×

දකුණු කොරියාවේ මෑන්පවර් වියරුව!

රට ගැන කැක්කුමක් ඇති වෙයන්.. එහෙයින් රටට සේවය කරපන්..


ඉංග්‍රීසි බස ඉගැන්වීමට සහ විද්‍යාල ණය ගෙවීමට දකුණු කොරියාවට පැමිණි චුන් නම් තරුණයා හට කිසිවිටකත් හමුදාවට බැඳීමට සිදුවේ යැයි ඔහු මොහොතකටවත් නොසිතීය.

එහෙත් එවකට කොරියානු වචනයක් දෙකක් ගැටගසා ගත් ඔහුට වයස 25 වන විට නිල ඇඳුමකින් සැරසී මාස 24 ක කාලයක් හමුදා සේවයේ නියලීමට සිදුවිය. මෙම කාලය ඇතුලත ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුමකට සම්බන්ධ වීමට ද සිදුවිය.

මේ අන්දමින් දකුණු කොරියාවට පැමිණෙන වෙනත් කොරියානු ඇමරිකානුවන් හටද මෙම අත්දැකීමම මුහුණ පෑමට සිදුවී ඇත. ඒ අනුව දකුණු කොරියානු රජය විසින් මිනිස් බලය (Man Power) සෙවීමේ කටයුත්තක් ලෙස මෙසේ කොරියානු සම්භවය ඇති වෙනත් රටවල පුද්ගලයන් ගේ නම් හමුදා සේවයට ඇතුලත් කිරීමේ ලේඛන කෙටුම්පත් කරන බව වාර්තා වේ. ඒ හරහා සිය පුරවැසිභාවය හිමි රට කරා නැවත ගමන් කිරීම අවහිර වීමක් සිදුවේ.

ලොව 11 වන විශාලතම ආර්ථිකය හිමි යැයි පැවසෙන දකුණු කොරියාව තුළ මෙසේ කොරියානු සම්භවය ඇති පුරුෂයින් බලහත්කාරයෙන් සේවාවන් වලට යොදා ගැනීම එකී ආර්ථිකය රැක ගැනීම සඳහා කලක පටන් ක්‍රියාත්මක කරන උපාය මාර්ගයකි.

ජපානයේ මෙන්, දකුණු කොරියාවේ ද ජන විකාශනය පහත වැටෙමින් තිබේ. 2017 වර්ෂයේදී දකුණු කොරියාවේ වයස අවුරුදු විසි ගණන් වල තරුණයින් තුන්ලක්ෂ පනස් දහසක් මෙසේ බලහත්කාරයෙන් රඳවා තබා ගනිමින් හමුදා සේවාවන් වලට අනුයුක්ත කර ඇති අතර, 2022 වර්ෂය වන විට එය දෙලක්ෂ පනස් දහසක් දක්වා අඩුවනු ඇති බවට ඇස්තමේන්තු කොට තිබේ.

පසුගිය නොවැම්බර් මස මිලිටරි මෑන්පවර් කොමිෂන් හෙවත් එම්එම්සී ආයතනයේ නිලධාරියකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ස්වභාවික කොරියානු සම්භවයක් ඇති පුද්ගලයින් සිය මව් රටට ඉටු කළ යුතු රාජකාරිය හා වගකීම පිළිබඳ හැඟීම ශක්තිමත් කරනු වස් මෙවන් රෙගුලාසි රජය විසින් පනවා ඇති බවයි.

දකුණු කොරියාවේ ස්වෛරීභාවය හා රාජ්‍ය තාන්ත්‍රය අතර අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය කිරීමට මින් අවදානමක් පවතින මෙන්ම මානව හිමිකම් උල්ලංඝනය වීමක් ඇති විය හැකි බවද ඇතැම්හු පෙන්වා දෙති. බටහිර සංකල්පයන් ට අනුව පුද්ගලයකු උපදින රට තුළ පුරවැසිභාවය හිමිවන අතර, දකුණු කොරියානු සම්ප්‍රදාය අනුව ලෙය නෑකම් කියන්නේ කුමන දේශයට ද යන්න මත පුරවැසිභාවය අර්තකථනය කරනු ලබයි. ඒ අනුව දකුණු කොරියාවට නෑකම් කියනා ඕනෑම පුද්ගලයකු වෙනත් රටක සිට දකුණු කොරියාවට පැමිණෙන්නේ නම් මෙම රෙගුලාසියට යටත් වීමට සිදුවේ.

සෑම වසරකම වයස අවුරුදු 35 හෝ ඊට අඩු පුද්ගලයින් දහසකට ආසන්න සංඛ්‍යාවක් මේ අන්දමින් දකුණු කොරියාව තුළ බලහත්කාරයෙන් ස්වභාවිකකරණයට ලක්වේ. එනම් විදෙස් රටක සිට පැමිණ කොරියානු සම්භවයක් පවතී නම් කොරියානු පුරවැසිකරණයට ලක්කරනු ලබයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි