×

මා වටා අඳුර: නාවුරු දූපතේ දරුවෙක් කතා කරයි.

හත් හැවිරිදි ඉරාණ ජාතික අහෝරා නවුරු දූපතෙහි සරණාගත කඳවුරක කාලය ගෙවන පොඩ්ඩෙකි. මේ කතාව ඔහුගේ වුවද, ඔහු වැනි තවත් ගණනාවක් එහි වෙති.


සරණාගත කඳවුරු දරුවකුගේ නෂ්ටාපේක්ෂාවන්

ඔහුගේ ලෝකය මුළුමනින්ම ආක්‍රමණය කර තිබෙන්නේ බලවත් පීඩාකාරී තත්ත්වයන් පමණි. ඒ නිසා ඔහුට අනෙක් දරුවන්ට මෙන් පොත පත, පන්සල, මකනය, පාට කූරු ආදිය තබා සෙල්ලමවත් හරිහැටි හුරු නැත. මනස වසා පවතින ආතතියෙන් හටගන්නා බලවත් තෙරපුම ඔහු අමාරුවෙන් සිතුවමකට නඟන අවස්ථාවක් දෙකක් නැතිව නොවේ. ඒ සිතුවම් අප දන්නා කියන හත් හැවිරිදි පුංචි කොල්ලකු අඳින සිතුවමකට කෙසේවත් සම කරන්නට හැටියක් නැත. එසේ වුවත් පොඩ්ඩාගේ චිත්‍රවල හැඩතල සහ වර්ණ විග්‍රහ කර බලන්නට කෙනෙකුට පුළුවන. එහෙම විග්‍රහයක යෙදෙන කෙනෙකුට පොඩ්ඩාගේ මනස ක්‍රියාකරන දුර්වල ඉසව්ව හඳුනා ගැනීම එතරම් දුෂ්කර නොවේ. ඒ අවබෝධය තුළ අපට සිදු වන්නේ අහෝරු වෙනුවෙන් මහා හය්යෙන් කෑ ගසා හඬන්නට ය. Nauru child refugee

නාවුරු දූපත | The Guardian

නාවුරු දූපත | The Guardian

අහෝරුගේ සුන්දර ලෝකය තුළ රැඳවියකුගේ අත්දැකීම්, පොදි ගැසුණේ ඔහුට වයස අවුරුදු තුන යම්තමට සම්පූර්ණ වනවිටයි. වඩාත් නිශ්චිතවම කිවහොත්, ඔහුගේ පවුලේ උදවිය සරණාගතයන් නවුරු දූපතේ කඳවුරකට කොටුවීමත් සමඟය. නවුරු සරණාගත කඳවුර ඕස්ට්‍රේලියා පාලනය යටතේ පවත්නා කඳවුරකි. කඳවුරක් කීවාට එය තාවකාලික කූඩාරමක් මිස හරිහමන් තැනක් නොවේ. එවැනි කඳවුරු ජීවිතයකට අනුගතවීම වැඩිහිටියන්ට අසීරු විට අහෝරු වැනි කුඩා දරුවකු සම්බන්ධයෙන් ඒ ගැන කවරක් කතා කරන්නද?. එහෙත් ඔවුන්ගේ ජීවිතවලින් පස් වසරකට ආසන්න කාලයක් එතැනට දිය වී ගොස් ඇත. තවත් කොපමණ කලක් එහි වසන්නට සිදු වේදැයි කියා ඒ කිසිවකු දන්නේ ද නැත.

කූඩාරම පමණක් නොව දූපතත් අහෝරුට අප්‍රසන්නම අප්‍රසන්න තැනෙකි. ඒ අප්‍රසන්නකම නිසා ඇතිවන නොසතුට හේතුවෙන් පොඩිඑකා අතොරක් නැතිව ලෙඩ වෙයි. හෙතෙම නිතරම වාගේ ඔහු උණෙන් පෙළෙයි. උණක් නැති වුණොත් ඒ එහෙමත් දවසක ය. තවත් විටෙක හම පුරා දුවන දදයකි. ඒ සියල්ලටම වඩා අමාරුව, කඳවුරේ සිටින අනෙක් ළමයින්ගෙන් ලබන කෙළවරක් නැති තාඩන පීඩනයන් ය. විටෙක උන් එන්නේ අහෝරාට තර්ජනය කරමිනි. තවත් විටෙක, උන් නොහොබිනා කතාවක් කියා පොඩ්ඩාගේ රතු කට්ටය පන්නති. මේ කරුමක්කාර, කාලකන්ණි අත්දැකීම් උහුලන්නට බැරි වනවිට පොඩ්ඩාට ඉබේටා සුළුදිය පහවෙයි. වරද පොඩ්ඩාගේ ද? කඳවුර තුළ මනෝ විකාරකාරයන් වුණු අනෙක් වුන්ගේ ද? එහෙම නැත්නම් ඒ කාගේ කාගේත් වැඩිහිටියන්ගේ ද? කියා අපි නොඅසමු. වරද කොතැනක වුණත් සිදුව තිබෙන්නේ හත් හැවිරිදි පොඩි එකා තවමත් ඇඟේ චූ කරගන්නා එකෙකු වී මය.

දූපත් දරුවෝ | The Guardian

දූපත් දරුවෝ | The Guardian

අකුරු කරන්නට මඟක් නැතිකමේ බලවත් චිත්ත පීඩාව අහෝරු පොඩ්ඩාට දැනෙනවාදැයි කියා අසන්නට කෙනෙකු නැත. එහෙත් තමන්ට කිසිවක් ලියන්නට සහ කියන්නට බැරි බව අවට පිරිස් කතා වෙන හැටි ඔහුට ඇසී ඇතිවාට සැකයක් නැත. ඒ කතාවලට වඩා හිත කීරි ගැහෙන්නේ අම්මාත් තාත්තාත් වැඩිමහල් සොයුරාත් මේ ජීවිතය එපා කියමින් කරන අරගලය දකින විටයි. පස් අවුරුදු කාලයම තාත්තා ගත කළේ විශාදය ගතියෙනි. ඒ නිසා කෙළවරක් නැති ගැටළු පැන නැඟුණේය. අම්මා කිහිපවරක් සිය දිවි නසාගන්නට තැත් කළාය. ඒ සියල්ලටම පුංචි අහෝරු ප්‍රබල සාක්ෂිකාරයෙකි. ඕස්ට්‍රේලියා දේශසීමා හමුදාවෙන් සහය ඉල්ලා නිතර නිතර ලියුම් ලියන්නෙත් අම්මා ය. ඒ සමහර ලියුම් අම්මා ලියන්නේ ලෙයිනි. ඒ මදිවාට ඈ කිහිපවිටකදීම අත් පා කපා ගත්තාය. දැල්වෙන දුම්වැටිවලින් අත් පා පුළුස්සා ගත්තාය. මනෝ වෛද්‍යවරුන් කියන්නේ අහෝරුගේ අම්මා දැඩි ලෙස ඉච්චා භංගත්වයට පත්ව ඈති බවකි. ඇගේ සිහිය විකල්ව ඇති බැවින් ඈ කිසිවක් කරන්නේ චේතනාන්විතව නොවේ යැයි වෛද්‍යවරු පෙන්වා දෙති. අහෝරුගේ විසි හැවිරිදි අය්යා උද්ඝෝෂණයකට සහභාගී වෙමින් දෙතොල් එකට තබා මසා ගත් හැටි අහෝරුට අමතක නැත. මනෝ වෛද්‍යවරුන් කියන්නේ අය්යාගේත් සෞඛ්‍ය තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් තිබෙන බවකි. මේවා දකින විට, මතක් වනවිට හුඟක් දවස්වල රෑට නින්ද අහෝරුගෙන් ඈතට ඈතට යන්නේ ය. වෙනත් කරන්නට දෙයක් නැතිවුණු කළ එවැනි රාත්‍රීන් පොඩ්ඩා ගෙවා දමන්නේ යටිගිරියෙන් කෑ ගසමිනි.

“… නපුරු හීන, අඳුර මාව වට කරගන්නවා. අම්මා මා ළඟ නැහැ. මට දැනෙන්නේ ඈ මාව තනිකර දමලා ගහින් වගේ කියල. එහෙම වෙලාවට මට පෙනෙන්නේ මා වටේ හැම තැනෙකම ලේ තියෙනවා වගේ. .. මගේ හැම හීනයකම මම මැරිලා යමින් සිටින්නේ. …” කියමින් පොඩිඑකා විස්තර කරන්නේ ඒ වගේ දවස් ගෙවෙන අයුරු ය.

අහෝරු තදබල විශාදය තත්ත්වයකින් පෙළෙන්නේ යැයි මනෝ වෛද්‍යවරු අවසානයේදී තීරණය කළහ. ඒ නිසා ඊට අදාල ඖෂධ වර්ග ලබාදෙමින් අහෝරුව සාමාන්‍ය තත්ත්වයට රැගෙන එන්නට මනෝ වෛද්‍යවරු උත්සාහ ගත්තෝය. ඒ සියලු ව්‍යායාමයන් අසාර්ථක වූ තැන වෛද්‍යවරු දරුවාගේ සත්‍ය තත්ත්වය ලියා බලධාරීන්ට දන්වන්නටත් පියවර ගත්හ. වෛද්‍යවරු කියා සිටියේ දැරුවා නවුරු ජීවිතයට කොහෙත්ම හැඩ ගැසෙමින් නොසිටින බවකි. මේ තත්ත්වය දිගින් දිගටම පැවැතිය හොත් ඔහු ඉතා බරපතල මානසික සෞඛ්‍යය ගැටළුවලට මුහුණ දෙනු ඇතැයි කියා ඔවුහූ වැඩිදුරටත් පෙන්වා දුන්නෝය.

වෛද්‍යයවරු අහෝරුව චිත්‍ර අඳින්නට යොමු කළේ ඔහුගේ සිතුවිලි තදින්ම දැනගැනීමේ අවශ්‍යතාවය ඇතිව ය. ඔහු සිතුවම් කළ එක් සිතුවමකින් දැක්වුණේ හිරු යට හඬන දරුවෙකි. දරුවා හඬන ස්ථානය ඉතාමත් උණුසුම් තැනක් බව හැඟ විණ. ඔහුගේ දෙවැනි චිත්‍රයෙන් විස්තර කෙරුණේ මෝරුන් හපා කනු ඇතැයි කියා මුහුදට බියෙන් සිටින ළමුන් දෙදෙනෙකි. ඔහුගේ තෙවන චිත්‍රයෙන් පිළිබිඹු වුණේ කෑගසන දරුවෙකුගේ මුහුණකි. මේ චිත්‍ර තුනටම පදනම වී තිබුණේ අහෝරු දකින නපුරු සිහිනයන් ය.

අහෝරා විසින් අඳින ලද විලාප නගන දරුවාගේ චිත්‍රය | The Guardian

අහෝරා විසින් අඳින ලද විලාප නගන දරුවාගේ චිත්‍රය | The Guardian

කොතැන හෝ වරදක් සිදුව ඇත. ඕස්ට්‍රේලියා රජය මෙවැනි පෞද්ගලික සිද්ධි ගැන කතා කිරීමෙන් වැලකී සිටී. එසේ වුවත් සරණාගතයන්ගේ දරුවන්ට අධ්‍යාපනය, සෞඛ්‍යය, සුබ සාධන සහ නවාතැන් පහසුකම් ලබාදීම කෙරෙන්නේ ඕස්ට්‍රේලියා සහ නවුරු රජයන්ගේ මැදිහත් වීමෙනි. කොහොම වුණත් මේ කඳවුරු තුළ සිදුවන ඇතැම් දේ ඒවායෙහි ජීවත් වන සමහර පවුල්වල සාමාජිකයන්ට දරාගැනීමට අසීරු ය. අහෝරුලාගේ ගෙදර පිරිසත් සිටින්නේ එහෙම තැනෙක ය. යතා තත්ත්වය එය වුවත් පස් අවුරුද්දක් තිස්සේ ඔවුන්ට සිදුවුණු යහපත වෙනුවට යහපතම සිදුවෙමින් ඇත.


‘Darkness surrounds me’: Nauru child refugee paints pictures of despair



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි