×

‘අරුණෝදය‘ නිවී යයි – නාසා ආයතනයේ Dawn ග්‍රාහක වළල්ලේ සැතපෙන්න සූදානම්

ග්‍රාහක වළල්ලට ගිය නාසා යානයේ ඉන්ධන අවසන්.


පුරා අවුරුදු 10කට ආසන්න කාලයක් නාසා ආයතනයේ Dawn අජටාකාශ යානය, අඟහරු සහ බ්‍රහස්පති අතර පිහිටා තිබෙන අති විශාල පාවෙන පාෂාණ හෙවත් ග්‍රාහක වළල්ල (ග්‍රාහක පටිය) අතර සැරිසරමින් විශ්වයේ රහස් එකතු කළේය.

මේ වන විට එය සමුගන්නට සූදානම් ය. ඒ, එහි ඉන්ධන අවසන් වෙමින් තිබෙන නිසා ය.

ග්‍රාහක වළල්ලේ තිබෙන Vesta ඇස්ටරොයිඩය මත ජලය ඇති බවත්, Ceres ඇස්ටරොයිඩය මත අයිස් ගිනි කඳු තිබෙන බවත් මානවයා මුල් වරට සොයාගත්තේ Dawn නිසාය. සේරස් යනු, ග්‍රාහක වළල්ලේ පිහිටා තිබෙන විශාලතම ඇස්ටෙරායිඩය හෙවත් ග්‍රාහකයයි. මේ අති සුවිශේෂී සොයාගැනීම් නිසාම, සැබවින්ම මේ යානය, එහි නමෙහි අරුතටම ගැළපෙන ආකාරයට තාරකා විද්‍යාවට Dawn- අරුණෝදය උදා කළේය.

ඩෝන් හි ඉරණම පිළිබඳ නාසා ආයතනය මුල් වරට ඉඟි කළේ 2017 වසරේදී ය. මේ වන විට ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙන්නේ ලබන මාසයේ ඩෝන් ගේ කාලය අවසන් වන බව ය.

ඩෝන් අභ්‍යවකාශ ගත කළේ 2007 වසරේදී ය. එය ග්‍රාහක වළල්ල වෙත 2011 වසරේදී ළඟා විය. වසර කිහිපයක්ම එය ගත කළේ දැවැන්ත ඇස්ටරොයිඩයක් වන වෙස්ටා වටා භ්‍රමණය වෙමිනි. පසුව 2015 වසරේදී යානය සේරස් වෙත ගියේය. එම ග්‍රාහකය කොතරම් දැවැන්ත ද යත් විද්‍යාඥයන් එය මුලින්ම සොයාගත් විට සිතුවේ එය ග්‍රාහකයක් නොව ග්‍රහ ලෝකයක් වන බවයි. මේ වන විට එය ප්ලූටෝ මෙන්ම කුරු ග්‍රහයෙකු ලෙස සැලකෙයි.

ඇස්ටරොයිඩයක සමීප රූපරාමු මිනිසා මුලින්ම දකින්නේ මෙම ඩෝන් යානාව නිසා ය. එය මේ මෙහෙයුමේදී ඒ මතුපිට පරිසරය මුළුමනින්ම පාහේ සිතියම්ගත කළේය. සේරස් ග්‍රහයා මත කාබනික අණු ඇති බව සොයාගැනීම, මානවයා ඇස්ටරොයිඩ ගැන සිතූ විලාසය වෙනස් කළේය. කාබනික අණු හෝ කාබන් අණු සැලකෙන්නේ ජීවයේ තැනුම් ඒකකය ලෙස ය. (building blocks for life)

සැබවින්ම මේ සොයාගැනීම සැලකුණේ 2017 වසරේ හොඳම තාරකා විද්‍යාත්මක ප්‍රවෘත්තිය ලෙස ය. සේරස් ට වායුගෝලයක් නොතිබුණේය. එහි මතුපිට කිසිදු චලනයක් ද සිදුවන බවට සාක්ෂි නොවීය. වසර බිලියන ගණනකට පෙර බිහිවූ දා පටන්ම එහි මතුපිට ස්වභාවය ඒකාකාරව පැවති බව සැලකේ. එයින් අදහස් වන්නේ, ජීවයේ තැනුම් ඒකකය සේරස් මතදී කිසිවක්ම නොකළ බවයි. වෙනත් වචනවලින් කියන්නේ නම්, ඒ පවතින්නේ, වසර බිලියන 6කට පෙර සෞරග්‍රහ මණ්ඩලය බිහිවන අවස්ථාවේදී බිහි වූ කාබන් අණු බවයි. ඒ නිසා සේරස් සහ වෙස්ටා සැලකෙන්නේ වසර බිලියන 6ක මහා ඉතිහාසයේ කාල යාත්‍රිකයන් ලෙස ය.

කෙසේ නමුත් සියලුම දෙය අනිත්‍ය බව සපථ කරමින් නාසා ආයතනයේ ‘අරුණෝදය‘ වෙත දැන් ‘සැඳෑ කාලය‘ සපැමිණ ඇත. නාසා විද්‍යාඥයෝ මේ යානයේ ‘අවසන් කටයුතු‘වලදී එක් දෙයක් සම්බන්ධයෙන් ඉතාමත්ම සැලකිලිමත් වෙති. එනම්, සිය ජීවිත කාලය පුරාම ඇස්ටරොයිඩ වටා කැරකැවෙමින්, ඒවා දකිමින්, ඒ ගැන දත්ත එක්රැස් කළ ඩෝන්, කිසිදු අන්දමකින් ඇස්ටරොයිඩයක් මත සැතපිය යුතු නැති බව ඔවුන් තීරණය කර තිබේ. එයට හේතුව, පෘථිවියේ සිට ග්‍රාහක වළල්ල බලා ගමන් කළ මේ යානය, පෘථිවි බැක්ටීරියාවලින් බහුල ය. සේරස් වැනි ඇස්ටරොයිඩ මත පෘථිවි බැක්ටීරියා පතිත නොකරන්නට නාසා විද්‍යාඥයෝ වග බලා ගනිති. ඒ නිසා, ඩෝන්, අප නොදන්නා යම් කාලයක් දක්වා, සේරස් ග්‍රාහකය වටාම භ්‍රමණය වෙමින්, එහි ගුරුත්වාකර්ෂණයට තම අයිතිය භාර දෙමින් සැහැල්ලුවෙන් දෙනෙත් පියාගනු ඇත.

Source: NASA



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි