මියන්මාරයේ ජනගහනයෙන් තුනෙන් එකකට නැතිනම් මිලියන 18 කට වැඩි පිරිසකට මානුෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.
2021 වසරේදී ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් මඟින් බලයට පත් අවුන්සාන් සුකීගේ ආණ්ඩුව පෙරළා දමා ආණ්ඩු බලය ලබාගනු ලැබූ මියන්මාරයේ හමුදා ජුන්ටාව විසින් රට තුළ ගෙන යමින් ඇත්තේ අතිශය අමානුෂික මර්දනයක් බවට ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ. වසර තුනකට පමණ පෙර සිදු වූ කුමන්ත්‍රණයෙන් පසුව අග්නිදිග ආසියානු රටෙහි මානුෂීය තත්ත්වය නරක අතට හැරී ඇති අතර මේ වන විට ජාත්‍යන්තර ආධාර විශාල වශයෙන් නැවතා දමා තිබේ.
රට තුළ දරුවන් මිලියන 6ක අධික පිරිසක් අවතැන්වීම්, සෞඛ්‍ය සේවා හා අධ්‍යාපනයට බාධා කිරීම්, ආහාර අනාරක්ෂිත භාවය සහ මන්දපෝෂණය සහ බලහත්කාරයෙන් බඳවා ගැනීම් සහ මානසික පීඩා ඇතුළු ආරක්ෂණ අවදානම් හේතුවෙන් පිඩනයට පත්ව තිබේ.
මියන්මාරයේ පවතින මෙම අනාරක්ෂිත අර්බුදය ආර්ථික හා කලාපීය ස්ථාවරත්වයට, විශේෂයෙන්ම මානව ආරක්‍ෂාවට සහ කලාපයේ ආර්ථික ආරක්‍ෂාවට බරපතලම තර්ජනයක් එල්ල කරයි. එහෙත් යුක්රේන අර්බුදයට ප්‍රතිචාර වශයෙන් යුරෝපා සංගමය කළ දෙයින් දහයෙන් එකක්වත් මියන්මාරය වෙනුවෙන් සිදු නොවන අතර ලෝක නායකයන් දක්වන්නේ මේ සම්බන්ධයෙන් නිද්‍රාශීලී ප්‍රතිපත්තියකි.
මෙම සිවිල් යුද්ධය අවසන් වන්නේ කෙසේද සහ කවදාද යන්න කීමට අපහසු නමුත් මියන්මාරයේ මිලියන ගණනක් සිවිල් වැසියන් කම්පනයට පත් ව තිබේ. සාමය සොයා ගැනීමට වැඩි කාලයක් ගත වන තරමට මියන්මාරයේ දූෂණය හා ප්‍රචණ්ඩත්වය රජයමින් ඇත.
සශිකලා මධුෂාණි