මියන්මාරයේ හටගත් හමුදා කුමන්ත්‍රණය සමඟ එරට පුරවැසියන් වීදි බැස උද්ඝෝෂණය කිරීම ආරම්භ කළේ ගිලිහී ගිය ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කරන ලෙස ඉල්ලමින්.
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සු කී ඇතුළු දේශපාලඥයින් කිහිප දෙනෙකු ම හමුදා අත්අඩංගුවට පත්වූ අතර, මෙම සිදුවීමත් සමඟ රට තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවීමට වැඩිකලක් ගත නොවීය.
ලක්ෂ සංඛ්‍යාත මියන්මාර වැසියන් වීදි බැස උද්ඝෝෂණයේ නිරත වන අයුරු දක්නට ලැබේ.
මේ වන විට එම උද්ඝෝෂණ මර්දනය කිරීම මියන්මාර හමුදාව විසින් ආරම්භ කර තිබේ.
ඊයේ (28) දින පමණක් මෙම මර්දනයෙන් පුද්ගලයින් 18 දෙනෙකු වත් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 30 දෙනෙකු වත් තුවාල ලබා ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කාර්යාලය විසින් හෙලි කරයි.
ඒ අනුව, ඉකුත් පෙබරවාරි 01 වන දින සිට ආරම්භ වූ හමුදා කුමන්‍ත්‍රණයට එරෙහි දියත් වූ උද්ඝෝෂණ වලට එල්ල වූ ප්‍රහාර වලින් මරණයට පත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 21 ක් පමණ වන්නට ඇතැයි අනුමාන කෙරේ.
මියන්මාරයේ හටගත් නොසන්සුන්කාරී වාතාවරණයේ උච්ඡතම අවස්ථාවක් ඊයේ දින හට ගෙන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වැඩිම පුද්ගල සංඛ්‍යාවක් එක්දිනක් තුළ ජීවතක්ෂයට පත්ව තිබේ.
න්‍යි න්‍යි ඔංග් හ්ටෙට් නයිංග් යනු අන්තර්ජාල ජාලකරණ ඉංජිනේරුවකි. මියන්මාර උද්ඝෝෂණ වලට එල්ල වූ හමුදා ප්‍රහාර වලින් ඉකුත් ඉරු (28) දින ඔහු ජීවිතක්ෂයට පත්විය.
එහෙත් මාධ්‍ය වල වැඩි අවධානයක් ගනු ලැබුවේ ඔහු මියයාමට පෙර දිනයේ තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි.
කොපමණ දෙනෙකු මරණයට පත්වෙයිද? ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සඳහන්ව තිබුණේ එවැන්නකි.
#How_Many_Dead_Bodies_UN_Need_To_Take_Action
එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය වහා ක්‍රියාත්මක විය යුතු බවද ඔහුගේ සටහනේ දැක්වේ.
නයිංග් ජීවිතක්ෂයට පත්වූයේ යැන්ගොන් අගනුවර උද්ඝෝෂණ අතරවාරේදී ය. විදෙස් වාර්තා සඳහන් කරන අන්දමට හමුදාවේ මර්දනකාරී වැඩපිළිවෙළ දරුණුවටම ක්‍රියාත්මක වීම මේ වන විට ආරම්භ වී තිබේ.
මේ පිළිබඳ මාධ්‍ය කළ විමසීමකදී මියන්මාර හමුදාව ප්‍රතිචාරයක් දක්වා ද නොමැත.
කෙසේ වෙතත්, උද්ඝෝෂණ වලට එරෙහිව උපරිම හමුදා ක්‍රියාමාර්ග ගනු ඇති බවට මියන්මාර හමුදාව මීට ඉහත ප්‍රකාශ කර තිබිණි.
නයිංග් ගේ මරණය බොහෝ දෙනා අතර කතාබහට ලක්වූයේ තම මරණය පිළිබඳ පුරෝකතනය කළ තැනැත්තෙකු විසිනි. ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට ඇද දමමින් මියන්මාරය තුළ ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්‍රණයත් සමඟ රට තුළ හටගත් නොසන්සුන්කාරී වාතාවරණය සමඟ මරණයට පත් වන පුද්ගලයින් සංඛ්‍යාව කෙබඳුවේද යන්න ඔහු මිය යෑමට පෙර සමාජ මාධ්‍ය ජාල තුළ කළ අනතුරු ඇඟවීම මීට සාක්ෂියකි.
නයිංග් මරණයට පත්වූයේ හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයෙනි. ඒ විරෝධතාකරුවන් එක්රැස් වන හ්ලෙඩන් හන්දිය අසලදී ය.
නයිංග් ට වෙඩි වැදුණු මොහොතේදීම ඔහුව රැගෙන රෝහල් ගත කිරීමට විරෝධතාකරුවන් උත්සාහ කළද එම උත්සාහ ව්‍යර්ත වී තිබෙන්නේ ඔහු ජීවිතයට සමුදීම නිසාවෙනි.
එක්සත් ජාතීන් ගේ සංවිධානය මියන්මාරය තුළ හට ගෙන ඇති තත්ත්වය දැඩි සේ හෙලා දැක තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබෙන්නේ මියන්මාර හමුදාව ජනතා පරමාධිපත්‍යයට ගරුකළ යුතු බවත් රට තුළ මතුවූ තත්ත්වය නිවැරදි කිරීමට වහා කටයුතු කළ යුතු බවත් ය.
එමෙන්ම, මීට එරෙහිව පෙළ ගැසෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ද පතන බව ඒ මහතා අවධාරණය කර තිබේ.
සාමකාමී විරෝධතා මර්දනය කිරීම කිසිලෙසකත් අනුමත කළ නොහැකි බවද හෙතෙම පෙන්වා දී තිබේ.
ඊයේ දින පමණක් මියන්මාර හමුදා ප්‍රහාර වලින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වන්නට ඇත. හෙට දිනයේදී තවත් නයිංග් වැනි තරුණ තරුණියන් කී දෙනෙකු ගේ ජීවිත බිලිගනු ඇත්ද යන්න අවිනිශ්චිතය.