×

හොංකොං විරෝධතා මැද චීන ගැති නීති සම්පාදකයකු හට පිහි සංග්‍රහයක්!

තුවාල ලැබූ නීති සම්පාදකයා හොංකොං රජයේ අනුග්‍රහය ඇතැයි පැවසෙන මැර කල්ලි සමඟ සබඳතා පවත්වන්නෙකු යැයි කතිකාවක් නිර්මාණය වී තිබේ.


හොංකොං හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ වලට එරෙහි දැඩි ස්ථාවරයක සිට කටයුතු කළ නීති සම්පාදකයකු හට පිහි ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයකු පිළිබඳ වාර්තා වේ. 

මෙකී පුද්ගලයා එම පිහි පහර එල්ල කර තිබෙන්නේ බීජිං හිතෛශී නීති සම්පාදකයකු වන ජුනියස් හෝ මහතා සහ ඔහුගේ සහායක වෙතයි. 

ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීති සම්පාදක ජුනියස් හෝ හා ඔහුගේ සහායක රෝහල් ගත කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය මාධ්‍ය වෙත හෙලිදරව් කර නොමැත. 

සිදුවීමට අදාල සැකකරුගේ චේතනාව අපහැදිලි මුත්, පසුගිය ජූලි මසදී ජුනියස් හෝ මහතා හොංකොං නගරයේ සාමකාමී විරෝධතාකරුවන්ට පහර දුන් සැකකටයුතු ත්‍රෛසාමාජික කල්ලි දාමයක සාමාජිකයන් පිරිසක් සමඟ සිනාසෙමින් හා අතට අත දෙමින් සිටින අයුරු සේයාරූ ගතවී තිබීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබිණි. චීන ගැති රජය විසින් විරෝධතා මර්දනය කිරීමට යොදා ඇති මැරකල්ලි පළිබඳ කතිකාවක් දැනටමත් හොංකොං නගරයේ මතුව ඇති අතර, මෙකී නීති සම්පාදකයා එම මැර කල්ලි සමඟ සබඳතා පවත්වන්නේ ය යන චෝදනාව මත උරණ වූ විරෝධතාකරුවකු මෙම පිහි ප්‍රහාරය එල්ල කළේ දැයි යන සාධාරණ සැකය දැන් මතුව තිබේ.  

මෙම පිහි ප්‍රහාරය එල්ල කිරීම සිදුව ඇත්තේ ආසියානු මූල්‍ය කේන්ද්‍රය අසබඩ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා විරෝධතා දියත් කිරීමට සැලසුම් කර තිබිය දී ය. හොංකොං නගරයේ පස් මසකට අධික කාලයක් පුරා විවිධ මට්ටමින් දියත් වූ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ තුළ දේශපාලන අස්ථාවරභාවයක් ඇති කිරීමට සමත් ව තිබෙන අතර, තව දුරටත් මෙම විරෝධතා දියත් වීමට නියමිත ය. 

ආන්දොලනාත්මක යෝජිත චීන උද්දර්පණ පනත (extradition bill) පිළිබඳ කතිකාවත සමාජගත වීමත් සමඟ මෙකී රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ඇරඹීම ආරම්භ වූ අතර, එය චීන ජනපති ෂි ජින් පිංග් 2012 වර්ෂයේ දී බලයට පත්වූ දා පටන් මේ වනතුරු මුහුණ පෑ බරපතලම දේශපාලන අභියෝගය බවට පත් ව තිබේ. හොංකොං විරෝධතාකරුවන් සිය නායිකා කැරී ලැම් මහත්මිය ගෙන් නැවත නැවතත් ඉල්ලා සිටියේ භූමීය කටයුතු සම්බන්ධව චීනයේ මැදිහත්වීම් නවතා දමන ලෙසත්, පොලිස් ම්ලේච්ඡත්වය පිළිබඳ සාධාරණ හා ස්වාධීන පරීක්ෂණයක් දියත් කිරීම ඇතුළු කාරණා කිහිපයක් පිළිබඳව බව අප මීට පෙර ඔබට වාර්තා කළෙමු.  



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි