×

පාකිස්ථානයට පැමිණි නවාස් ෂරීෆ් සහ දියණිය බන්ධනාගාරයට

තුන් වරක් පාකිස්ථානයේ අගමැති වූ නවාස් ෂරීෆ් නීතියට ගරු කරමින් සිර දඬුවමට මුහුණ පෑම සඳහා දියණිය සමග සිය රට පැමිණීම සුබවාදී වුවද, රට දැන් ගිනි ගෙන ඇත.


ලන්ඩනයේ Avenfield Properties නඩුවේ තීන්දුව ලැබී සතියකට පසු ඊයේ රාත්‍රියේ ඔවුන් ලාහෝරය බලා පැමිණි පසු අත්අඩංගුවට ගැනීම සිදුවිය. මේ වනවිට නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය මරියාම් නවාස්, අදියාලා බන්ධනාගාරය වෙත යවා තිබේ.

ජාතික වගවීමේ බියුරෝවේ (National Accountability Bureau (NAB)) විශේෂ කණ්ඩායමක් විසින්, ගුවන් යානාව පැමිණි වහාම ඔවුන් අත්අඩංගුවට ගැනුණු අතර, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර ද ෆෙඩරල් විමර්ශන ඒජන්සිය (Federal Investigation Agency (FIA)) විසින් වහාම රාජසන්තක කරන ලදී.

ඉන්පසු විශේෂ ගුවන් යානාවකින් ඉස්ලාමාබාද් නුවර වෙත ගෙන ගොස්, දැඩි ආරක්ෂාව යටතේ අදියාලා බන්ධනාගාරය වෙත යැවිණි.

මේ අතර සිහලා පොලිස් පුහුණු පාසලේ තානායම ද අදියාලා හි උප බන්ධනාගාරයක් වශයෙන් ඉස්ලාමාබාද් පාලනාධිකාරිය විසින් හදිසියේම නිවේදනය කර තිබේ. ඇතැම් වාර්තාවකට අනුව නවාස් ෂරීෆ්ගේ දියණිය මරියාම් රඳවා තබාගැනීම සඳහා එම ස්ථානය යොදා ගන්නවා ඇත.

මේ අතර පාකිස්ථාන අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ වගවීමේ අධිකරණය (accountability court) විසින් නවාස් සහ අදියාලා බන්ධනාගාරයේ සිටින සෙසු අය සම්බන්ධයෙන් තවත් නඩු විභාගයක් (trial of references) පැවැත්වීමට නියමිත බවයි. නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය මරියාම් සඳහා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවලට අත්සන් කර තිබෙන්නේ ද වගවීමේ අධිකරණයේ විනිසුරු මුහමද් බෂීර් (Muhammad Bashir) විසිනි.

මෙම අධිකරණය විසින් තුන් වතාවක් පාකිස්ථානයේ අගමැති පදවියට පත් නවාස් ෂරීෆ් හට සම්පූර්ණ වශයෙන් අවුරුදු 11 ක සිර දඬුවමක් සහ පවුම් මිලියන 8 ක දඩයක් නියම කළේ ‘‘නුසුදුසු ආදායම් මාර්ගවලින් වත්කම් ලබාගැනීම‘‘ යන චෝදනාව ඔප්පු කිරීම මගිනි. 2016 වසරේ පැනමා පත්‍රිකා මගින් මෙම දේපළ පිළිබඳ හෙළිදරව් කර තිබිණි.

ඔහුගේ දියණිය මරියාම් හට වසර 8 ක සිර දඬුවමක් සහ පවුම් මිලියන 2ක දඩයක් නියමම කර ඇති අතර, දියණියගේ සැමියා වන විශ්‍රාමික කපිතාන් සෆ්දාර් වෙත එක් අවුරුදු සිර දඬුවමක් නියම කර තිබේ.

නවාස් ෂරීෆ්ගේ පුතුන් දෙදෙනා වන හසාන් සහ හුසේන් මේ වන විට පළා ගොස් සැඟවී සිටිති.

දරුණු බෝම්බ පිපිරීමක්

නවාස් ෂරීෆ් සහ දියණිය රැගත් ගුවන් යානාව ලාහෝරය වෙත පැමිණීමට පෙර පුද්ගලයන් 132 දෙනෙකුට මරු කැඳවමින් මස්තුං හි පැවති දේශපාලන රැළියකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගියේය. බලුකිස්ථාන අවාමි පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු මෙම ප්‍රහාරයෙන් මිය ගියේය. මෙය, මේ දක්වා ඇති වූ දරුණුතම පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා

පාකිස්ථාන මහ මැතිවරණය ජූලි 25 වැනිදා ආරම්භ වීමට නියමිත ය. දැනට ප්‍රකාශිත තත්වය අනුව හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් ගේ PTI පක්ෂය මැතිවරණයේ ඉදිරියෙන් සිටියි.

ලන්ඩන් නුවර සිට අබුඩාබි බලා පැමිණ, ලාහෝරය බලා ඒමට එතිහාඩ් ගුවන් යානාවට නැගුණු නවාස් ෂරීෆ් එංගලන්තයේ ගාඩියන් පුවත්පතේ වාර්තාකරුවෙකු සමග මෙසේ පැවසුවේය.

‘‘හිරේ යන්න කාටද අවශ්‍ය?“ ඒ සමගම ගුවන් යානාවේ සිටි ෂරීෆ් ආධාරකරුවෝ සටන් පාඨ කියමින් කෑ ගසන්නට පටන් ගත්හ. ‘‘නමුත් මේක, පාකිස්ථාන මැතිවරණයේ පාරිශුද්ධතාවය ඇතිකිරීම සඳහා වූ මගේ මෙහෙයුම වෙනුවෙන් මා ගෙවන බොහොම පොඩි මිලක් විතරයි.“

පාකිස්ථාන පොලිසියට ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණු ෂරීෆ්ගේ පක්ෂය, පාකිස්ථාන මුස්ලිම් ලීගයේ (PML-N) සාමාජිකයන් 500 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනීමට සිදු වූ අතර, ඉදිරියේදී ද ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වේ යැයි අපේක්ෂා කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි