×

මගේ බාප්පා අස්ථාවරයි. ඔහු වහා ඉවත් කළ යුතුයි: මේරි ට්‍රම්ප්

සති දෙකක කාලයක් තවමත් ඉතිරිව ඇත.. ඔහු මීළඟට කරනු ලබන්නේ කුමක් ද යන්න ඉතා අවිනිශ්චිත ය. 


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ලේලිය, නැතහොත් ඔහුගේ වැඩිමහල් සොයුරු ෆ්‍රෙඩික් ට්‍රම්ප් ගේ දියණිය වන මේරි ට්‍රම්ප් ඉකුත් දින වොෂිංටනයේ කැපිටල් හිල් හි හටගත් බිහිසුණු සිදුවීම පිළිබඳ සිය කම්පාව හා කළකිරීම ප්‍රකාශ කර තිබේ.

ඈ සඳහන් කරන්නේ සිය බාප්පා අස්ථාවර තත්ත්වයක පසුවන බවත් ඔහුව වහා ධුරයෙන් ඉවත්කළ යුතු බවත් ය.

යන කෙනා කොරහත් බිඳගෙන යන්නාක් මෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් ජනාධිපතිවරණයෙන් ලද පරාජය හමුවේ සියළු දෙය සුණුවිසුනු කරගෙන යාමට තැත්කරන බවට මේරි ට්‍රම්ප් පවසා තිබේ.

ඈ විසින් රචිත Too Much and Never Enough නම් කෘතිය නිකුත් වූ දිනයේ ම පිටපත් මිලියනයක් පමණ විකිණී තිබූ අන්දම ඔබට මතක ඇති යැයි අපි සිතමු. මනෝවිද්‍යාඥවරියක් වන මේරි ට්‍රම්ප් එම ග්‍රන්ථයෙන් හෙළිදරව් කර සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අතීත කතා වස්තුවයි. ඔහු වර්තමානයේ ගත කරන තත්ත්වය ට අතීතයේ බලපෑ සිදුවීම් රැස් කරමින් ඈ මෙම ග්‍රන්ථය ලියා තිබේ.

ද ගාඩියන් පුවත්පත වාර්තා කරන අන්දමට, ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට සති දෙකකට පමණ පෙර මේරි ට්‍රම්ප් මේසේ පවසා තිබේ.

“ඔහු දන්නවා ඔහු සිටින්නේ මංමුලා සහගත තත්ත්වයක කියා, එම නිසා ඔහු ඒ සියල්ල ගිනිබත් කර දැමීමට, අවුල්ජාලයක් බවට පත්කොට බෙදීම තවදුරටත් වැපිරීමට කටයුතු කරාවි. ඔහු පරාද වුවහොත්, අප සියල්ල ද ඇදගෙන ම පරාද වීමට කටයුතු කරාවි” 

මේරි ට්‍රම්ප් අවධාරණය කරන්නේ සිය බාප්පා අස්ථාවර තත්ත්වයක පසුවන බවයි. ඒ අනුව ධවල මන්දිරයෙන් ඉවත් වීමට ඉතිරිව ඇති ඉදිරි දින කිහිපය තුළ ඔහු කුමන අන්දමින් හැසිරේ ද යන්න අවිනිශ්චිත බවයි ඈ පෙන්වා දුන්නේ.

ඉකුත් දින වොෂිංටනයේ කැපිටල් හිල් හි දහස් සංඛ්‍යාත ට්‍රම්ප්වාදීන් රැස්වෙමින් ඉතා බිහිසුණු අන්දමින් හැසිරෙන අයුරු විදෙස් කැමරා කාචයේ සටහන් වී තිබිණ. ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොළ මෙන් හැඳින්වෙන ඇමරිකානු රජය ක්‍රියාත්මක වන කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදෙමින් කලහකාරී සහ උන්මත්තක අන්දමින් හැසිරුණු ට්‍රම්ප්වාදීන් පාලනය කිරීමට වොෂිංටන් නගරය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් ට සිදුවිය.

එම සිදුවීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට ද පත් විය.

“මට මුලින් ම අදහා ගත නොහැකි වූයේ එය කෙතරම් පහත් සිදුවීමක් ද යන්න යි. ඒ තරම් අපකීර්තිමත්, තදබදකාරී අන්දමින් හැසිරෙන්න.. මේ ඩොනල්ඩ් ගෙ තරම යි. එහෙත් කොංග්‍රසයේ ශාලා සමඟ ඔහු මෙසේ සෙල්ලම් කරනු ඇතැයි මා සිතුවේ නැහැ.”

ට්‍රම්ප් වියරුවේ ප්‍රතිඵල පිළිබඳ මේරි අදහස් දැක්වූයේ එලෙසිනි.

ට්‍රම්ප්වාදින් කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදුණු අයුරු | GETTY IMAGES

ට්‍රම්ප් සන්නාමය ද අතැතිව අතිශය අශෝභන හා උන්මත්තක අන්දමින් හැසිරෙන මිනිසුන් ගේ ක්‍රියා කලාපය හෙලා දකිනු වෙනුවට ට්‍රම්ප් තවමත් කටයුතු කරන්නේ ඔවුනට තමන් කෙතරම් ආදරේ ද යන්න පෙන්වීමට බව මේරි අවධාරණය කළා ය.

ඇමරිකානු වැසියන් අතර සිටිනා නරකම පුද්ගලයින් මෙසේ ශක්තිමත් වී, ඒකරාශී වී හා විනාශකාරී අන්දමින් හැසිරීමට ගත වූ සිව් වසර තුළ රට තුළ පරිසරය ඇති කරන ලද්දේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බව ඔහුගේ ලේලිය වන මේරි ට්‍රම්ප් පෙන්වා දුන්නා ය.

එහි උච්ඡතම අවස්ථාව ඉකුත් දින කැපිටල් හිල් හි දී දක්නට ලැබුණු බව ඈ අවධාරණය කළා ය.

මීට එරෙහි ව කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවට පෙන්වා දෙන මේරි ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයෙන් ඉවත් කිරීමට වහා කටයුතු කළ යුතු බව යි.

ජෝ බයිඩන් ප්‍රමුඛ පාලනාධිකාරිය ධුරය ආරම්භ කළ පසු වහා ක්‍රියාත්මක විය යුතු බවත්, ගතවූ වසර ගණන පුරා සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම් නිවැරදි කිරීමට ඔහු කටයුතු කළ යුතු බවත් ඈ පෙන්වා දෙයි.

උදාහරණයක් ලෙස මෙක්සිකානු දේශ සීමාව ඉලක්ක කර ගනිමින් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ කඩිනම් විමර්ශන දියත් විය යුතු බවත්, ඉකුත් සතියේ රටෙහි අගනුවරේ හටගත් කෝලාහල සැලසුම් සහගතව දියත් කළ ක්‍රියාදාමයක ප්‍රතිඵල ද යන වග වහා සොයා බැලිය යුතු බවත් මේරි අවධාරණය කළා ය.

“මීට සම්බන්ධ වූ සියළු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නඩු පවරා වරදකරුවන් කොට බරපතල දඬුවම් ලබා දිය යුතුයි.”

මේරි ද ගාඩියන් පුවත්පතට පැවසුවා ය.

“අමතක කරන්න එපා – වසංගතයක් මධ්‍යයේ තැපැල් ඡන්ද අවලංගු කිරීමට උත්සාහ කළ පුද්ගලයා මොහු යි. පෙන්ටගනයේ ඉහළ නිලධාරීන් ට ඉල්ලා අස්වීමට බල කර ඒ වෙනුවට අවස්ථාවාදීන් පත් කිරීමට කටයුතු කළ පුද්ගලයා මොහු යි. ඉකුත් බදාදා දින හටගත් කලහකාරී සිදුවීම පාලනය කිරීමට ජාතික ආරක්ෂක භට එවීමෙන් වැළකී සිටීමට පෙන්ටගනය පැය හයක් කටයුතු කළේ මෙම හේතුව නිසා යි. රටේ පවතින සෑම ආයතනයක් බිඳ දැමීමට මෙම මිනිසාට අවසර ලබා දීම නිසා යි අපේ රටට මේ අවාසනාවන්ත තත්ත්වය උදා වූයේ.”

මේරි වැඩිදුරටත් පෙන්වා දුන්නා ය.

තම බාප්පා කිසි දිනක නීත්‍යානුකූල ජයග්‍රහණයක් ලබා ගෙන නැති බවද මේරි සැලකළා ය. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අභිලාෂය ජයග්‍රහණය බවත්, එය ලබා ගත යුතු ආකාරය කුමක් ද යන්න ඔහු ට අදාළ නැති බවත් ඈ පෙන්වා දුන්නා ය.

ට්‍රම්ප් ගේ මෙම ක්‍රියාකලාපය සහ ඉකුත් බදාදා දින ඇමරිකානු අගනුවර හටගත් අවාසනාවන්ත තත්ත්වය හමුවේ රිපබ්ලිකන්වරු දරන අදහස කුමක්ද? අන්ධ භක්තික ට්‍රම්ප්වාදීන් නොව ප්‍රගතිශීලී උගත් බුද්ධිමත් රිපබ්ලිකන්වරු ද එක්සත් ජනපදයේ ජීවත් වෙති. ඔවුන් මේ පිළිබඳ දරනු ලබන්නේ කුමන ආකල්පයක් ද?

ට්‍රම්ප් සිදුකළ මහා විනාශයට දඬුවම් පැමිණවීමට එම රිපබ්ලිකන්වරු ද කටයුතු නොකරන්නේ නම්, ඔවුන් නොබෝ දිනක ඔවුන්ගේ විනාශය ද ළඟා කර ගනු ඇත.

මේ පිළිබඳ සිතෙහි තබා ගත යුතු කවුරුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ව අවතක්සේරු නොකළ යුතු ය. ඔහු තවමත් ඇමරිකාවේ ජනාධිපතිවරයා ය. ලොව බලවත් ම පුද්ගලයා ය.

සති දෙකක කාලයකින් ට්‍රම්ප් ට එරෙහි ව ගොනුවී ඇති මූල්‍ය අවභාවිතා චෝදනා, අපරාධ චෝදනා සහ ආයතන බංකොලොත්භාවයට තුඩුදීමට හේතුවූ ක්‍රියාකලාප ආශ්‍රිත චෝදනා වලින් බේරී සිටීමට ජනාධිපති කාර්යාලයක් ඔහුට හිමි නොවනු ඇත.

එහෙත්… සති දෙකක කාලයක් තවමත් ඉතිරිව ඇත.. ඔහු මීළඟට කරනු ලබන්නේ කුමක් ද යන්න ඉතා අවිනිශ්චිත ය.

*Mary Trump: ‘My uncle is unstable. He needs to be removed immediately’ නම් ද ගාඩියන් ලිපිය ඇසුරිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි