුලින් එහි යායුතු බව මට සිතිණි. ග්‍රොසරිය වෙත වහාම රිය පැදවීමි. රථ ගාලේදී මට පෙනුණේ පළමු ප්‍රවේශමාර්ගයේ ඒ සඳහා ඉඩක් නැති බවයි. වහාම ඊළඟ ප්‍රවේශමාර්ගය වෙත රථය ගෙන ගිය විට පෙනුණේ මෝටර් රථ දෙකක් අතර එක් රියකට සෑහෙන ඉඩක් යන්තමින් ඉතිරි වී තිබෙන බවයි. මම ඒ ඉඩෙහි හුරු බුහුටි ලෙස රිය ගාල් කළෙමි. මා දක්ෂයෙකු බව ට ස්වයං තෘප්තිමත් ව හඟිමින් තිරිංග තද කර, මෝටරය ක්‍රියා විරහිත කර, එයින් පිටතට පැන ග්‍රොසරිය වෙත ගියෙමි.

මා ඒ මෝටර් රථය දුටුවේ එවිට ය.

මගේ අවසාන පෙම්වතිය සමග අටමස් ප්‍රේමයකින් වෙළී සිට, “හැම දේම ඉවරයි” යැයි ඇය අනුකම්පා විරහිත ව කියා දස දිනකින් පසුව මේ ආකාරයට ඇය ව හමුවීමට මම මේ ආත්මයේ කිසිදිනෙක නොපැතුවෙමි. නමුත් දැන් මට සිදුව තිබෙන්නේ කුමක්ද? මෝඩයෙකු සේ කෙළින්ම ඇගේ මෝටර් රිය වෙත මම දැන් ඇවිද යමින් සිටින්නෙමි.

සෑම සබඳතාවයකටම රිද්මයක් තිබේ. අපටද එසේමය. පුරා සති අන්තයම එකිනෙකා සමග ගතකිරීමෙන් පසුව යම්කිසි හේතුවක් නිසා අපට සඳුදා දිනවලදී ද එකිනෙකා නොදැක සිටීම අපහසු විය. මුල්ම හමුවීමෙන් සති දෙකකට පසුව මා මුල්ම වරට ඇගේ නිවසට ගියේද සඳුදා දිනයක ය. එදා රෑ කෑම සඳහා එහි යන අතරතුර මම පැහැබර ග්ලැඩියෝලා මල් කළඹක් ද ඇය වෙනුවෙන් මිලදී ගතිමි. එකල ජීවිතය ඉතා සුන්දර විය. මනා ලෙස සැහැල්ලු විය. විශේෂ සතුටකින් යුතු විය. එදා මා ග්ලැඩියෝලා මල් ගෙන ගියේ ඒවා ඇගේ ප්‍රියතම මල් බව දැනගෙන නොවේ. නමුත් එකල මම වාසනාවන්ත පෙම්වතෙකු වීමි. කාරණය වූයේ එයයි.

එදා පටන් මම සෑම සඳුදා දිනයකදී ම ඇය හමුවීමට මල් පොකුරක් ද සමග ගියෙමි. ඇතැම් සඳුදා සන්ධ්‍යාවන් හි ඇය ව්‍යායාම පන්ති යොදාගෙන තිබිණි. එවිට මුළුතැන්ගෙට ගොස් ඈ වෙනුවෙන් රාත්‍රී ආහාරය පිළියෙළ කළ මම, කෑම මේසය ද පිළිවෙළ ට සකසා ඈ එනතෙක් දොර අසල රැඳී සිටියෙමි. ඒ හැමවිටෙකම ඈ මගේ ප්‍රේමය නිසා පුදුමයට පත්ව සිටින බව පෙනිණි. ඈ මා අගය කළාය. මදක් වැඩියෙනුත් සෙනෙහස පෑවාය.

දැන් මා ග්‍රොසරියේ විදුලි දොරෙන් ඇතුළු වී වැනෙන සුලු කුඩා කරත්තයක් දැඩිව ග්‍රහණය කරගෙන ඇය හඹා යමින් සිටින්නෙමි. පසුගිය දිනෙක නැරඹූ ගෝස්ට් නමැති හොල්මන් චිත්‍රපටයක් මගේ මනසට නැගෙයි. එහිදී වැන්දඹු තරුණ බිරිඳ ට එයට ටික දිනකට පෙර මියගිය තම සැමියා නොසිතන අවස්ථාවලදී මුහුණට මුහුණ හමුවේ. කෙසේ වෙතත් මා මගේ අවසන් පෙම්වතිය දැන් වැන්දඹුවක ලෙස සලක්නනේ මන්ද යන්න මට ද පැනයකි.

මම දැන් ඇයව සොයමි. නමුත් නොපෙනේ. ඈ ළඟපාතක නැති නම් එහි අදහස ඈ සමීපයට යන තෙක් යම්කිසි නොවරදින සැලසුමක් ගොතා ගත හැකි බවයි. හොඳම දේ කුමක්ද..? මම සිතමි. ඈ කවුන්ටරයට යන තෙක් සිට ඉන්පසුව අනපේක්ෂිත මොහොතක ඈ වෙතට ගොස් ග්‍රොසරියේ කොල්ලන් ඉදිරියේ ඈව ලැජ්ජාව ට පත්කිරීම…?

පළතුරු විකිණීම ට තබාතිබෙන කොටස අසලින් යන විට මා හදිසියේ ම දුටුවේ මා එවේලේ සිටින්නේ ඇය ට කරත්ත දෙකක් පිටුපසින් වන බවයි. සැඟවීම ට හොඳ ම ක්‍රමය, ඇය ට පිටුපසින් සිටින කෙනා ට මුවා වීමයි. එවිට කිසිසේත්ම, මට අවැසි මොහොත වන තෙක් මට ඇය ව නොපෙනේ. එනිසා බ්ලූබෙරි පාර්සල් පසුකරමින් ගොස් දොඩම් යුෂ බෝතල් සමූහයක් ළඟ නතර වීමි. ඈ අද ඩැඩියෝලා මල් මිලදී ගනීවිද? මා මේ සිතන්නේ මොනවාද..?

” ඒ මොහාතේ සැකයක් මසිත වෙළාගත්තේය. මා වියෝව පිළිබඳ තවමත් දුක්වන්නේද? මම සුවපත්වී හිඳින්නෙමියි මෙතෙක් කල් සිතාසිටියෙමි. එය එසේ නම් මා දැන් ඇය ව මෙසේ ලුහුබඳින්නේ ඇයි? ඇය ට රිදවීමට හෝ ඇය ව පිරිසක් ඉදිරියේ ලජ්ජා කිරීමේ පුරාතන පිරිමි ගතිය ප්‍රදර්ශනය කිරීමටද? සෙස්සන්ගේ අපේක්ෂා සමග අපගේ අපේක්ෂා පටලැවුණු විට ජීවිතය අවුල් සහගත වේ. “

ඈ අනපේක්ෂිත ලෙස මා සිටි තැන අසලටම පැමිණියාය. මගේ හද ගැස්ම වේගවත් විය. ඈ තවත් අඩියක් හෝ ඉදිරියට පැමිණියහොත් මගේ සැලසුම අනාථ වේ. ඈ මා පසුකර ඉදිරියට ගියාය. එවිට ඇගේ මුහුණ මම හොඳින් දුටිමි. එහි තැවරී ඇත්තේ කණගාටුවකි. නිරන්තර මෘදු සිනහවකින් සැරසී තිබෙන ඇගේ මුව කතා කිරීමට නොකැමැත්තකින් පාෂාණිභූත වී තිබෙනවා වැනි ය. ඒ මා නැති ශෝකයටදැයි මට සිතේ. ඈ එතැනින් හැරී පාන් මිලදීගන්නා කවුන්ටර වෙත ගියාය.

ඒ මොහාතේ සැකයක් මසිත වෙළාගත්තේය. මා වියෝව පිළිබඳ තවමත් දුක්වන්නේද? මම සුවපත්වී හිඳින්නෙමියි මෙතෙක් කල් සිතාසිටියෙමි. එය එසේ නම් මා දැන් ඇය ව මෙසේ ලුහුබඳින්නේ ඇයි? ඇය ට රිදවීමට හෝ ඇය ව පිරිසක් ඉදිරියේ ලජ්ජා කිරීමේ පුරාතන පිරිමි ගතිය ප්‍රදර්ශනය කිරීමටද? සෙස්සන්ගේ අපේක්ෂා සමග අපගේ අපේක්ෂා පටලැවුණු විට ජීවිතය අවුල් සහගත වේ. සමහර විට මා මේ කරන්නේ මගේ අපේක්ෂාවන් අනෙකාට පෙන්වනු සඳහා ඉඩදී සිටීමක්ද? සමහර විට මා කළ යුතු ව තිබුණේ ඇය මෙහි සිටින බව මා දන්නා නිසා සහ මා මෙහි සිටින බව ඇය නොදන්නා නිසා වෙනත් ග්‍රොසරියක් තෝරාගෙන මගේ පාඩුවේ මට අවැසි දේ මිලදී ගැනීම නොවේද? යටිසිතේ තවමත් පළිගැනීමේ චේතනාව බලපැවැත්වෙන බව මම වටහාගතිමි.

ඉතින් මම සුපුරුදු ග්ලැඩියෝලා මල් කළඹ ගෙන ඇය ඉදිරියේ ප්‍රාදූර්භූත වීමි. සෙලෝෆේන් කවරයෙන් තවමත් ජල බින්දු වෑහෙන තරමට ඒවා නැවුම් ය. “මෙන්න… ඔයා ට මේව අමතක වුණා.. ” මම දෑත් විහිදාගෙන කීවෙමි.

ඇගේ මුහුණේ භීතියක සේයාවක් ඇඳීගිය බව මම දුටිමි. ඊළඟ නිමේෂයේ ඇසි පිය වේදනාවෙන් බර වී නැමුණේය. නමුත් මද සිනාව සපිරි මුහුණ උරහිසක් වෙතට නැඹුරු විය. මම මල් කළඹ ඇගේ සෙසු භාණ්ඩ අතර තබා ඇගේ බඳවටා දෑත් යැවීමි. ඈ මා මත වැගිරුණාය. කිසිදා අමතක නොකළහැකි ඒ මෘදු ස්පර්ශය මට නැවත සුවඳක් සේ දැනෙයි. ඈ කිසිත් නොකීවාය. වදන් අහිමි ව බලාසිටියාය. නැවත මට තුරුලු වූවාය.

-ක්‍රිස් ස්කෝඩර් ගේ අත්දැකීමකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි