×

මෙගන් කුමරිය අවතාරයක්ද..?

රාජකීයයන්ටත් තේරුම් බේරුම් කරගත නොහැකි අරුම පුදුම දේ බ්‍රිතාන්‍යය රජ ගෙදර කලින් කලට සිදු වේ. ඒ අන්දමේ චරිත දෙකක් ගැන කවුරුත් මවිතයට පත්වන තරමේ අමුතු සැසඳීමක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වල කතා බහට ලක්වෙමින් ත්බේ. එම සැසඳීම සිදුවන්නේ හැරී කුමරුගේ ආදරණීය බිරිය - මෙගන් මර්කල් කුමරිය සහ අටවන එඩ්වර්ඩ් රජු සමඟ විවාපත් වුණු වැලිස් සිම්ප්සන් අතර යි.


වැලිස් සිම්ප්සන් ආර්යාව ලෙසින් ප්‍රකට ඇය ඇතැම් අවස්ථාවලදී ‘වොලී සිම්සන්‘ ලෙස ද සඳහන් වේ. එදා බ්‍රිතාන්‍යයේ අටවැනි එඩ්වඩ් රජු, සිය කිරුළ අතහැරියේ වොලී සිම්සන් ආර්යාව නිසා ය.

පහත දැක්වෙන්නේ මෙගන් කුමරිය සහ වොලී සිම්සන් ආර්යාව අතර පවතින අරුම පුදුම සමානකම් කිහිපයකි.

සසෙක්ස්හි ආදිපාදවරිය වන මෙගන් මර්කල් උපත ලැබුවේත් හැදුනේ වැඩුණේත් ඇමෙරිකාවේ ය. හැරී හා විවාපත් වන්නට පළමුව මෙගන්, හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ ට්‍රෙවර් එන්ගල්ස් සමඟ දීග ගොස් ඒ දීගය හමාර කර සිටියාය. මෙගන් – ට්‍රෙවර් විවාහය පැවැතියේ දෙවසරකට ආසන්න කාලයකි. හැරී කුමරුව පළමුවෙන්ම හමුවන විට මෙගන් වයස අවුරුදු 34හි පසු වූවා ය.

සිය පියාගේ ඇවෑමෙන් පසු එඩ්වර්ඩ් කුමරු අටවන එඩ්වර්ඩ් නමින් රජ විණ. අටවන එඩ්වර්ඩ් රජතුමා, වැලිස් සිම්ප්සන් නමැති ඇමෙරිකා ජාතික කාන්තාව සමඟ විවාහ වීම සඳහා රජකම අතහැර දැමුවේ ප්‍රධාන වශයෙන්ම ඇය විවාහක කාන්තාවක් නිසා ය. වැලිස් සිම්ප්සන් – අටවන එඩ්වර්ඩ් හමුව සිදුවනවිට වැලිස් සිය පළමු සැමියාගෙන් දික්කසාදය ලබා දෙවන සැමියාගෙන් ද දික්කසාදය බලාපොරොත්තු වෙමින් සිටියාය. වැලිස් සිම්ප්සන් අටවන එඩ්වර්ඩ් රජුට 1931 දී පළමුවෙන්ම හමුවන විට පසු වූයේ ද තිස් හතර හැවිරිදි වියෙහි බව දැක් වේ. හැරී කුමරුට මෙගන් කුමරිය හමුවන්නේ ද එම වයසේදීම ය.

වැලිස් ස්ම්ප්සන් සහ මෙගන් අතර සැසඳුම ඩේලි මේල් පුවත්පතට ලියන ෆ්‍රැන්සිස් හාර්ඩි පවසන්නේ මේ ගැහැනුන් දෙදෙනා ශාරීරික ලක්ෂණ අතින් ද සමාන යැයි කියාය. ඔවුන් දෙදෙනාගේම හිස කෙස් කළු පැහැතිය. දෙදෙනාම හිස කෙස් බෙදා වෙන් කරන්නේ හිස මැදිනි. ඔවුන් දෙදෙනාගේම දෑත් සිහින් සහ කෝමළ බවින් පිරුණු ඒවා වීම තවත් විශේෂත්වයකි.

වැලිස් සහ මෙගන් යන දෙදෙනාම හැඩකාරියන් ය. වැලිස් එදා ඇන්ඳේ පැළන්ඳේ යම් සේද මෙගන් කුමරියත් ඊට සමාන අන්දමේ ම ඇඳුම් පැළඳුම් සහ තොප්පි තෝරා ගන්නා බවක් පෙනේ. වැලිස් එදා තෝරාගත් ඇඳුම්වල පැහැයන්ට සමාන පැහැයන්ගෙන් කරන ලද ඇඳුම් මෙගන් කුමරියත් තෝරාගන්නා බව පැහැදිලි ය. වැලිස් වඩාත් ප්‍රිය කළේ හබර්ට් ඩෙ ගිවෙන්චි නම් ඇඳුම් මෝස්‌තර නිර්මාණ ශිල්පියා නිම කළ ඇඳුම් ඇඳීම සඳහායි.

මෙගන් සිය මංගල ඇඳුම තෝරා ගත්තේ ද එම මෝස්‌තර නිර්මාණ ශිල්පියා ආරම්භ කළ නිර්මාණ ආයතනයෙනි.

මෙගන් සිය මංගල දිනයේදී ශාන්ත ජෝර්ජ් දේවස්ථානයට පැමිණියේ රෝල්ස් රොයිස් ෆැන්ටම් – iv වර්ගයේ මෝටර් රථයකිනි. මෙයට වසර 46කට පමණ පළමුව වැලිස් සිම්ප්සන් සිය සැමියාගේ ආදාහන උත්සවයට පැමිණියේ ද එකී මෝටර් රථයෙන්ම බැව් සඳහන් වේ.

මේ සමානකම් ගැන සලකා බලන ඕනෑම කෙනෙකුට වැලිස් සිම්ප්සන් යනු මෙගන්ගේ පූර්ව ආත්මයදැයි කියා නිකමට මෙන් සිතෙන්නට පුළුවන. එහෙත් මෙගන් 1981 වසරේදී උපත ලබන විටත් වැලිස් සිම්ප්සන් ජීවතුන් අතර සිටි බැව් වෙසෙසින්ම මෙහිදී මතක් කළ යුතුව ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි