×

ඕස්ට්‍රේලියා ස්ට්‍රෝබෙරි ඇතුළේ ඉඳිකටු!

ඕස්ට්‍රේලියා ස්ට්‍රෝබෙරි ඇතුළේ ඉඳිකටු තිබීම හේතුවෙන් ඒවා කපා බලා මිස ආහාරයට නොගන්නා ලෙසට බලධාරීන් නිල වශයෙන් ඉල්ලීමක් කර ඇත


තම රටේ ස්ට්‍රෝබෙරි ආහාරයට ගන්නා විට ඒවා පිහියකින් කපා පරික්ෂා කර බලා ආහාරයට ගන්නා ලෙස ඕස්ට්‍රේලියා සෞඛ්‍ය බලධාරීහු සිය රටේ ජනයාගෙන් ඉල්ලීමක් කරති.

මේ ඉල්ලීම කරන්නට හේතු වී තිබෙන්නේ ඕස්ට්‍රේලියා ස්ට්‍රෝබෙරි තුළ ඉඳිකටු තිබී හමුවීම නිසයි. එවැනි ස්ට්‍රෝබෙරි නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ් සහ වික්ටෝරියා යන ප්‍රාන්තවල සුපිරි වෙළඳසල් තුළින් හමු වී ඇති බවට වාර්තා පළ වේ. සන්නම් කිහිපයක් යටතේ වෙළඳපොළට පැමිණෙන ස්ට්‍රෝබෙරි වෙළඳපොළෙන් ඉවත් කරන්නට එරට බලධාරීන්ට මේ නිසා සිදුව ඇත.

Donnybrook, Berry Obession සහ Berry Licious යන සන්නම් සහිත ස්ට්‍රෝබෙරි වෙළඳපොළෙන් ඉවත් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ. ස්ට්‍රෝබෙරි මිලදී ගැනීමේදී ඉතා පරෙස්සම් වන මෙන් උපදෙස් දෙමින් ඕස්ට්‍රේලියා බලධාරීහු පාරිභෝගික ජනයාට නිවේදනයක් ද නිකුත් කර තිබේ. නැවත දැනුම්දෙන තුරු පාරිභෝගිකයන් ස්ට්‍රෝබෙරි කපා පරික්ෂා කර බලා ආහාරයට ගත යුතු බව ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍යය බලධාරීන් නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන්ව ඇත.

ඉඳිකටු ඇතුළු කිරීමෙන් දූෂ්‍යය තත්ත්වයට පත් ස්ට්‍රෝබෙරි ආහාරයට ගත් ඔස්ට්‍රේලිය වැසියකු රෝහල් ගත කර තිබේ. නව හැවිරිදි එරට දරුවකුත් ස්ට්‍රෝබෙරි ආහාරයට ගනිද්දී එතුළ තිබී ඉඳිකටුවක් හමුවී ඇත.

ක්වීන්ස්ලන්ඩ්හි ස්ට්‍රෝබෙරි වගාකරුවන්ගේ සංගමයේ ප්‍රකාශිකාවක වන ජෙනිෆර් රෝව්ලින්ග් මාධ්‍යට අදහස් දක්වමින් කියා තිබුණේ මෙය ස්ට්‍රෝබෙරි ව්‍යාපාරය පහත හෙලන්නට කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි.

ඔස්ට්‍රේලියාව ස්ට්‍රෝබෙරි වගා කරන රටකි. ඔස්ට්‍රේලියාව වසරකට ඇමෙරිකා ඩොලර් මිලියන 94කට අධික ආදායමක් ස්ට්‍රෝබෙරි නිසා ලබයි. මේ අන්දමෙන් දිගින් දිගටම තර්ජන එල්ල වුවහොත් ස්ට්‍රෝබෙරි වගා කිරීමේ සහ අලෙවි කිරීමේ නිරත විශාල පිරිසකට රැකියා අහිමි වනු ඇති බවට මත පළ වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි