×

ජෛවයේ තාරුකාව – බ්‍රැන්ඩෝ

හොලිවුඩයේ සුබග (genius) නළුවා ඔහු විය.


2004 ජූලි 2 ලොස්ඇන්ජලීස් ටයිම්ස් මෙබඳු පුවතක් වාර්තා කළේය.

මාර්ලන් බ්‍රැන්ඩෝ වයස 80 දී මියයයි.‘ඔන් ද වෝටර් ෆ්‍රන්ට්’, ‘ද ගොඩ්ෆාදර්’ සහ ‘ඇපොකැලිප්ස් නව්’ වැනි චිත්‍රපටවලින් ඇමරිකානු සිනමාවේ සදා නොමැකෙන සලකුණක් තැබූ, ඔස්කාර් සම්මානලාභී මාර්ලන් බ්‍රැන්ඩෝ අවුරුදු 80 දී මිය ගියේය……හොලිවුඩයෙන් දෙවන බ්‍රැන්ඩෝ කෙනෙකු බිහිවන සලකුණ කුදු දක්නට නැත.

ජෛවයෙන් පිරිපුන් මාර්ලන් බ්‍රැන්ඩෝ හොලිවුඩයට කිසිදා අමතක නොවනු ඇත. ජෛවයේ තරුව වුවද ඔහු නිවි නිවී දැල්වුණා නොවේ. ක්‍රමිකව දීප්තිය වැඩි කර ගනිමින් සූර්යයෙකු මෙන් බැබළුණේය. ඔහු රංගනයේ තාක්ෂණය දැන සිටියේය. එම අද්විතීය පෞරුෂත්වය අබිමුවේ සමකාලීනයෙන් පාෂාණිභූත වූහ. හොඳම නළුවා සඳහා පිදෙන ඔස්කාර් සම්මානයෝ දෙවතාවක් පිදුම් ලද ඔහු සිව් වතාවක්ම ඒ සඳහා නාමයෝජනා ලැබුවේය. පශ්චාත් යුධ සමයේ බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට හා වේදිකා නාට්‍ය නළුවා ඔහු විය. නිරූපණ ශිල්පයේ රීති මාලාව ඔහු නැවත ලියා තැබුවේය. කිසිවිටෙක ඒ එකක් තවෙකකට සම නොවීය. හරියටම එකම දෙය දෙවතාවක් නොලියූ ඔහුගේ දඩබ්බර – ස්වාධීන ජීවිත පොත මෙනි.

දඩබ්බරයා

ඇමරිකාවේ ඔමාහා ප්‍රාන්තයේ නෙබ්රෙස්කාහි 1924 අප්‍රේල් 3 දා උපන් මාර්ලන් බ්‍රැන්ඩෝ හැදී වැඩුණේ දඩබ්බරයෙකු ලෙසිනි. ඔහුගේ මව ඩොරති, අධික ලෙස බේබදුකමට හුරුව සිට පසුව පුනරුත්ථාපනය ලද කාන්තාවක වූවාය. පාසලෙන් මෙන්ම හමුදා පාසලෙන් ද ඔහු නෙරපා හැරුණේ ඔහු තුළ වූ කමකට නැති දඩබ්බර ගති නිසාය. ඔහුගේ පළමු රැකියාව වූයේ අගල් කැපීමයි. එහෙත් පුතුගේ බලාපොරොත්තු විරහිස කාංසාව, පියා වූ බ්‍රැන්ඩෝගේ සිත තදින් සසල කළේය. තම පුතු කරනා අරුත්බර ඕනෑම දෙයකට මුදල් වියදම් කිරීමට පියා ඉටාගත්තේය. නළුවෙක් වන්නෙමියි පුතා සිතාගත්තේය. මව ඩොරති, ඔහුව ප්‍රාදේශීය නාට්‍ය කණ්ඩායමකට ඇතුල් කළේ ඉන්පසුවය. දඩබ්බර තරුණයා ස්ටෙලා ඇඩ්ලර් යටතේ ස්ටැනිස්ලව්ස්කි රංගන ක්‍රමය හැදෑරීමට නිව්යෝර්ක් නගරයට යෑමට වලිකනු නොබෝ දිනකින් කාහටත් පෙනිණි. ඔහු එතෙකින් නොනැවතුණේය. බ්‍රැන්ඩෝගේ ජීවිතයට අරමුණක් ගැන ඉවක් දැනී තිබුණේය. ඉන්පසු ඔහු ලී ස්ට්‍රාස්බර්ග්ගේ උපදේශකත්වය යටතේ ‘ඇක්ටරස් ස්ටූඩියෝ’ හි සේවයට එක්විය. තාත්වික රංගනය පිළිබඳ ස්ට්‍රාස්බර්ග්ගේ මූලධර්මය බ්‍රැන්ඩෝගේ ජීවිතයේ කොටසක් බවට පත්විය. 1943 දී බොබිනෝ නාට්‍යයට රංගනයෙන් එක්වීමෙන් වෘත්තීය නළුවෙකුගේ ජීවිතය ඇරඹූ බ්‍රැන්ඩෝ එයින් වසරකට පසු බ්‍රෝඩ්වේ නෘත්‍යාගාරයට සම්බන්ධ විය. ‘අයි රිමෙම්බර් මමා’ එහිදී ඔහු දායක වූ පළමු නෘත්‍යයයි. 1946 දී ‘ට්‍රක්ලයින් කැෆේ’ හි ඔහු කළ රඟපෑම ප්‍රේක්ෂකයින් හා විචාරකයින්ව මෙවැනි පෙළඹීමකට පෙළඹීය. “බෝඩ්වේ හි වඩාත්ම බලාපොරොත්තු තබාගත හැකි නළුවා ඔහුය.’’

එයින් වසරකට පසු ඔහු එහ අනාවැකිය යථාර්ථයක් බවට පත් කළේය. 1947 දී ටෙනසි විලියම්ස්ගේ නිෂ්පාදනයක් වූ ‘අ ස්ට්‍රීට්කාර් නේම්ඩ් ඩිසයර්’ හි ස්ටැන්ලි කොවාල්ස්කිගේ චරිතයට පණ පොවමින් බ්‍රැන්ඩෝ ප්‍රේක්ෂකයන්ගේ නෙත්සිත් පැහැර ගත්තේය. ඔහු එහි ජනිත කළ විශ්වාසනීයත්වය, ලිංගික ආකර්ෂණය සහ තීව්‍රත්වය නිසා එක් රැයකින් ‘බ්‍රෝඩ්වේහි උමතුව’ බවට ඔහු පත්වූයේය. හොලිවුඩයට පසුදා සිටම ඔහු අවශ්‍ය විය. එවිට දඩබ්බරයාගේ චරිතය යළි ඉස්මතු විය. ඔහු චරිතාංග නළුවෙකු ලෙස තමාට “යමක් කළ හැකි චිත්‍රපටියක්’’ ලැබෙන තෙක් ඉක්මන් නොවී ඉවසා සිටියේය. ඔහු අමුතුම ආකාරයක තරුවක් විය. වඩාත් නිවැරදිව කීවොත් ‘ප්‍රති-තාරුකාවක්’ විය. ඔහුගේ සිතිවිලි දඩබ්බර වී ඔහු විසින් හොලිවුඩය ප්‍රතික්ෂේප කරනා තරමටම හොලිවුඩයට ඔහු අවශ්‍ය විය. අවසානයේ 1950 දී බ්‍රැන්ඩෝ, ස්ටැන්ලි ක්‍රේමර්ගේ නිෂ්පාදනයක් වූ ‘ද මෙන්’ හි, බඳෙන් කොටසක් අඩපණ වූ යුද විරුවකුගේ චරිතය නිරූපණය කළේය. චරිතයට සූදානම් වීම සඳහා ඔහු එවර මාසයක කාලයක් සැබෑ රෝහලක නේවාසිකව සිටියේය.

සම්මාන වැසි වසියි

‘ද මෙන්’ අලෙවි වාර්තා නොතැබුවද එහිදී මාර්ලන් බ්‍රැන්ඩෝ පළ කළ කුසලතාවය කාගෙත් කතා බහට ලක් විය. 1951 දී ඔහු සහ අධ්‍යක්ෂ එලියා කාසන්, ‘අ ස්ට්‍රීට්කාර් නේම්ඩ් ඩිසයර්’ වේදිකා නාට්‍යය ඇසුරින් චිත්‍රපටයක් කිරීමට යන බව හොලිවුඩය පුරා පැතිරී ගියේය. එය සත්‍යයක් විය. ‘ස්ට්‍රීට්කාර්’ චිත්‍රපටයේ රඟපෑම සඳහා හොඳම නළුවාට නාම යෝජනා විය. සම්මානය නොදිනුවද ස්ට්‍රීට්කාර් චිත්‍රපටය උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි ඇකඩම් සම්මානයෙන් පුද ලැබීය.

ඔහුගේ ඊළඟ චිත්‍රපටය නිෂ්පාදක ද කාසන් ම විය. එම ‘විවා සැපාටා’ චිත්‍රපටය 1952 දී රූගත වූවකි. අධ්‍යක්ෂ ක්ලවුඩ් ඕටන්ට් ලාරා සමග ප්‍රංශ නිෂ්පාදනයක් වූ ‘ලී රෝජට් ලි නොයිර්’ හි චරිත නිරූපණය කළ බ්‍රැන්ඩෝ, 1953 දී MGM නිෂ්පාදනයක් වූ ‘ජුලියස් සීසර්’ සීසර් හි රංගනයන් වෙනුවෙන් ඔහුගේ නම නැවත ද හොඳම නළුවා සඳහා ඔස්කාර් සම්මාන උළෙලට නාමයෝජනා ලැබීය.

1954 දී ‘ද වයිල්ඩ් වන්’ හි රඟපාමින් බ්‍රැන්ඩෝ ‘පෝස්ටර් කලාවේ නැතිවම බැරි මුහුණුවරක් බවට පත් විය. තර්කය පරදවා සවිඥානකත්වය ඉස්මතු කළ චිත්‍රපටයක් වූ ‘ඔන් ද වෝටර් ෆ්‍රන්ට්’ හි රඟපාමින් බ්‍රැන්ඩෝ අවසානයේ ඔස්කාර්/ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නළුවා බවට පත්විය. එයද කාසන්ගේ නිෂ්පාදනයකි. එසේම චිත්‍රපටිය ද හොඳම සළරුව ලෙස ගෞරව නාමයෙන් පිදුම් ලැබීය. මෙසේ සිව්වැනි වෑයමෙන් හොලිවුඩය විජයග්‍රහණය කළ බ්‍රැන්ඩෝ, පස්වන වෑයමේ දී ‘විසිරී’ හි රඟපෑමෙන් පළමු වතාවට දැඩි බලාපොරොත්තු කඩවීමකට ලක් විය. එහි නැපෝලියන්ගේ චරිතය කෙරෙහි දැඩි බලාපොරොත්තු තබා සිටියද එවර එම චිත්‍රපටය ආදායම අතින් මෙන්ම කලාත්මක අංශයෙන්ද හීන වූවක් ලෙස විවේචනවලට බදුන් විය. තම හැකියාව යළි උරගා බැලීමට ඔහු තීරණය කළේය. ‘ෆ්‍රෑන්ක් සින්ට්‍රා’ සමග බ්‍රෝඩ්වේ හි සංක්ෂිප්තයක් වූ ‘මියුසිකල් ගයිස් ඇන්ඩ් ඩෝල්ස්’ හිද, ‘ද ටී හවුස් ඔෆ් දි ඕගස්ට් මූන්’ හිද ඔහු 1955 දී රඟපෑවේය. ඊළඟ වසරේ ‘සයොනාරා’ හි පළ කළ රංගන ප්‍රතිභාව වෙනුවෙන් ඔහු නැවත ද ඔස්කාර් උළෙලේ හොඳම නළුවා සඳහා නාමයෝජනා ලැබීය.

1958 ‘ද යන්ග් ලයන්ස්’ හි බ්‍රැන්ඩෝ ඔහුගේ පරපුරේ තවත් අසහාය මහා නළුවෙකු වූ මොන්ට්ගෝමෙරි ක්ලිෆ්ට් සමග පළමු හා අවසාන වතාවට රඟපෑවේය. එය ආදායම් වාර්තා තැබුවද ඊළඟට තිරගත වූ (1960) ‘ද ෆ්‍රගිටිව් කයින්ඩ්’ මුල්‍යමය ව්‍යසනයක් විය. බ්‍රැන්ඩෝ තනිවම චිත්‍රපටයක් කිරීමට යන බව හොලිවුඩය පුරා එයින් පසු පැතිර ගියේය. සිදුව තිබුණේ මෙයයි. ස්ටැන්ලි කුබ්රිච් හා සෑම් පෙකින්පාහ් සම අධ්‍යක්ෂවරුන්ව අධ්‍යක්ෂ තනතුරෙන් පළවා හැරී ඔහු තමාවම අධ්‍යක්ෂණය කරගත්තේය. ප්‍රතිඵලය අසමසම එකක් විය. බලාපොරොත්තු වූ තරම් ලාභයක් නොඉපයුවද එම වෙස්ටන් ‘වන් අයිඩ් ජැක්’ චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා පිහිටුවිය. 1962 දී ‘මියුටිනි ඔෆ් ද බවුන්ටි’ ඓතිහාසික චිත්‍රපටය රූගත කරනු ලැබුවේද එම ප්‍රතිපත්තිය මතම පිහිටාය. බ්‍රැන්ඩෝ තමා රංගන ජීවිතය මේ ආකාරයට විදාරණය කළේ සැලකිය යුතු චිත්‍රපට තිරකතා ගණනාවක්ම ප්‍රතික්ෂේප කරමින්, තමාට රිසි එක පමණක් තෝරා ගනිමිනි. MGM සමාගම මෙම නාහෙට නාහන නළුවා තිරයට ගෙන ඒමට වැය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 19 කි. ඔහු චරිත තෝරාගත් පදනම අදට ද අභිරහසකි. වරක් රංගනය කෙබඳුදැයි ඇසූ විට ඔහු කීවේ එය “භාවමය හා වැදගත්කමකට නැති කාරිය’’ කැයි කියාය. මෙවැනි අදහස් නිසා ඔහු ‘ක්ෂේත්‍රයේ මුරණ්ඩුවා’ ලෙසටද කලක් ප්‍රකටව සිටියේය. ‘කාර්සන් මැක්කුලර්ගේ ජනප්‍රිය නවකතාවක් ඇසුරින් 1969 දී නිපදවුණු ‘රිෆ්ලෙක්ෂන්ස් ඉන් අ ගෝල්ඩන් අයි’’ හි රඟපෑමෙන් ඔහු අනතුරුදායක රංගනයකට ද පියමැන්නේය. ඔහු එහි රඟපෑවේ සමලිංගිකයකුගේ චරිතය­කි. 1968 ‘කැන්ඩි’, 1969 ‘කුයිමාඩා’ සහ 1971 ‘ද නයිට්කමර්ස්’ ද අසාර්ථක තේමා සහිත අසාර්ථක චිත්‍රපට වූයෙන් හොලිවුඩයෙන් බහුතරය සිතුවේ ඔහුගේ වාසනා චක්‍රය රුයිතෙට කැරකෙන්නට පටන්ගෙන ඇති බවයි.

 

එහෙත් එය ඉතිහාසගත වැරදීමකි. බ්‍රැන්ඩෝ ‘ද ගොඩ්ෆාදර්’ හි දොන් කොර්ලියාගේ නමැති මාෆියා නායකයාගේ චරිතය අතිවිශිෂ්ට ආකාරයට ප්‍රතිනිර්මාණය කළේ ඊළඟ වසරේ හෙවත් 1972 දීය. එය සම්භාවනීය ප්‍රංශ සිනමා කරා ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෙලෝගේ අද්විතීය අධ්‍යක්ෂණයක් විය. හොලිවුඩයෙන් බහින කලාවේ සිටියේ යැයි බොහෝ දෙනා සිතා සිටි අද්විතීය පෞරුෂයකින් හෙබි නළුවා දෙවන වතාවට ද හොඳම නළුවා විය. එහෙත් එම ඔස්කාර් සම්මානය ලබාගැනීමට ඔහු වේදිකාවට යැවූයේ නියෝජිතයෙකි. එම රතු ඉන්දියානු නිළිය බ්‍රැන්ඩෝ වෙනුවෙන් ඔස්කාර් සම්මානය දිනා ගත්තේ, ඇමරිකානුවන් රතු ඉන්දියානුවන්ට කරනා කෙළෙහිලිකම් හෙළා දකින පණිවුඩයක් ද සමගය. ඔහුගේ කලහකාරී නාහෙන නාහන චරිතයට මෙවැනි සිද්ධීන් රැසකින් පිරී ඇත.

චිත්‍රපට තිස් ගණනක රඟපෑ මාලන් බ්‍රැන්ඩෝ විවිධ අවස්ථාවලදී සම්මානයට පාත්‍ර වූයේ මේ ආකාරයටය.

ඇකඩමි/ ඔස්කාර් සම්මාන

වසර     නිර්දේශිත සම්මානය                 චිත්‍රපටය                                      ප්‍රතිඵලය

1951    හොඳම නළුවා               ‘අ ස්ට්‍රීට්කාර් නේම්ඩ් ඩිසයර්’                 නාමයෝජනා විය

1952    හොඳම නළුවා               ‘විවා සැපාටා’                                       නාමයෝජනා විය

1953    හොඳම නළුවා               ‘ජුලියස් සීසර්’                                       නාමයෝජනා විය

1954    හොඳම නළුවා               ‘ඔෆ් ද වෝටර්ෆ්‍රන්ට්’                             සම්මාන ලැබීය

1957    හොඳම නළුවා               ‘සයොනාරා’                                         නාමයෝජනා විය

1972    හොඳම නළුවා               ‘ද ගොඩ් ෆාදර්’                                     සම්මාන ලැබීය

1982    හොඳම සහාය නළුවා     ‘අ ඩ්‍රයිවයිට් සීසන්’                                නාමයෝජනා විය

බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන

1952    හොඳම විදේශීය නළුවා             ‘විවා සැපාටා’ (1952)                නාමයෝජනා විය

1953    හොඳම විදේශීය නළුවා             ‘ජුලියස් සීසර්’                           සම්මාන ලැබීය

1954    හොඳම විදේශීය නළුවා             ‘ඔෆ් ද වෝටර්ෆ්‍රන්ට්’                 සම්මාන ලැබීය

කෑන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල

 

1952    හොඳම නළුවා               ‘විවා සැපාටා’ (1952)                සම්මාන ලැබීය

ඇමරිකාවේ හොඳම සිනමා අධ්‍යක්ෂ ශ්‍රේණිගත කිරීම්

1961    හොඳම අධ්‍යක්ෂණය     ‘වන් අයිඩ් ජැක්ස්’ (1961)         නාමයෝජනා ලැබීය

 

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන

1954    හොඳම අධ්‍යක්ෂ                        ‘ඔෆ් ද වෝටර් ෆ්‍රන්ට්’ (1954)            සම්මාන ලැබීය

1956    හො.න.(සංගීත හා විකට)           ‘ද ටී හවුස් ඔෆ් දි ඕගස්ට් මූන්’ (1956)     නාමයෝජනා ලැබීය

1957    හොඳම නළුවා                           ‘සයොනාරා’ (1957)                                          නාමයෝජනා ලැබීය

1963    හොඳම නළුවා                           ‘දි අග්ලි ඇමරිකන්’ (1963)                  නාමයෝජනා ලැබීය

1972    හොඳම නළුවා                           ‘ද ගෝඩ් ෆාදර්’                                     සම්මාන ලැබීය

1989    හොඳම සහාය නළුවා                 ‘අ ඩ්‍රයිවයිට් සීසන්’ (1989)                    නාමයෝජනා ලැබීය

නිව්යෝර්ක් සිනමා කවය 

1951    හොඳම නළුවා               ‘අ ස්ට්‍රීට්කාර් නේම්ඩ් ඩිසයර්’                 නාමයෝජනා ලැබීය

1952    හොඳම නළුවා               ‘විවා සැපාටා’ (1952)                            නාමයෝජනා ලැබීය

1954    හොඳම නළුවා               ‘ඔෆ් ද වෝටර් ෆ්‍රන්ට්’ (1954)                 සම්මාන ලැබීය

1957    හොඳම නළුවා               ‘සයොනාරා’ (1957)                             නාමයෝජනා ලැබීය

1972    හොඳම නළුවා               ‘ද ගෝඩ් ෆාදර්’ (1972)                          නාමයෝජනා ලැබීය

එම මූලයන් නිසාදෝ මාර්ලන් බ්‍රැන්ඩෝගේ පවුල් ජීවිතය ද අසාර්ථක එකක් විය. ඉන්දියානු සම්භවයක් සහිත ඇනා කෆි ඔහුගේ පළමු බිරිඳයි. ඔහු ඉතා කෘෘර සැමියෙකියි ඇය පසුව සඳහන් කළාය. ඔහු දෙවන වතාවට විවාහ කරගත්තේ මෙක්සිකානු නිළියක වූ රීටා මොරෙනෝය. තෙවැන්නිය වූ තයිට් ජාතික තරීටා පසුකලෙක සියදිවි හානි කරගත්තේය.

මෙම විවාහ තුනෙන් ඔහුට දාව දරුවෝ එකොළොස් දෙනෙකු උපත ලැබූහ. දඩබ්බරයින් වූ ඔවුන් ද මහලු බ්‍රැන්ඩෝට ගෙන ආවේ දුකකි. සහශ්‍රකයේ මුල් වසර කිහිපයේ මහජන ඇසින් මුවාවී ඉතා රහසිගත ආකාරයට දිවි ගෙවූ බ්‍රැන්ඩෝ පවුලේ ඛේදවාචකයන් නිසා මානසිකව දුක් විඳිමින් සිටි බව දන්නේ අල්පයකි. එය ඇරඹුණේ 1990 දීය.

1978 වසරේ ‘සුපර් මෑන්’ හා 1979 වසරේ ‘අපොකැලිප්ස්නව්’ චිත්‍රපටවල වියපත් බ්‍රැන්ඩෝ නිරූපණය කළේ ඉතා සුළු ජවනිකා කිහිපයකි. එහෙත් ඒ සඳහා ඩොලර් කෝටි ගණනක් අය කිරීමට ඔහු සමත් විය. සමකාලීන ගිනස් පොතට ඔහුගේ නම ඇතුලත් වූයේ ‘ලෝකයේ ඉහළම අය කිරීමක් කරන නළුවා’ වශයෙනි.

බ්‍රැන්ඩෝ තමාම අධ්‍යක්ෂණය කරගත් ‘වන් අයිඩ් ජැක්ස්’ හි දී ඔහුට නිරූපණය කිරීමට තිබුණේ තරබාරු මිනිසෙකුගේ චරිතයකි. වේෂ නිරූපණ ශිල්පියාට බ්‍රැන්ඩෝ සඳහා වෙස්ගැන්වීම් නිර්මාණය කිරීමට සිදුවූයේ ප්‍රත්‍යස්ථ අමුද්‍රව්‍ය යොදාගෙනය. එහෙත් බ්‍රැන්ඩෝගේ ඉලක්කය සාක්ෂාත් කිරීම ඔහුට පහසු කාර්යයක් නොවීය. තරබාරු චරිතයට සරිලන සේ ඔහු කෙතරම් තරබාරු වී සිටියේද යත් රූගත කිරීම් අතරතුර පිටුපස මැහුම් පැලී යාම නිසා කලිසම් ජෝඩු 18 ක් ඉවත දැමීමට සිදු විය. මාලන් බ්‍රැන්ඩෝ ස්වභාවයෙන්ම ආහාර ගැනීම තදින් ප්‍රිය කළ පුද්ගලයකු විය. වරක් ඔහු තම ශිෂ්‍යයින්ගෙන් සැදුම් ලත් රංගන පන්තියකට තරබාරු ගැහැනියක ලෙස කඩා වැදී මහත් කලබැගෑනියක් ඇති කළේය. ඔහුගේ ප්‍රියතම රසිකයින්ගෙන් එක් අයෙකු වූයේ මයිකල් ජැක්සන්ය.

අසහාය පෞරුෂයකින් යුතු මෙම තාක්ෂණික නළුවා කාන්තාවන්ගේ හදවත වඩාත්ම ආකර්ෂණය කරගත් තැනැත්තා ද විය. එහෙත් හොලිවුඩයේ වඩාත්ම ප්‍රේමාතුර (රොමැන්ටික්) නළුවා ඔහු නොවේ යැයි සෝෆියා ලෝරෙන් වරක් ප්‍රකාශ කළාය. මෙය බ්‍රැන්ඩෝගේ කණ වැටිණි. 1966 දී ඔහුට එයට පිළිතුරු දීමට අවස්ථාව උදා විය. ‘ද කවුන්ටස් ෆ්‍රොම් හොංකොං’ චිත්‍රපටියේ ආලිංගන ජවනිකාවක් රූගත කර අවසාන වූ පසු බ්‍රැන්ඩෝ සොෆියා ලෝරෙන් අසලට ගියේ මෙම ප්‍රශ්නය මුවග තබාගෙනය.

“ඔබ දැනගෙන හිටියද?’’ ඔහු සොෆියාගෙන් ඇසුවේය. “ඔබේ නාස් පුඩුව උඩ රෝම තිබෙන බව…?’’

පරපුරේ උරුමය

පෞද්ගලික ජීවිතයේ දී මාර්ලන් බ්‍රැන්ඩෝ හැසිරුණේ ඔහු පවුල් පරිසරයෙන් ලබා තිබූ අත්දැකීම්වලටම සරිලන ආකාරයටය. ඔහුගේ පියාගේ පවුල් ජීවිතය අසාර්ථක එකක් විය. මව වූ ඩොරති පෙනිබාකර්, පියා වූ බ්‍රැන්ඩෝගෙන් 1935 දී දික්කසාද වූවාය. ඇය සැන්ටා ඇනා ප්‍රදේශයට සංක්‍රමණය වූයේ පුතු මාර්ලන් බ්‍රැන්ඩෝ හා දියණියන් දෙදෙනා වූ ජොසිලින් සහ ෆ්‍රැන්සිස් සමගය. එයින් දෙවසරකට පසු පියා නැවත ඔවුන් සොයා ආවේය. ඔවුහු ඉන්පසු උතුරු චිකාගෝවේ ඉලිනොයිස්හි ලිබර්ටිවිලි ප්‍රදේශයට ගොස් නැවත ජීවිතය ඇරඹූහ. එහෙත් එම පවුල් ජීවිතය අඩදබරවලින් නිතොර විය.

එම මූලයන් නිසාදෝ මාර්ලන් බ්‍රැන්ඩෝගේ පවුල් ජීවිතය ද අතිඅසාර්ථක එකක් විය. ඉන්දියානු සම්භවයක් සහිත ඇනා කෂ්ෆී ඔහුගේ පළමු බිරිඳයි. ඔහු ඉතා කෘෘර සැමියෙකියි ඇය පසුව සඳහන් කළාය. ඔහු දෙවන වතාවට විවාහ කරගත්තේ මෙක්සිකානු නිළියක වූ රීටා මොරෙනෝය. තෙවැන්නිය වූ, තයිටි ජාතික තරීටා පසු කලෙක සියදිවි හානි කරගත්තේය.

මෙම විවාහ තුනෙන් ඔහුට දාව දරුවෝ එකොළොස් දෙනෙකු උපත ලැබූහ. ‘දඩබ්බරයින් වූ ඔවුන් ද මහලු බ්‍රැන්ඩෝට ගෙන ආවේ දුකකි. සහශ්‍රකයේ මුල් වසර කිහිපයේ මහජන ඇසින් මුවා වී ඉතා රහසිගත ආකාරයට දිවි ගෙවූ බ්‍රැන්ඩෝ පවුලේ ඛේදවාචකයන් නිසා මානසිකව දුක් විඳිමින් සිටි බව දන්නේ අල්පයකි. එය ඇරඹුණේ 1990 දීය.

ඔහුගේ වැඩිමහල් පුතු ක්‍රිස්ටියන්, තම අර්ධ සොයුරිය වූ චෙයින්ගේ පෙම්වතා ඩැග් ඩ්‍රොලෙට් හට වෙඩි තබා ඝාතනය කර තිබිණි. ක්‍රිස්ටියන් මිනීමැරුම චෝදනාවෙන් නිදහස් කරගැනීමට බ්‍රැන්ඩෝ දැඩි උත්සාහයක් ගත්ත ද එය ව්‍යර්ථ විය. එය ඔහුගේ ජීවිතයේ ලද සදාතනික පරාජයක් විය. අවසානයේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාවට වරදකරු වී ක්‍රිස්ටියන් බ්‍රැන්ඩෝ සිපිරි ගෙට නියම විය. ඔහු සිරෙන් නිදහස් වීමට වසරකට පෙර 1995 අප්‍රේල් මස චෙයින් ගෙළ වැළලා ගෙන සියදිවි හානිකර ගත්තාය.

වරක් හොලිවුඩයේ ඉහළම අය කරන්නා බවට පත්ව සිටිය ද මාලන් බ්‍රැන්ඩෝ මිය ගියේ ණයකාරයකු ලෙසය. ඔහු තම ජීවිතයේ අවසාන වසර කිහිපය තුළ ඩොලර් මිලියන 20 ක ණයකරුවෙකු බවට පත්ව සිටි බව කියවෙයි. මිය යෑමට පෙර ඔහු ජීවත් වූයේ මුල්හෝලන්ඩ්ඩ්‍රයිව්හි අපිළිවෙළ, බාල වර්ගයේ ලී භාණ්ඩ පිරී ගිය කුඩා නිවහනකය. ඔහු අවසාන කාලයේ දිවි පෙවෙත ගෙවූයේ සමාජ ආරක්ෂණ ගෙවීම්, ඇමරිකානු සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයෙන් ලැබුණු විශ්‍රාම වැටුපෙන් සහ වෙනත් කුඩා වත්කම් කිහිපයක පිහිටෙනි. 2004 ජූලි 02 දා ඔහු නිදන්ගත පෙණහලු ආසාදනයක් උත්සන්න වීමෙන් මෙලොව හැර ගියේය. ජෛවයේ තාරුකාව – බ්‍රැන්ඩෝ සදහටම නිවී ගියේය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි