×

ඔස්ට්‍රේලියාවේ ‘ඉඳිකටු ස්ට්‍රෝබෙරි‘ නවසීලන්තයටත් යයි.

නවසීලන්තයේ අලෙවි වන ස්ට්‍රෝබෙරිවලත් ඉඳිකටු තිබී හමුවේ.


නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි කවුන්ට්ඩවුන් සුපිරි වෙළඳසල් දාමයේ (Countdown supermarket chain) වෙළඳ සැලක අලෙවියට තබා තිබුණු ස්ට්‍රෝබෙරි මේ අන්දමට දූෂ්‍ය තත්ත්වයට පත්ව තිබුණු බව වාර්තා වේ. එම ස්ට්‍රෝබෙරි මිලදී ගත්තේ ඕස්ට්‍රේලියාවෙන් බව කවුන්ට්ඩවුන් සුපිරි වෙළඳසල් දාමයේ බලධාරීහු සඳහන් කරති. දූෂ්‍ය තත්ත්වයට පත්ව තිබී සොයා ගැනුණේ “චොයිස්” සන්නම (Choice brand) සහිත ස්ට්‍රෝබෙරිය. ඒ නිසා ඕස්ට්‍රේලියාවෙන් ස්ට්‍රෝබෙරි ආනයනය කිරීම නවතා දමන්නට එම වෙළඳසැල් දාමය තීරණය කර ඇති බවත් වාර්තා වේ.

තම වෙළඳසල් දාමයෙන් මිලදී ගත් ස්ට්‍රෝබෙරි වේ නම් ඒවා නැවත එම වෙළඳසල්වලට භාරදීමට පාරිභෝගිකයන්ට ඉඩ සලසා ඇත. එසේ රැගෙන එන ස්ට්‍රොබෙරි, මිලදී ගන්නට පාරිභෝගිකයන් වැය කළ මුදල් ආපසු ලබාදීමටත් එම ආයතන බලධාරීහු ක්‍රියාකරමින් සිටිති.

ඉඳිකටු අඩංගු ස්ට්‍රෝබෙරි නිසා අනතුරට පත් කිසිවකු ගැන නවසීලන්තයෙන් වාර්තා නොවේ. කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද කවර සන්නමයක් සහිත ස්ට්‍රෝබෙරි වුව පිහියකින් කපා පරික්ෂා කර බලා ආහාරයට ගන්නා ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. එම නිවේදනය නිකුත් කර තිබෙන්නේ කවුන්ට්ඩවුන් වෙළඳසල් දාමයයි.

“චොයිස්” සන්නම සහිත ස්ට්‍රෝබෙරි, කවුන්ට්ඩවුන් සුපිරි වෙළඳසල් දාමයෙහි අලෙවි කෙරුණු පළමු අවස්ථාව මෙය නොවේ. එසේ වුවත් ඒ කවර අවස්ථාවකදීවත් එම සන්නම සහිත ස්ට්‍රොබෙරිවල ප්‍රමිතියෙහි වෙනසක් වාර්තා නොවුණු බව එම ව්‍යාපාරය පෙන්වා දෙයි.

ඉඳිකටු නිසා දූෂ්‍ය තත්ත්වයට පත් ස්ට්‍රෝබෙරි පිළිබඳව පළමුවරට වාර්තා වුණේ ඕස්ට්‍රේලියා වෙළඳපොළෙනි. එසේ දූෂ්‍ය තත්ත්වයට පත් ස්ට්‍රෝබෙරි සම්බන්ධයෙන් පැමිණිලි 100ක් ඔස්ට්‍රේලියා වෙළඳපොළෙන් ලැබී ඇති බව සඳහන් වේ. ඒ සමඟම ඕස්ට්‍රේලියා ස්ට්‍රෝබෙරි වගාකරුවන්, අලෙවිකරුවන් සහ පාරිභෝගිකයන් අතර විශාල කැළඹීමක් ඇති විණ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන අන්දමට පසුගිය සතියේ ඇතිවුණු ඒ කලබගෑනියත් සමඟ අලෙවි කරගන්නට බැරිවුණු ස්ට්‍රෝබෙරි තොග වෙළඳපොළෙන් ඉවත් කර ගන්නට ඕස්ට්‍රේලියා ස්ට්‍රෝබෙරි ගොවීන්ට සිදු විය. මෙවැනි තත්ත්වයක් ඉහළම ස්ට්‍රෝබෙරි අස්වැන්නක් නෙලන අවස්ථාවේදී සිදුවුවහොත්, ආර්ථික වශයෙන් විශාල හානියක් ඔස්ට්‍රේලියාවට විඳින්නට සිදුවනු ඇත.

මේ අතර, ස්ට්‍රෝබෙරි තුළට ඉඳිකටු ඇතුළු කර දූෂ්‍ය තත්ත්වයට පැමිණවීමට වරදකරුවන් වන අයට දැඩි දඬුවම් ලබාදීමට ඕස්ට්‍රේලියා රජය පසුගිය දා තීරණය කළේය. ඒ අනුව එවැනි වරදක් කර, වැරදිකරුවකු වන පුද්ගලයකුට වසර 10ත් 15ත් අතර කාලයක සිර දඬුවමක් විඳින්නටත්, ඕස්ට්‍රේලියා ඩොලර් 100,000ක (ඇමෙරිකා ඩොලර් 72,000) දඩයක් ගෙවීමටත් සිදුවනු ඇත. ඊට අදාල නීතිමය ප්‍රතිපාදන ඕස්ට්‍රේලියා රජයෙන් මේ වනවිට ලබා දී ඇති බවත් වාර්තා වේ.

පෙර ලිපිය-

ඔස්ට්‍රේලියාවේ ස්ටෝබෙරි ඇතුළේ ඉඳිකටු



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි