×

සති තුනක් ඇතුළත සිය ගණනින් මිය ගිය ස්කොට්ලන්තයේ අලංකාරය

පෆින් පක්ෂියා ස්කොට්ලන්තයේ අලංකාරයයි.


නමුත් යම්කිසි නොදන්නා හේතුවක් මත ඒ අලංකාරය සමුදුරු පතුලේ සහ පාළු වෙරළ තීරයේ සැඟවෙමින් තිබේ.

නැවක් මුහුදුබත් වනවාට කියන්නේ ‘ෂිප්ව්‍රෙක්’ (ship wreck) කියා ය. දැන් පෆින් පක්ෂීන්ගේ මේ ඉරණම ගැන පක්ෂි විශේෂඥයන් කියන්නේ ‘පෆින්ව්‍රෙක්’ (puffin wreck) කියා ය.

සියවස් භාගයකින් ලෝකයේ වාර්තා වන පෆින් ඛේදවාචකය මෙය බව මේ වන විට පැහැදිලි ය.

පාරිසරික වෙනස්වීම් සහ ඒවා සාගර පක්ෂීන්ගේ නිකේතනවලට බලපාන ආකාරය ගැන නියත ලකුණක් වන මේ නිරීක්ෂණය වාර්තා කර තිබෙන්නේ එක්සත් රාජධානියේ The UK Centre for Ecology & Hydrology (UKCEH) ආයතනය විසිනි.

වසරකටම එක බිත්තරයක් පමණක් බිහි කරන අහිංසකයා

සොබා අලංකාරයේ සංකේතයක් බඳු පෆින් පක්ෂීන්ට ඒ නම යෙදී තිබෙන්නේ ඔවුන්ගේ පැද්දෙන-පෙරළෙන රූප කාය නිසා ය. පැහැය වෙනස් කළ හැකි හොටයක් සමග වසරකටම එක බිත්තරයක් පමණක් දරන පෆින්, සිය විශේෂිත දිව යොදාගනිමින් මසුන් අල්ලන ආකාරයත්, ඉන්පසු මත්ස්‍යයා සමබර කරන ආකාරයත් ඉතා මනරම් ය. වසරකට එක් බිත්තරයක් පමණක් දැමීම විසින් උන් සිටින්නේ ස්වභාවිකවම වඳ වී යා හැකි අවදානමක ය.

කුරුළු උණ නොවේ

උන් පසුගිය මාස 6 ඇතුළත ස්කොට්ලන්තයේ ඊසාන දිග වෙරළ තීරය, ඔර්ක්නි සහ ෂෙට්ලන්ඩ් පෙදෙස්වලට මළ සිරුරු ලෙස ගොඩ ගසන්නේ මේ වාතාවරණය තුළ ය. ලබන වසරේ ඔවුන්ගේ පැටවුන් බිහි කිරීමේ ක්‍රියාවලියට මෙය සෑහෙන බලපෑමක් ඇති කරනවා ඇත.

රෝගී පෆින්ලා ද ‌මේ අතරවාරයේ නොමදව දැක ගත හැකිය. මිය ගිය පෆින්ලා සැලකෙන්නේ මාංශපේශී කෘෂ වීම නිසා මිය ගිය අය ලෙස ය. එය, ඔවුන්ගේ සාගර ආහාර දාමයේ ගැටළුවක් පෙන්වා දෙනවා ද විය හැකිය.

මේ වසර මුලදී ස්කොට්ලන්තයේම වෙරළ තීරවලින් ගිලොමොට් වර්ගයේ පක්ෂීන් ද රේසර්බිල් වර්ගයේ සමුදුරු පක්ෂීන් ද බුරුතු පිටින් මිය ගොස් තිබිණි. එයට හේතුවක් ද සොයාගත හැකි වූයේ නැත.

මේ අතර මියගිය පෆින් සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකෙරී අවසන් ය. උන්ට කුරුළු උණ වැළඳී තිබුණේදැයි පරීක්ෂා කළත්, හෙළි වුණේ උන් එම වෛරසයට නෙගටිව් බවයි. ඒ් අනුව මේ අබිරහස් මරණ විසින් ඉඟි කරන්නේ පැහැදිලිවම සාගර පරිසර පද්ධතියේ අසමතුලිත බවක් විය යුතුය.

මේ සඳහා දැනට පැහැදිලි කිරීම් කිහිපයක් ඉදිරිපත් වී තිබේ. ඒ පහත පරිදි ය.

පෆින් සතුන් මෙයාකාරයෙන් මිය යන්නේ සාගර ආහාර සැපයුමේ අකර්මණ්‍යතාවයක් නිසා විය හැකිය. එම අකර්මණ්‍යතාවය හටගෙන තිබෙන්නේ සැප්තැම්බර් මුල සතිවල සාගර ජල තීරය අසාමාන්‍ය ලෙස උණුසුම් වීම නිසා විය හැකිය.

ඇල්ගී එක්රොක් වූ ස්ථානවලින් විෂ නිකුත් වීම ද මෙයට හේතුවක් විය හැකිය.

මේ මරණවලට හේතුව, ඉහත කී හේතු දෙකම ද විය හැකිය.

හේතුව කුමක් වුණත්, ස්කොට්ලන්තයේ සමුදුරු අලංකාරය දැන් අබිරහස් ලෙස මියැදෙමින් තිබේ. ලබන වසර මුල දක්වාම පරීක්ෂණ සිදු කෙරෙනු ඇත.

මහජනතාවට විශේෂ ඉල්ලීමක්

”ඔබ වෙරළ තීරයේ ඇවිදිමින් සිටින විට මැරුණු පෆින් පක්ෂියෙක් දක්නට ලැබුණොත් ඌ අල්ලන්නට එපා..” එසේ කියන්නේ සාගර විශේෂඥයන් ය.

මිනිසාගේ දුර නොදක්නා ක්‍රියාකාරකම් හේතුවෙන් සාගර ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යයි. තවද සාගරය සෙමෙන් ලෝදිය හැලියක් බවට පත්වෙමින් තිබේ. ස්කොට්ලන්තය පරිසරයට ආදරය කරන රටකි. මිය ගිය පෆින් පක්ෂීන් ඇල්ලීම මහජනතාවට තහනම් කරන අතරම, එවැන්නෙක් දුටුවහොත් කළ යුතු දේ ද ඔවුන් විසින් පැහැදිලි උපදෙස් ලෙස මේ වන විට දක්වා තිබේ.

ඔවුන් උපදෙස් දී තිබෙන්නේ, පක්ෂී සිරුරේ හොට සහ පියාපත් පැහැදිලිව පෙනෙන පරිදි ඡායාරූපයක් ගෙන එය තමන් වෙත යොමු කරන ලෙසට ය.

එයට අමතරව, රෝගී පක්ෂියෙකු දුටුවහොත්, වහාම ඇමතිය යුතු අංක දෙකක් ද ස්කොට්ලන්තය ප්‍රකාශයට පත් කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි