×

බ්‍රිතාන්‍යය රජ පවුලට අලුත් අමුත්තෙක්!

බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම විවාපත් යුවළ වන මෙගන් සහ හැරී යුවළ මාපියන් වන්නට යන බව සනාථ වනවා. මේ බව කෙන්සිංටන් මාළිගය ට්විටර් පණිවුඩයක් මගින් සනාථ කර තිබුණා.


37 හැවිරිදි මෙගන් කුමරිය, 2019 වසරේ වසන්ත සෘතුවේදී බිළිඳෙකු බිහි කරන්නට බලාපොරොත්තුවෙන් සිටින බව එහි දැක්වෙනවා.

එම නිවේදනය නිකුත් කෙරුණේ මෙඝන් මර්කල් කුමරිය සති දොළහක ගැබිණියක බව රැජින වෙත සැලකිරීමෙන් අනතුරුවයි. හැරී කුමරු සහ මෙඝන් කුමරිය මේ පුවත දෙවන එළිසබෙත් රැජිනට දැනුම් දුන්නේ ඉයුජින් කුමරියගේ විවාහ මංගලෝත්සව අවස්ථාවේදී බව සඳහන් වේ.

මේඝන් කුමරිය දරු ප්‍රසූතිය සිදු කරනු ඇත්තේ ලබන අප්‍රේල් මස 23වැනිදා විය හැකියැයි නිල නොවන වාර්තා පවසයි. ඒ අනුව විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ තෙවැනි දරුවා වන ලුවිස් කුමරුගේ උපන් දිනය දා මේඝන් කුමරියගේ දරුවාත් උපත ලබනු ඇත. මෙඝන් කුමරියගේ දරුවා “බ්‍රෙක්සිට් බේබි” (Brexit Baby) යන නමින් ඇතැම් සමාජ මාධ්‍ය ජාල හඳුන්වා දී තිබේ. බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ලබන මාර්තු 29වැනිදා ඉවත් වීමට නියමිතය. මේ ඉවත් වීමෙන් නොබෝ දිනකට පසුව දරුවා උපත ලබන බැවින් ඒ නම තබා ඇති බව සඳහන් වේ. මෙඝන් කුමරියට ඉපැදෙන දරුවා රජ කිරුළට හිමිකම් කියන හත්වන සාමාජිකයා වනු ඇත. රජ ගෙදර අනුගමනය කරන සම්ප්‍රදායන් සහ නීති රීති අනුව මෙඝන් කුමරියගේ දරුවා කුමරා හෝ කුමරිය හෝ වශයෙන් හැඳින්වීමට ඉඩක් නැත. එසේ වූවත් පියා සහ මව සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන බැවින් දරුවාගේ නමටත් සසෙක්ස් යන පදය එකතු වීමට නියමිතය. දරුවා, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය යන දෙරටේම පුරවැසිකම් ලබනු ඇති බවට මත පළ වේ.

බ්‍රිතාන්‍යය රජ ගෙදරට අලුතින් එකතු වන සාමාජිකයන් බලා ගැනීමට ආයම්මලා යෙදවීම සාමාන්‍ය සම්ප්‍රදායයි. මෙඝන් කුමරියගේ මව – ඩෝරියා රැග්ලන්ඩ් ඇමෙරිකාවේ කැලිෆෝර්නියාහි පැවැත්වෙන බබාලා බලාගැනීමේ විශේෂ පන්තියකට මේ දිනවල සහභාගී වෙමින් සිටින බව පැවසේ. මේ නිසා මෙඝන් කුමරියගේ දරුවා බලා ගැනීම බොහෝ විට සිදුවනු ඇත්තේ ඩෝරියා රැග්ලන්ඩ් අතිනි.

හැරී කුමරු සහ මෙඝන් කුමරිය දින දහසයක ඕස්ට්‍රේලියා සංචාරයක් මේ වනවිට අරඹා සිටිති. ඔවුන් දෙපළ නවසීලන්තය, ෆීජි සහ ටොංගා යන රාජ්‍යවලත් සංචාරය කිරීමට නියමිතව ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි