×

රුසියානු දියයට නාවික හමුදා යාත්‍රාවක හටගත් ගින්නකින් 14ක් මරුට!

රුසියානු දියයට නාවික හමුදා යාත්‍රාවක හටගත් අභිරහස් ගින්නකින් කාර්යමණ්ඩල සාමාජිකයින් 14ක් මරුට! රජය තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරයි!!


රුසියානු නාවික හමුදාවට අයත් දියයට ගිල්විය හැකි පර්යේෂණ කටයුතු යානයක හටගත් ගින්නකින් කාර්යමණ්ඩලයේ 14 දෙනෙකු මිය ගිය බව එරට ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 

පසුගිය සඳු දින එම යානය රුසියානු භෞමික මුහුදු තීරයේ මිනුම් ගනිමින් සිටින අතරතුර මෙම ගින්න හටගත් බවට අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි. 

ගින්නෙන් හට ගත් විෂ දුම හේතුවෙන් මෙම නිලධාරීන් මරණයට පත්වූ බවට වාර්තා වෙයි. 

අනතුර සිදුවූ දියයට ගිල්විය හැකි යානය පිළිබඳ පැහැදිලි තොරතුරක් ලබා දීම රුසියානු රජය ප්‍රතික්ෂේප කළද, එරට ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙම සිදුවීම හටගත් යානය විශේෂ මෙහෙයුම් සඳහා යොදාගන්නා ලද න්‍යෂ්ටික මිනිසබ්මැරීනයක් බවය. 

මේ වන විට ගින්න නිවා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර, අනතුර සිදුවූ යානය රුසියානු උතුරු බලඇණියේ ප්‍රධාන කඳවුර වන සෙවරමෝර්ස්ක් වෙත ගෙනවිත් ඇත. 

අනතුර පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබා දීම සීමා කිරීමට රුසියානු රජය තීරණය කිරීම පිළිබඳව මේ වන විට විවිධ කතාබහට ලක්වෙමින් පවතී. එරට ආරක්ෂක අමාත්‍යංශය මෙම අනතුර සිදුවන විට යානය තුළ කාර්යමණ්ඩල සාමාජිකයින් කී දෙනෙකු සිටියේද යන කරුණ වත් හෙලිදරව් කිරීමට කැමති නැත. කෙසේ වෙතත්, එරට මාධ්‍ය මගින් ගෙන එන ලද වාර්තා වලට අනුව, අනතුරින් තුවාල ලැබූ කාර්යමණ්ඩල සාමාජිකයින් රෝහල් ගත කිරීමක් ද සිදුවී ඇත.

මේ වන විට අනතුර පිළිබඳ විමර්ෂණ කටයුතු රුසියානු නාවික හමුදාපති ගේ මෙහෙයවීමෙන් සිදුවෙමින් පවතී. 

මේ පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් එරට ආරක්ෂක ඇමති සර්ගෙයි ෂොයිගු සමඟ අඟහරුවාදා දින සනද්‍යාවේ වයඹදිග මොස්කව් නගරයේ පිහිටා ඇති ත්වර් කලාපයේ පැවති හමුවකට සහභාගී වී ඇත. 

පුටින් සඳහන් කර සිටියේ සිදුවූ අනතුර රුසියානු නාවික හමුදාවට සිදුවූ බරපතල පාඩුවක් බවය. අනතුරින් මරණයට පත්වූ කාර්යමණ්ඩල සාමාජිකයින් වෙත තම ශෝකය ප්‍රකාශ කිරීමටද පුටින් අමතක නොකළේය. 

පුටින් ගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යවරයා අනතුර සිදුවූ යානය ගෙනවිත් ඇති සෙවරමෝර්ස්ක් වෙත යාමට නියමිත අතර, අනතුරින් මිය ගිය සාමාජිකයන් අතර සිටි කැප්ටන්වරුන් සත් දෙනෙකු හා සේවා නිලධාරීන් දෙදෙනෙකු එරට හමුදාවේ ඉහලම ගෞරව නිලතලය වන රුසියානු සමූහාණ්ඩු වීර (Hero of the Russian Federation) නිලතලයෙන් පිදුම් ලද බවට පුටින් පවසන ලදී. 

කෙසේ වෙතත්, තවමත් මෙම අනතුරට හේතුවූ ගින්න ඇතිවූයේ කෙසේද, අනතුරින් කී දෙනෙකු දිවි ගලවා ගත්තේ ද යන්න අභිරහසකි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි