×

ඇගේ ඇස් මා ජීවත් කරවයි

ඉතින් ඔහුට ජීවත්වන්නට හේතුවක් තිබේ. ඔහුටත් ජීවිතයක් තිබේ.


එක් සන්ධ්‍යාවක මම කෞතුකාගාරය ට ගියෙමි. මට ඇවැසි ව තිබුණේ මගේ සැමියා ව්‍යාපාරික රැස්වීමක් අවසන් ව පැමිණෙන තෙක් කල්මැරීමයි. සාමාන්‍යයෙන් මම කලාකෘතිවලට දැඩි ව පි‍්‍රය නොකරමි. ඒවා පිළිබඳ යම්කිසි සාමාන්‍ය දැනුමක් මට තිබේ. ලෝක පූජිත කලාකරුවන් ගැන ද යම්තරමක ට දැන සිටිමි. එහෙත් කලාකෘතියක අභ්‍යන්තරය ට කිඳා බැස, එය පූර්ණ වශයෙන් රසවින්දනය කරන්නට මට කිසිදා උනන්දුවක් නැත. එහෙත් එක් දෙයක් නොවළහා කියමි. එය නම්, කලාකෘති නැරඹීම උනන්දු සහගත දෙයක් වන බවයි.

මට ඉදිරියෙන් චිත්‍ර නරඹමින් සිටියේ තරුණ ජෝඩුවකි. ඔවුන්ගේ හැම ඉරියව්වක් ම මට පෙනේ. මා මෙහි පැමිණ සිටින්නේ මූලික වශයෙන්ම අරමුණක් රහිත ව කල් මැරීම ට නිසා ඔවුන් වෙත මගේ අවධානය නිරායාසයෙන් ම යොමු වීම ද සිදුවේ. එහෙත් මා නොවන – ඉතා ආශාවෙන් කෞතුකාගාරය නරඹන කලාකාමියකු ගේ අවධානය වුවත් විගසින් ඔවුන් වෙත හැරවෙනු ඇත. එයට හේතුව නම්, එම තරුණිය හෝ පෙම්වතිය තොරතෝංචියක් නැති ව දොඩවන්නියක වීමයි.

නිසැකව ම දොඩමලු වනවා කියන්නේ මෙය ට විය යුතු ය. ඇය නොකඩවා ම කියමින් සිටියේ, වඩාත් නිවැරදි ව කියනවා නම්, කියවමින් සිටියේ ඒ එක් එක් කලාකෘතියේ ලක්ෂණයන් ය. ඒවා ඇන්දේ කවුද, චිත්‍රයේ තිබෙන විශේෂ ම ලක්ෂණ මොනවාද, එවැනි තවත් චිත්‍ර මෙලොව තිබේද, සහ එවැනි අනුකාරක ඇඳි අයගේ ඉරණම කුමක් වීද? ඇය අනිවාර්යයෙන් ම උසස් පාඨශාලාවේ විෂයයක් ලෙස චිත්‍රකර්මය හදාළ අයකු වියයුතුය. ඇගේ දැනුමට මම ගරු කරමි. අවංකව ම එය නියම කන්කරච්චලයකි. ඇගේ පෙම්වතා මේ කන්කරච්චලය ඉවසා ගෙන ඉන්නේ කෙසේද? ඔහු පුදුම මිනිසකු විය යුතු ය. එහෙත් මා ඔහු විණි නම් මා නම් එක මාසයක ට වඩා මේ කන්කරච්චලය ඉවසන එකක් නැහැ යැයි ද මට සිතෙයි.

ඇත්තෙන්ම විනාඩි කිහිපයක් ඇතුළත මට ඇය අප්‍රසන්න විය. මම ඔවුන් මඟ හැර ඉදිරිය ට ගියෙමි.

කලාගාරයේ කුටි කිහිපයකදී ම මට ඔවුන් දෙපළ හමුවිය. ඒ සෑම අවස්ථාවකදී ම මට ඇගේ කියවීම නොවෙනස් ව සිදුකෙරෙන බව පෙනිණි. “ මහ පුදුම මිනිහෙක්” යැයි මට විටෙක කෝපයක් දැනුණේ ඇගේ පෙම්වතා ගැන ය. ඇත්තෙන්ම ඔහුගේ ඉවසීම පුදුමාකාර ය. ඇය සෑම දෙයක් ම විස්තර කරන තෙක් ඔහු මුවින් නොබැන, උපැස් යුවළ තුළින් බලමින් මඳ සිනහවකින් පසුවෙයි. “ මේ වගේ කෙනෙක් එක්ක කොහොම ඉන්නවද දන්නෙ නෑ.” යැයි ද මට අවංකව ම සිතිණි.

අවසන් වර ට මට ඔවුන් ව මුණ ගැසුණේ කෞතුකාගාරයේ පිට ව යන දොරටුව අසලදී ය. සමරු තෑගි භාණ්ඩ කීපයක් මිලදී ගැනීම පිණිස මා කවුන්ටරය ට යන විට ඔවුහු පිට ව යමින් සිටියහ. එවිට යම් අසාමාන්‍ය දෙයක් මගේ නෙත ගැටිණි.

තරුණයා සිය කබාය ට අත දමා යෂ්ටියක් වැනි යමක් පිටතට ගත්තේය. එය සුදු සැරයටියකි. ඔහ්… ඔහු දෑස් අඳ අයෙකි. ඔහුගේ අසාමාන්‍ය ඉවසීම, ඒකාකාර මඳ සිනහව, ඈ කෙරෙහි පෑ අවධානය සහ ඇගේ තෝරතෝංචියක් නැති කතාව යන සියල්ල මගේ නෙත් ඉදිරිපිට ක්ෂණයකින් ඇඳී මැකී ගියේය. සුදු සැරයටිය පොළොව ට ස්පර්ශ වෙත් ම තරුණයා ගේ අත නිතැතින් ම තරුණියගේ කබා අතක් වෙත ඇදී ගියේය. තරුණිය ද මහත් සෙනෙහසින් එය අල්වා ගත්තීය.

“ හරි නිර්භීත කෙනෙක්” කවුන්ටරයේ සිටි පුද්ගලයා මගේ සිතැඟි වටහාගත් ලෙසින් කීය. ඉක්බිති ඔහු මෙසේ ද කීවේය. “ මං කිව්වේ දෙන්න ගැනම…” ඔහුගේ විස්තරය ට අනුව මේ දෙපළ අඹු සැමියන් ය. තරුණයා යම්කිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෑත භාගයේදී අන්ධ වූවෙකි. සුවපත් වන විට ඔහු තමන් ට ම පොරොන්දුවක් දීගෙන තිබේ. එය නම්, රෝගය ට කිසිම ආකාරයකින් සිය ජීවන රටාවේ වෙනසක් සිදුකිරීම ට ඉඩ නොදෙන බව ය. තරුණිය ද එසේම ය. සිය සැමියා ට අබමල් රේණුවකින් වත් වෙනසක් නොකිරීම ට ඈ ඉටාගෙන සිටියාය. ඔවුන් දෙදෙනා පෙර සේ ම තවමත් මාස කිහිපයක ට වරක් කෞතුකාගාරය නැරඹීම ට පැමිණෙන්නේ එනිසා ය.

“ ඒත් එයා කොහොමද මේ චිත්‍ර බලන්නෙ? “ මම වික්ෂිප්ත ව ඇසුවෙමි.” කිසි දෙයක් පේන්නෙ නැතිව …? “

“ ඔබ ට වැරදුණා… “ එවිට ඔහු කීය. “ ඔහු ට හොඳ ට පේනවා. ඇත්ත ම කියනවා නම්, අපි හැමෝටම වඩා හොඳට පේනවා. ගොඩක් දේවල් පේනවා…”

එය සත්‍යයක් බැව් මට ද හැඟිණි. ඔහු ධෛර්ය දන්නා මිනිසෙකි. ඉවසීම දිනූ මිනිසෙකි. ඔහුට නිසැකව ම බොහෝ දේ පෙනෙයි. අන් කවරදාටත් වඩා තමන් ළඟ දැවටෙමින් කිරිල්ලියක සේ අතොරක් නැති ව කියවන තරුණ බිරිඳගේ නොවෙනස් ආදරය අන් හැමට ම වඩා ඔහු ට පෙනෙයි. ඉතින් ඔහුට ජීවත්වන්නට හේතුවක් තිබේ. ඔහුටත් ජීවිතයක් තිබේ.

“ චිකන් සුප් ඇසුරෙන්ජේන්ක්නැප් ගේ අත්දැකීමකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි