×

ජපානයට බලපෑ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට

අනතුරට ලක් වූ ප්‍රදේශයට භටයන් දහසකට අධික පිරිසක් යවා ඇති බව වාර්තා වන අතර මාර්ගයන්ට දැඩිලෙස හානි සිදුවී තිබීම හේතුවෙන් ගලවා ගැනීමේ කටයුතු දුෂ්කර වී තිබේ.


ඊයේ(01)දිනයේදී මධ්‍යම ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයේ වෙරළබඩ නගරයක් වන වජිමා නගරයට බලපෑ රිච්ටර් මාපක 7.5 ක භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඉදිරි දින කිහිපය තුළ පසු කම්පන ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කර ඇති අතර වෙරළබඩ තිරයේ ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත මාරු කර යවා ඇත. භූමිකම්පාවෙන් අනතුරුව මීටර් 1.2 (අඩි 4) දක්වා වූ සුනාමි රළ වජිමා නගරයේ වෙරළබඩ ප්‍රදේශයට බලපා ඇති අතර කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් මේ වන විට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන ඉවත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජපානයේ මහජන විකාශක NHK වාර්තා කර තිබුණේ, භූ කම්පනයෙන් අනතුරුව මධ්‍යම ජපානයේ වජිමා නගරයේ විශාල ගින්නක් ඇතිවූ බවත් ඉන් සාප්පු සහ නිවාස 100 කට අධික ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති බවත්ය. බොහෝ ගොඩනැගිලි සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති අතර සුන් බුන් යට තවත් විශාල පිරිසක් ඇති බව විශ්වාස කෙරේ.

අනතුරට ලක් වූ ප්‍රදේශයට භටයන් දහසකට අධික පිරිසක් යවා ඇති බව වාර්තා වන අතර මාර්ගයන්ට දැඩිලෙස හානි සිදුවී තිබීම හේතුවෙන් ගලවා ගැනීමේ කටයුතු දුෂ්කර වී තිබේ.

බුලට් දුම්රිය සහ කලාපය තුළ සහ ඉන් පිටත ගුවන් ගමන් සියල්ල අත්හිටුවා ඇති අතර ප්‍රධාන මහාමාර්ගවල කොටසක් වසා දමා තිබේ. ජල නල පුපුරා යාම හේතුවෙන් ඒවා පිළිසකර කරන තෙක් ජල සැපයුම් තාවකාලිකව නවතා දමා ඇති අතර නිවාස 45,000කට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධිව තිබේ.

අගමැති ෆුමියෝ කිෂිඩා හදිසි ආපදා රැස්වීමකදී ප්‍රකාශ කර තිබුණේ, සුන්බුන් යට සිරවී ඇති අය බේරා ගැනීමට කඩිනමින් කටයුතු කළ බවයි.

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් මෙන්ම ඇමරිකා එක්සත් ජනපද ජනධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණේ සිය පරිපාලනය ජපානය හා සම්බන්ධව කටයුතු කරන බවත් ජපන් ජනතාවට අවශ්‍ය ඕනෑම ආධාරයක් ලබා දීමට සූදානම් බවත්ය.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි