×

මලාලා, ඔබ මෙන් ඔවුන් පින්වන්ත නැත!

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් නොබෙල් සම්මානලාභී මලාලා යූසුෆ්සායි බටහිර ලෝකයෙන් ආයාචනයක් කරයි.


‘‘තලෙයිබාන් පාලනයක් සහිත ඇෆ්ගනිස්ථානයෙන් පළා එන ජනතාව වෙනුවෙන් ඔබේ රටවල දේශසීමා විවෘත කර තබන්න..‘‘

BBC පුවත් සේවය වෙත සිය අදහස් පළ කරමින් ඇය බටහිර ලෝකයෙන් ඉල්ලා සිටියේ ඇෆ්ගන් සරණාගතයන් ට සිය රටවල සරණ ලබාදෙන ලෙස ය. ‘‘හැම රටකටම මේ වෙලාවේ වගකීමක් තියෙනවා‘‘ යැයි ද ඇය කියයි.

යොවුන් දැරියකව සිටියදී මලාලා යූසුෆ්සායි ගේ හිසට වෙඩි තැබුණේ ඇය පාසල් බස්රියේ නැගී සිටියදී ය. එය සිදුකළේ තලෙයිබාන් මූලධර්මවාදීන් විසිනි. ඇය ජීවත් වූ පාකිස්ථාන් පළාත, තලෙයිබාන් පාලනයක් සහිතව පැවතියේ විය.

සිය බ්ලොග් සටහන් ඔස්සේ කාන්තාවගේ අධ්‍යාපන අයිතිය ගැන කුඩා අවධියේ පටන්ම හඬ නැගීම,  2012 වසරේදී, එනම් වයස 15 දී මලාලාට වෙඩි කන්නට හේතුවක් විය.

තලෙයිබාන් මූලධර්මාවදීන්ගේ එක් ප්‍රධානතම මූලධර්මයක් වන්නේ, කාන්තාවන් කිසිම ලෙසකින් ඉගෙන ගත යුතු නැති බවයි.

එසේ ඉගෙන ගැනීම, ඔවුන්ට කුපිත වීමට හේතුවකි.

මෙම මාරක වෙඩි පහරින් කෙසේ හෝ දිවි බේරාගැනීමට ඇය සමත් වූයේ ඇගේ දෙමාපියන් විසින් ඇයව එක්සත් රාජධානිය වෙත ගෙන ආ නිසා ය. පසු කලෙක දැරියන්ගේ සහ කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය ගැන ගෝලීය වශයෙන් හඬ නගන්නියක බවට පත් වූ මලාලා යූසුෆ්සායි, නොබෙල් සාම සම්මානය ද ඒ වෙනුවෙන් දිනා ගත්තාය. එයින් නොනැවතී, ඇය මේ වන විට ඔක්ස්ෆර්ඩ් සරසවියේ අධ්‍යාපනය හදාරන්නීය.

‘‘මම ඇෆ්ගනිස්ථානයේ සිටින කාන්තාවන්, සුළුතරයන් සහ මානව හිමිකම් ක්‍රියාධරයන් පිළිබඳ අතිශය කණස්සල්ලට පත් වී සිටිනවා..‘‘ යැයි ඇය තලෙයිබාන් ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කීවාය.

කාබුල් ගුවන් තොටුපොළෙහි නතර කර තිබූ ඇමරිකානු ගුවන් යානයක ඉන්ධන ටැංකිවලත් එල්ලී සිටි ඇෆ්ගන් වැසියන්, එහිදී මරණයට පත් වන ආකාරය ඊයේ දිනයේදී ලෝකය දුටුවේය. තලෙයිබාන් උණ්ඩයකට ගොදුරු වනවාට වඩා එවැනි මරණයක් සැපදායක යැයි ඔවුන් සිතන්නට ඇත.

මලාලා යුසුෆ්සායි ඊයේ දිනයේ මෙම ඉල්ලීම විශේෂයෙන්ම කළේ ඇමරිකාව, එක්සත් රාජධානිය ඇතුළු බටහිර රටවලිනි. මේ වන විට මෙම රටවල් ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් පාලනයෙන් මුදවා ගැනීමට හමුදාමය මැදිහත්වීමක් කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටියි.

ඇස් පනාපිට සිවිල් වැසියෝ තලෙයිබාන් උණ්ඩවලට ගොදුරු වෙති. ඇමරිකාවේ ජෝ බයිඩන් නැවත වරක් කුණු ගොඩකට පයින් ගසන්නට කැමති නැත. ඔහු සිය ස්ථාවරයේම සිටියි. මැදිහත් වීම් සිදුකෙරෙන්නේ ඉතා මද වශයෙනි. ඒ තත්වය තුළ ඇෆ්ගන් වැසියන් හයසිය ගණනක් හමුදා ගුවන් යානයකින් ඇමරිකාව බලා ගෙන ඒම ද ලොකු දෙයකි. මේ අතර එක්සත් රාජධානිය ද ඊයේ, ඇෆ්ගනිස්ථානයට භටයන් යැවීම ප්‍රතික්ෂේප කළේය. තලෙයිබාන් සංවිධානය, ඇමරිකානු හමුදාව ඉවත් වීමෙන් සති කිහිපයක් ඇතුළත අකුණු සැරයක වේගයෙන් මුළු රටම අල්ලා ගත් ආකාරය තවම අබිරහසකි. ඇෆගන් ජනපතිවරයා, සියල්ල කල්තබා සැලසුම් කරගත් අයෙක් ලෙස පහසුවෙන්ම පළා ගියේ රටවැසියන් ප්‍රාණ ඇපයේ තබමිනි. ‘රටට පෙර තමන්‘ යැයි ඔහු කල්පනා කර තිබේ. නැතිනම් හෙලිකොප්ටරයක් පිරෙන්නට මුදල් සහ මෝටර් රථ හතරක් සමග ඔහු රටෙන් පළා යන්නේ නැත.

ඔස්ට්‍රේලියානු හමුදාව, ඇෆ්ගනිස්ථානයේ සිරවී සිටින සිය පුරවැසියන් බේරාගන්නටත්, සාම සාධක මෙහෙයුම්වලදී තමන්ට උදව් කළ ඇෆ්ගන් වැසියන් බේරාගන්නටත් අදහස් කරති. ඒ අනුව ඔස්ට්‍රේලියානු ගළවා ගැනීමේ යානා කිහිපයක් ඇෆ්ගනිස්ථානය බලා ගොස් තිබේ. හැමෝම තම තමන්ගේ කෑල්ලක් බේරාගැනීමට වග බලා ගනිති. සෙස්සන් අඳුරේ ය.

බටහිර රටක සෙවණ ලැබූ මලාලා යුසුෆ්සායි, නොබෙල් සාම සම්මානය දිනාගත් ලෝකයේ ළාබාලතම පුද්ගලයා ය. 24 හැවිරිදි ඇය ඉදිරියේ අද මුළු ලෝකයක්ම තිබේ. මින්ගෝරාවේ දූවිලි වැකුණු, තලෙයිබාන් තුවක්කු හඬ රැව්දෙන නිම්නයේම සිටියා නම් ඇය අද වන විට කෙබඳු ජීවිතයක් ගතකරනු ඇතිද..?

තලෙයිබාන් පාලනයට නතු වූ ඇෆ්ගනිස්ථානයේ ලොකුම භීතිය දැනී ඇත්තේ කාන්තාවන්ට ය. ද ගාඩියන් පුවත්පත වාර්තා කළ පරිදි තලෙයිබාන් පාලනයට ප්‍රධාන නගර නතු වෙද්දී ඇෆ්ගන් ස්ත්‍රීහු සිය උපාධි සහතික පුච්චා දැමූහ. ඇෆ්ගන් පිරිමි ඒ දෙස බලා කොක්සන් දෙමින් සිනාසුණහ. කාබුල් නුවර සරසවිවල සහ පාසල්වල ඉගෙන ගනිමින් සිටි තරුණියෝ හිස් ලූ ලූ අත ඇඳිවත පිටින් පළා ගියහ. ‘‘උඹල නැටුව කාලෙ ඉවරයි. දැන් ඉතින් ආයෙත් චදරිය (බුර්කාව) දා ගනින්‘‘ යැයි ඇතැමුන් කියූ බව ගාඩියන් වාර්තාව සඳහන් කරයි.

 ඇෆ්ගනිස්ථානය පුරා බුර්කා කඩ අලුතෙන් විවෘත කර තිබේ. Photograph: Sajjad Hussain/AFP/Getty Images

 

කාබුල් නගරයේ රූපලාවන්‍යාගාරයක් ඉදිරියෙන්, තලෙයිබාන් ප්‍රහාරයට සතියකට පෙර ඇෆ්ගන් කතුන් දෙදෙනෙක් ඇවිද ගියේ මෙසේ ය. Photograph: Sajjad Hussain/AFP/Getty Images

2012 වසරේදී මලාලාගේ හිසට වෙඩි තැබූ තලෙයිබාන් මූලධර්මවාදීන්, අද ද වෙනසක් නැත. විසි වසරක ඇමරිකානු පාලනය තුළ ඇමරිකානු ටී ෂර්ට් සහ ඩෙනිම් හැඳීමෙන් එහාට ඔවුන් ශිෂ්ට සම්පන්න වුණේ නැත. මූලධර්මවාදය විසින් ඉගැන්වූ කාන්තාවන්ට වෛර කිරීම හෙවත් මිසොජෙනික ගතිය අතහැර ගන්නට ඔවුන්ට සිතක්වත් නැත. එනිසා මලාලා ලා කී දෙනෙකුගේ හිස්වලට ඔවුන් පෝලිම් කර වෙඩි තබන්නේදැයි කිව නොහැක.

මලාලා, ඔබ තරම් ඔවුන් පින්වන්ත නැත!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි