×

පොලිසියට ගිනි අවි වෙනුවට කැටපෝල!

මෙක්සිකෝවේ ඇල්වරාදෝ (Alvarado) පොලිසියට කැටපෝල ලබාදීමට රජය තීරණය කර තිබේ.


මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ පොලිසියට එසේ ලබාදුන් කැටපෝලයක් ඇල්වරාදෝ නගරාධිපතිවරයා විසින් පරීක්ෂා කරමින් සිටින ආකාරයයි.

ගිනි අවි අතැති පොලිසිය, ඒවා පාවිච්චි කරන්නේ කෙසේද යන්න ගැන ලෝකයේ රටවල් ගණනාවක අර්බුදකාරී තත්වයක් මතුව තිබේ. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පොලිසියට තිබෙන පොදු චෝදනාවක් වන්නේ වන්නේ ආයුධ සඟවා ඇති ස්ථාන පෙන්වන්නට යැයි කැඳවාගෙන ගොස් සැකකරුවන් මරාදමන බවයි. ආයුධයක් අතැති නිසාම, සාමාන්‍ය සිවිල් පුරවැසියෙකුට නොමැති බලයක් ආඩ්‍ය කරගන්නා පොලිස් දෙපාර්තමේන්තු අතරට මෙක්සිකානු පොලිසිය ද දැන් එක්ව සිටියි.

ඇල්වරාදෝ යනු මෙක්සිකෝවේ පිහිටා තිබෙන වෙරළබඩ නගරයකි. මේ නාගරික පොලිසියේ සිටින අති බහුතරයකට ගිනි අවි වෙනුවට කැටපෝල් ලබාදීමට රජය තීරණය කළේ විශේෂ හේතුවක් නිසා ය. එනම්, මෙක්සිකානු රජය විසින් පවත්වනු ලබන, රාජකාරියේ යෙදීමට සුදුසුකම් තිබේදැයි පරීක්ෂා කර බලන පරීක්ෂණය, ඇල්වරාදෝ පොලිසියෙන් අති බහුතරයක් අසමත් වීමයි.

එනම්, ඇල්වරාදෝ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන පොලිස් නිලධාරීන් 130 දෙනා අතරින් එම පරීක්ෂණය සමත් වී තිබෙන්නේ නිලධාරීන් 30 දෙනෙක් පමණි. ඒ අනුව සෙසු සියල්ලන්ම සිය නිලයන්ගේ කටයුතු කිරීමට නුසුදුසු අය බව තීරණය කර තිබේ.

ඒ අනුව ඇල්වරාදෝ පොලිසියේ නිලධාරීන්ගේ සියලුම ගිනි අවි රාජසන්තක කිරීමට මෙක්සිකෝ ආණ්ඩුව කටයුතු කළේය.

මේ අනුව සෑම ඇල්වරාදෝ පොලිස් නිළධාරියෙකුටම ගිනි අවිය වෙනුවට දැන් කැටපෝලයක් සහ ගල් මල්ලක් ලබාදෙනු ලැබේ.

Photo: Courtesy of the Alvarado municipal government

නගරාධිපති බොගාර් රුයිස් රොසාස් මෙම අර්බුදය පිළිබඳ සඳහන් කරමින් පැවසුවේ පොලිසියට වහාම නව බඳවා ගැනීම් සිදුකර, නව පොලිස් ඇකඩමියක ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදෙන බවයි. නමුත් ඒ, කැටපෝල පුහුණුව පිළිබඳ හෙම නොවේ. නීතිගරුක පොලිස් නිළධාරියෙක් වශයෙන් ගිනි අවියක් නිවැරදිව පරිහරණය කරන්නේ කෙසේද, ගිනි අවියක් පරිහරණය කළ යුතු නිවැරදි අවස්ථාව කුමක්ද යනාදිය ඇතුළත් විද්‍යාත්මක පොලිස් පුහුණුවක් ලබාදීම සඳහා ය.

නගරාධිපතිවරයා නම් පවසන්නේ ජූලි 1 වැනිදා පැවති මෙක්සිකෝ මහමැතිවරණයට සමගාමීව පොලිසිය නිරායුධ කිරීමේ දේශපාලන අරමුණක් මෙම ක්‍රියාව පිටුපස තිබෙන බවයි. නමුත් මෙක්සිකෝ පොලිසිය විසින් අයුතු ජනරාශි මැඬලන ආකාරය, මත්ද්‍රව්‍ය සැකකරුවන් වග විභාගයක් නොමැතිව මරා දමන ආකාරය යනාදිය ප්‍රකට වී ඇති නිසා මෙක්සිකානු රජය මෙම තීරණය වෙනස් කිරීමට කඩිනම් වන්නේ ද නැත.

ඇල්වරාදෝ ආණ්ඩුකාරවරයාගෙන් මෙක්සිකෝ මාධ්‍ය මේ ගැන විමසූ විට ඔහු අපූරු පිළිතුරක් ලබාදුන්නේය. ඔහු පැවසුවේ, ‘‘පොලිසිය ගැන විශ්වාසය තැබිය නොහැකි බව‘‘ යි.

පසුගිය සමයේ සිදුවූ අතුරුදන්වීම්, මහා පරිමාණ සමූහ ඝාතන සහ අවම වශයෙන් මාධ්‍ය වේදීන් 20 දෙනෙකු පමණ මරා දැමීම වැනි අපරාධ පිටුපස සිටින්නේ පොලිසිය බවට විශ්වාසයක් තිබේ.

මේ වන විට මෙක්සිකෝවේ තිජුවානා, ඔක්සාකා වැනි ප්‍රදේශවල තිබෙන පොලිසිවලට ද කැටපෝල් ලබාදී ඇතත්, ඒ ඔවුන්ගේ අසමත් කමක් නිසා නොව, ගිනි අවි සමග පාවිච්චි කිරීම සඳහා ය. නමුත් ඇල්වරාදෝ පොලිසියට සිදුවුණේ ගිනි අවි බිමින් තබා කැටපෝල්වලින් ගල් කැට විදින්නට පටන් ගැනීමයි.

මේ අනුව මෙක්සිකෝව, හිතුමතේට වැඩ කරන, නීතිය නවන පොලිසියට කැටපෝල් සහ ගල් කැට ලබාදීම මගින් ලෝකයටම ආදර්ශයක් දී තිබෙනවා යැයි ද කිව හැක.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි